විසඳුම – සාම්පුර්
Posted on December 30th, 2023

චානක බණ්ඩාරගේ

ආසියාවේ වැඩිම විදුලි බිල ඇති රට ශ්‍රී ලංකාවද?

ගල් අඟුරු වෙනුවට ජලය, ඩීසල්, සුළං, සොලාර් මඟින් විදුලිය ජනනය කරන්නෙමු යයි කීම අසම්පූර්ණ  කථාවකි.

ලොව කිසිම දියුණු රටක් ජලය, ඩීසල්, සුළං, සොලාර් වලින් පමණක් සිය විදුලිබල සැපයුම සම්පුර්ණ කරගෙන නැත. නව සීලන්තය හැර දියුණු සෑම රටකම ගල් අඟුරු බලාගාර ඇත, නැත්නම් න්‍යෂ්ටික විදුලි බලාගාර ඔවුන් සතුව පවතී.

ශ්‍රී ලංකාවේ විදුලි බල ප්‍රශ්නයට හොඳම විසඳුම ගල් අඟුරු වලින් ක්‍රියා කරන සාම්පුර් විදුලි බලාගාරය බව ස්ථිරයි (හෝ වෙනත් ස්ථානයක ස්ථාපිත කරන). තවදුරටත් එම ආධාරය ඉන්දියාවෙන් ලැබෙදැයි අවිශ්වාසය.  නමුත්, ශුර නායකයෝ මෙවන් ආධාර ලබාගන්නා හැටි දනිති.

ඒ කෙසේවෙතත් අපේ වියදමින් හෝ කෙසේ හෝ  සාම්පුර් සදා ගනිමු. ඉන්පසු විදුලිය ගැන බියක් නැතිව රට වැසියන්ට ජීවත් වීමට ඉඩ ලැබෙනු ඇත.

ගල් අඟුරු වලින් වැඩ කරන තනි නොරෝච්චාලේන්  පමණක් මෙගා වොට් 900ක්   ජනනය කරනු ලැබේ.  සාම්පුර් ධාරිතාවය මෙගා වොට් 500කි. මෙය මෙගා වොට් 1,000කට පමණවත් වැඩි කිරීමට කටයුතු කල හැක.

’climate change’ (දේශගුණික විපර්යාස) සංකල්පය යටතේ සාම්පුර් සාදනවාට විරුද්ධව යම් යම් ජාත්‍යාන්තර බලපෑම් පැමිණිය හැක.

චීනය සහ ඉන්දියාව තවමත් නව ගල් අඟුරු බලාගාර විශාල ලෙස හදති – දළ වශයෙන් වසරකට නව ගල් අඟුරු බලාගාර 50 – 100 පමණ.  

2023 ඩුබායිහි  පැවතී ගෝලීය climate change සමුළුවේදී ඔවුහු ඒ බව යලි සපථ කළහ. සෙසු ලෝකයා ඔවුනට එදිරිව කථා කලේ නැත. ඒ, ඔවුන් බලවත් සහ ජාත්‍යාන්තරව ඉහළින් සිටින රටවල් නිසාය.

ලෝකයේ සියළු රටවල් – විශේෂයෙන්ම මෑතදී චීනය සහ ඉන්දියාව, දියුණු වුයේ ගල් අඟුරු බලාගාර නිසාය.

නැවතත්, නව ගල් අඟුරු බලාගාරයක් නොමැතිව ශ්‍රී ලංකාව ඉදිරියට යනවා බොරුය.

‘global warming’ යන තර්කය අසමත් වූ  පසු බටහිර රටවල් දැන් එය climate change කියා නම වෙනස් කර සිටිති.

climate change අප රට ඇතුළු ලෝකයට ඇත්තකි. අපිට ඇද හැලෙන දැවැන්ත වර්ෂාවෙන්ම එය විද්‍යමාන වේ. මිට වසර දහයකට පෙර එවැනි දේශගුණික විපර්යාස මෙරට සිදු නොවුණි.

1970/80/90 දශකවල වර්ෂාව නොමැතිව සෑම වසරකම අප තදින්ම බැට කෑවෙමු. මෙම වසරේ (2023) මැද භාගයේදී (අප්‍රේල් – අගෝස්තු), යම් ප්‍රදේශවල තද නියං ඇති විය.

