වසර 50ක්, සමාජවාදී ලංකා කම්කරු සමිතියට නායකත්වය දෙන දිනේෂ් ගුණවර්ධනයන්.
Posted on January 20th, 2024

-ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සභාපතිත්වය දරන සමාජවාදී ලංකා කම්කරු සමිති සම්මේලනයට වසර 50ක් සැපිරීම නිමිත්තෙන් මේ සටහන ලියැවේ. ලෝකයේ පළමු වතාවට ත්‍රෛපාර්ශවීය ගිවිසුමකින් පෞද්ගලික අංශයේ සේවකයන් 37 ලක්ෂයකගේ රැකියා රැකදුන් අවස්ථාව කෙටියෙන් වුවද මෙහිදී විශේෂයෙන් සටහන් කළ අතර, වැඩකරන ජනතාව වෙනුවෙන් දිනේෂ් ගුණවර්ධනයන් ඉටු කරන මෙහෙවරේ වැදගත් අවස්ථා කිහිපයක් සංක්ෂිප්තව ඉදිරිපත් කර ඇත.

දිනේෂ් ගුණවර්ධන බොහෝ දෙනා හඳුනන්නේ දේශපාලනඥයකු ලෙස වුවත