සැමදා මේ ආකාරයට වැස්ස වසී යයි සිතීම අනුවණ කමකි. climate change නිසා දිගු නියං කාළයන් අප රටේ පැමිණිය හැක. දැන් අහස කඩා ගෙන වැස්සත් ඒ වටිනා වැසි ජලය නව වැව් තැනීම වැනි දේ වලින් වියළි කාලයේදී ප්‍රයෝජනයට ගන්නා ක්‍රම ගැන රජයන් උනන්දු නැත. දැන් වසින වැසි ජලය මුහුදටය. ඕස්ත්‍රේලියාව වැනි රටවල සෑම නිවසකම පාහේ විශාල ප්‍රමාණයේ Rain Water Tank එකක් තිබේ.

ලෝකය තුල හුදු ෆොසිල් ෆියුඑල් දහනය නිසා වායුගෝලයේ CO2 ප්‍රතිශතය ඉහල යාමෙන් climate change සිදු වෙනවාය කියා ස්ථිරවම කියන්නේ කෙසේද?

ස්වභාව ධර්මය විසින් කාලගුණ විපර්යාස අවුරුදු මිළියන ගණනක් තිස්සේ සිදු කර ඇත. ඩයිනෝසොරස් මෙලොවින් නැතිවී ගියේ ස්වභාව ධර්මයාගේ මෙවන් ක්‍රියා නිසාය.

මෙවන් කාලගුණ විපර්යාස ඉදිරියටත් සිදු වනු ඇත – දැන් සිදු වෙමින් පවතින climate change ද එවැනි දෙයකි. එය ලෝකයේ පරිනාමයයි.

climate change  වාදීහු දැනට පවතින මේ climate චේන්ජය ගල් අඟුරු, දැවී තෙල් භාවිතය නිසා සිදුවෙනවාය කියා – මේ දේවල් තහනම් කළ යුතු යයි ලෝක මතයක් සාදා ගෙන ඇත. අප වැනි දුප්පත් රටවල් ඒවා භාවිතා කිරීමෙන් ඔවුහු වළකත්.

අප තව එක් ගල් අඟුරු බලාගාරයක් සැදුවා කියා ලෝකයේම ඌෂ්ණත්වය ඉහල යයිද?

climate චේන්ජය  අද මුදල් උපයන ‘මාෆියාවක්’ බවට ද පත්ව ඇත. CNN, BBC, ABC, බටහිර හරිත පක්ෂ climate change සංකල්පය වවා ගෙන කන අයයි. විකල්ප මතයක් ඉදිරිපත් කිරීමට ඔවුහු කිසිම අවස්ථාවක් නොදෙති.

ඔවුන්ගේ සංකල්පය විවේචනය කරන්නන් climate change deniers වශයෙන් ඔවුහු අපහාසයට ලක් කරත්.

සාම්පුර් ගල් අඟුරු බලාගාරය සෑදු පසු සාධාරණ මුදලට, ඕනෑතරම් විදුලි බලය තිබෙන නිසා සීග්‍ර ආර්ථික දියුණුවක් ඇති වනු ඇත. ඉන්දියාවට කෙසේ වෙතත් මාලදිවයිනට හෝ අපට විදුලි බලය විකිනීමට හැකි වෙනු ඇත.

සාම්පුර් වලින් රටේ යම් විදුලි අතිරික්තයක් ඇති වනු ඇත. මේ අතිරික්ත විදුලිය ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ බිට් කොයින් කැනීමේ මධ්‍යස්ථානය බවට පත් කර ගැනීමට යොදවා ගත හැකි වනු ඇත (bitcoin mining). මේ මඟින් ශ්‍රී ලංකාව ධනවත් රටක් බවට පත් කර ගත හැක. කසකස්තානය මේ දේ දැන් වැඩියෙන්ම කරයි.

චීනය, ඉන්දියාව (ශ්‍රී ලංකාව) වැනි රටවල් ගල් අඟුරු බලාගාර නිපදවා ඒ මඟින් විදුලිය ජනනය කර තම රටවල් දියුණු කරනවා දැකීමට බටහිර දියුණු රටවල් (විශේෂයන්ම මහා බ්‍රිතාන්‍යය, යුරෝපය) අකමැතිය. යුරෝපයේ අද ගල් අඟුරු ආකාර හිස්ය. ගල් අඟුරු අවසන් වී ඇති මහා බ්‍රිතාන්‍යයේ නිව් කාසල්, දකුණු වේල්ස් වැනි ප්‍රාන්ත අද රැකියා විරහිත ප්‍රශ්ණයෙන් ඉහලටම පැමිණ ඇත.

ධනවත් රටවල් ඔවුන්ගේ ගල් අඟුරු විදුලි බලාගාර නොවසත්. ඒවා දිගටම පවත්වා ගෙන යත්.

නමුත්, අපට අළුත්  ඒවා ඉදි නොකරන්නැයි ඔවුහු කියති. සිරිසේන ජනාධිපතිතුමා ඒවා ඉදි නොකරන්නමැයි කියා ජාත්‍යන්තරයට සපථ කර මෙරටට පැමිණ ඇත. මෙය සිය ශූර නායකත්ව නොහැකියාව සහ රටට ආදරය නොකරණ බව ප්‍රදර්ශණය කිරීමකි.

බොහෝ ධනවත් රටවල දැන් න්‍යාෂ්ටික  විදුලි බලාගාර ද ඇත. අපට න්‍යෂ්ටික තාක්ෂණය නැත, නොමැති වීම හොඳය. චෙර්නෝබිල්, ෆුකුශිමා වැනි අනතුරක් ශ්‍රී ලංකාවේ සිදු වුවහොත් – අතපසු වීම් වැඩි අප රටේ මෙවැන්නක් පහසුවෙන් සිදු විය හැක – රටේ මුළු ජනගහනයම වාගේ මිය යා හැක.

බටහිර යුරෝපා, ඇමරිකාව වැනි රටවලට දැන් අපට විකිණීමට ගල් අඟුරු නැති නිසා  ඔවුන් විසින් නිපදවන අධි වියදම් වූ  සුළං මාපක, සොලාර් පැනල්, විදුලි, න්‍යාෂ්ටික බලාගාර, විදුලි ජෙනරේටර් ආදිය ගන්න යයි ඔවුහු අපට කියති.  ඉන්දියාවද මේ දේම අපට කරයි – ඒ වෙනුවෙන් අදානිව මෙහි එවයි; නමුත් ඉන්දියාව නව ගල් අඟුරු බලාගාර දිගටම ඉදි කරයි.

අද මන්නාරමේ වටිනා ඉඩම් අක්කර සිය ගණනක් සුළං මාපක ව්‍යාපෘති උදෙසා යට කොට ඇත. මේවයින් උත්පාදනය කරන්නේ සොච්චම් විදුලි බලයකි.

ලෝක ඌෂ්ණත්වය ඉහල යන්නේ ගල් අඟුරු දහනය නිසා පමණක් නොවේ. තෙල්/ගෑස් දහනය, කැලෑ කැපීම නිසා ලොව ඌෂ්ණත්වය ඉහල යනු ලැබේ. තවත් බොහෝ හේතු සාධක ඇත.

2023 ඩුබායි සමුළුවෙන් පසුත් ඇමරිකාව, කැනඩාව, මහා බ්‍රිතාන්‍යය මහා පරිමාණයෙන් තම තෙල් ගවේෂක කටයුතු – ගොඩබිම සහ මුහුදේ සිදු කරනු ඇත. ඒවා වැඩි සීග්‍රත්වයෙන් කරනු ඇත. රුසියාව, නෝර්වේ වැනි රටවල් ආර්ටික් කළාපයේ මුහුදු පත්ලද හාරා තෙල්, ගෑස් තව තවත්  එලියට ගනිති. ඉදිරියටත් ගනු ඇත. සෞදි ආරාබියාව, කුවේට්, ඕමාන්, එක්සත් අරාබි එමීර් වැනි රටවල් බොර තෙල් නිපදිවීම නතර කරන්නේ හෝ අඩු කරන්නේ නැත. අන්තිම තෙල් බිංදුව දක්වා ඔවුන් භුමිය හාරනු ඇත. චීනය, ඇමරිකාව, ඕස්ත්‍රේලියාව තවදුරටත් ගල් අඟුරු නිපදවනු ඇත, විකුණනු ඇත. ඕස්ත්‍රේලියාව  අද ඉතා විශිෂ්ට ගනයේ clean coal නිපදවයි. බ්‍රසීලය සහ ඉන්දුනිසියාව අඩු මිලට ගල් අඟුරු විකුණන රටවල් වේ.

ඩුබායි සමුළුවෙහි වුනු පොරොන්දු රටවල් විසින් මීළඟට එන 2024, 2025, 2026 සමුළු වලදී නැවතත් ශපත  කරනු ඇත. නමුත් ඒවා ක්‍රියාවට නැංවීම ඉතාම අල්පය. එය මේ සමුළුවල ඉතිහාසයයි. ශූර නායකයෝ මේ බව දනිත්.

සමුළු වලට සහභාගී වෙමින්, ජාතින් අතර සුහදතාවය වර්ධනය කරමින් අප අපේ ගමන යමු.

දුප්පත් කමින් අඩියේම සිටින අප (දැන් බංකොලොත්) ලෝක ඌෂ්ණත්වය වැඩි වීම නතර කිරීම වෙනුවෙන්ය කියා ගල් අඟුරු මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීම මෝඩ දෙයකි. ජාත්‍යන්තරයට ගොස් එවැනි දෙයකට ප්‍රසිද්ධියේ සපථ වන්නේ මෝඩ නායකයෝය.  

ජාත්‍යාන්තරය සතුටු කිරීම නොව රට දියුණු කිරීම අප නායකයන් විසින් කළ යුතුවේ.

අපේ නායකයෝද ශී ජින් පිං, මෝඩි වැන්නන් මෙන් කටයුතු කල යුතුය

ලොව බොහෝ රටවල් නව ගල් අඟුරු විදුලි බලාගාර අදත් තනයි.

සුළං මාපක සහ සෝලර් පැනල් මඟින් අපේ අනාගත විදුලි බල ශක්තිය නිපදවා ගනිමු යයි වැනි කැප වීමක් ලෝකයා හමුවේ  අප කිරීමෙන් පලයක් නැත. නැවතත්, දරිද්‍රතාවයට පහතටම අප දැන් වැටී ඇත. ධනවත් රටවල් කරන දේ අපට කළ නොහැක.

ත්‍රී වීලය යනු දුප්පතාගේ වාහනය නම්, ගල් අඟුරු යනු දුප්පතාගේ විදුලි ප්‍රශ්ණයට හොඳම විසඳුමයි.  ඉදින්, අප එයින් බැහැර වන්නේ කීම?

මුළු ශ්‍රී ලංකාවටම අද ඇත්තේ සුළං මාපක විදුලි බලාගාර 16කි. ඒ සියල්ලෙන්ම නිපදවුණු ලබන්නේ මෙගා වොට් 230ක් පමණ වූ සුළු විදුලි බලයකි. මේ බලාගාරවල වාර්ෂික නඩත්තු වියදම වැඩිය. මේවා සුළඟේ වේගය බිදින නිසා වායු ඌෂ්ණත්වය වැඩිවී වාතයේ කාර්බන් ඩයොක්සයිඩ් (CO2) ප්‍රතිශතය ඉහල නංවයි. ‘green house’ ගෑස් නිපදවනවාට අමතරව බොහෝ සුළං බලාගාර අධික ශබ්ධයක් විහිදුවයි. සුළං බලාගාර ඉදිකිරීමට ඉතා විශාල භුමි ප්‍රමාණයක් වැයවේ. ඒවා උස් භුමි ද විය යුතුය. හොඳින් සුළං ලැබෙන ප්‍රදේශ විය යුතුයි.

සොලාර් පවර් බලාගාරවල තත්ත්වයද එසේමය. ශ්‍රී ලංකාවේ දැනට තිබෙන සොලාර් පවර් ෆාර්ම් 5න් නිපදවන්නේ මෙගා වොට් 143ක පමණ ඉතා සුළු විදුලි බලයකි. මෙවාට විදුලි බලය නිපදවන්න හැකි වන්නේ සූර්යයාගෙන් එන ඍජු හිරු එළියෙන් පමණය. දැන් වර්ෂාව වැඩි නිසා ඍජු හිරු එලිය ඉතා අඩුය. සොලාර් ෆාර්ම් ඉදිකිරීමේ වියදම් ඉතා අධිකය. සවි කරන්නන්ට විශේෂඥ දැනුමක්  තිබීම ඉතා අවශ්‍යයි. සොලාර් පැනල් පිටරටින් ගෙන්විය යුතුය, ඒවා ඉතා  මිල අධිකය. හිරු එලිය අඩු/නැති දිනවල මේවා විදුලිය උත්පාදනය කිරීමට විදුලි බලය අවශ්‍යවේ.

සුළං සහ සොලාර් කුඩා ව්‍යාපෘති වශයෙන් යම් ප්‍රදේශවලට විදුලිය උත්පාදනය කිරීමට යොදා ගත්තාට කමක් නැත. සොලාර් පැනල් හොඳින් හිරු එළිය පතිතවන ප්‍රදේශවල නිවෙස් ඒකක ආලෝකමත් කිරීමට කදිමයි.  නමුත් මුළු රටක, අති විශාල වූ විදුලි බල ඉල්ලුම ඒවාට සැපයිය නොහැක.

ජල විදුලිබලාගාර අසාර්ථක බව මුළු ලොවම දැන් පිළිගෙන ඇත. කළින් කීවාක් මෙන්, මෑතක සිට අධික වර්ෂාවක් ශ්‍රී ලංකාවට පතිත වේ. මෙය ජල විදුලි උත්පාදනයට මහත් වාසියකි. නමුත් කවදා නියඟයක් පැමිනෙන්නේදැයි කිසිවෙකුටත් කිව නොහැක. ඉදිරි කාල වලදී අනිවාර්යයෙන්ම නියං සමයන් පැමිණෙනු ඇත. අනික, ජල විදුලි බලාගාරවලින් උත්පාදනය කල හැක්කේ සොච්චම් විදුලි බලයකි.  

බිලියන ගණනින් වියදම් කර මහවැලියෙන් දැවැන්ත ජල විදුලි බලාගාර 8ක් තනුවෙමු – වික්ටෝරියා, කොත්මලේ, ඉහල කොත්මලේ, රන්දෙනිගල, උමා ඔය, රන්ටැඹේ,   බෝවතැන්න, මොරගහකන්ද, නිලාඹේ  ඒවා වේ. ඒ සියල්ලෙන්ම ජනනය කරන්නේ මෙගා වොට් 957ක විදුලි බලයකි (තනි නොරෝච්චෝලේ ධාරිතාව).

මහවැලි ජල විදුලියෙන් අප රටට පමණක් නොව ඉන්දියාවටද විදුලි බලය විකුණන බවට එදා පාලකයෝ වහසි බස් දෙඩූහ. මහවැලියෙන් සිදුවූ ඉඩම් විනාශය, පරිසර හානිය කියා නිම කල නොහැක. මහවැලියෙන් එළි කරන ලද කැලෑ භුමි ප්‍රමාණය හෙක්ටයාර 256,000ක් පමණ වේ. මෑතකදී නිම කරන ලද මොරගහකන්ද නිසා සමහරවිට ඊටත් වැඩි විය හැක. අලි- මිනිස් ගැටුම ස්ථිර ප්‍රශ්නයක් බවට පත් කලේ  මහවැලියයයි.  මහවැලිය නිසා ආදීවාසීහු ආගිය අතක් නැති වුහ.  ශ්‍රී ලංකාවේ දේශපාලනයේ  මහා පරිමාණ මුදල් වංචා කිරීම, කොමිස් ගැහිලි, පටන් ගැනුනේ මහවැලියෙනි.

මහවැලි හැර සෙසු ජල විදුලි බලාගාර වලින්ද නිපදවන්නේ කුඩා මෙගා වොට් විදුලි බලයකි – සමනල (124), කැනියන් (100), කුකුලේ ගඟ (80), ලක්ෂපාණ (75), මස්කෙළිය (60), කාසල්රි (50), නොර්ටන් (50).

ජල විදුලිබලාගාර එම ජල මුලාශ්‍රවල සිටින සතුන්ට ඉතා අහිතකරය. ජල විදුලි බලාගාර නිසා අවට ජලයේ ඔක්සිජන් ප්‍රමාණය අඩුවේ. මේ නිසා ජල  ජීවින් එම ජලයෙන් අතුරුදහන් වී යයි. ජල මුලාශ්‍ර මැදින් යොදන කොන්ක්‍රීට් ඇනිකට් වැනි බාධක නිසා මාළුන්ට වතුරේ නිදහසේ පීනා යා නොහැක. විශේෂයෙන්ම ඔවුන්ගේ අභිජනන කටයුතු වලට බාධා සිදුවේ.  පොල්ගොල්ල, වික්ටෝරියා සෑදීමට පෙර කටුගස්තොට, පේරාදෙණිය, ලේවැල්ල, නත්තරම්පොත, තෙල්දෙණිය වැනි ප්‍රදේශවල මහවැලි ගඟේ ජල මට්ටම සෑම විටම ඉහලටම පිරී තිබුන බවත්, මෝරුන් තරම් ලොකු මත්ස්‍යයන් සිටි බවත් පැරැන්නෝ පවසත්. අද තැන්නේකුඹුර පැත්තේ මහවැලි ගඟේ වතුර නොමැතිව ගල් තට්ටු පෑදී ඇත.

අද පෞද්ගලික ජල විදුලි බලාගාර බොහෝමයක අයිතිකරුවන් දේශපාලනඥයන් සහ විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරීන් යයි කියත්.

ජල විදුලි බලාගාරයක් තනනවා කියා කැළණි ගඟේ කිතුල්ගල ‘white water rafting’ ජල ක්‍රීඩාව නවතන තැනට කටයුතු සිදු කෙරිණ. මෙම ජල ක්‍රීඩාව සඳහා ලෝකයේ ඇති හොඳම ස්ථානයකි මෙය.

ඉහත සඳහන් ජල විදුලි බලාගාරවලට අමතවර අපට තාප විදුලිබල මධ්‍යස්‌ථාන කිහිපයක් තිබේ. මේවායින් ප්‍රාමාණික විදුලි බලයක් ජනනය කරගන්නෙමු. කැළණිතිස්ස (මෙගා වොට් 360), නව කැළණි තිස්ස (මෙගා වොට් 172) ඒවායින් ප්‍රධානය. නමුත් ඒවාට අවශ්‍ය ඉන්ධන (ඩීසල්) සහ ගෑස් වෙනුවෙන් අප වියදම් කරන්නේ ඉතාම අධික මුදලකි.

මෙගා වොට් 300ක් ජනිත කරන කෙරවළපිටිය ස්වභාවික ද්‍රව වායු බලාගාරය ඉතා හොඳය. ද්‍රව වායු ගල් අඟුරු වලට වඩා ඉතා මිළ අධිකය.

නිෂ්පල ලෙස දීර්ඝ කරන ලද අධිවේග වලට මුදල් වියදම් කරනවාට වඩා කලයුතු ව තිබුනේ සාම්පුර් වැනි අත්‍යාවශ්‍ය දේ සෑදීමයි.

ද්‍රනේජ් (drainage) මළාපවාහණ පද්ධති

තවත් අත්‍යාවශ්‍යම  දෙයක් වනුයේ මහ නගරවල (නුවර, අනුරාධපුරය, මීගමුව, ගාල්ල, මාතර, කුරුණෑගල, මඩකලපුව, පුත්තලම වැනි) ද්‍රනේජ් (drainage) මළාපවාහණ පද්ධති ඉදි කිරීමයි. මේ පහසුකම අද ශ්‍රී ලංකාවේ තිබෙන්නේ කොළඹ සහ යාපනය මහ නගර සභා ප්‍රදේශවල පමණි. එදා, සුද්දා විසින් ඒවා ස්ථාපනය කර ගිය හෙයිනි.

ද්‍රනේජ් පද්ධති ඇතිවිට නළ මඟින් මළාපවාහන කෙලින්ම ගැඹුරු මුහුදට බැහැරවේ. නව තාක්ෂනය අනුව  බොහෝ විට මේ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කර ඒවායින් බල ශක්තිය (විදුලි බලය) නිපදවනු ලැබේ.

එවිට, නිවෙස්වල වැසිකිලි වලවල් කැපීම අනවශ්‍යවේ. මළාපවාහන නිවසේ ඉඩමේ පොලව යට එකතු කර තබා ගැනීම නගරබද/ගම්බද සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අහිතකරය. වැඩි වර්ෂාව ඇති විට මේ වැසිකිලි වලවල් ඉතා ඉක්මනින් පිරී අපද්‍රව්‍ය මතුපිටට පැමිණේ; මේවා පෑගීමෙන්, ස්පර්ශ කිරීමෙන් බොහෝ රෝගාබාධ ඇතිවේ/පැතිරේ.

බොහෝ දියුණු රටවල ප්‍රධාන නගරවල ද්‍රනේජ් ක්‍රමය ක්‍රියාත්මක වේ. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress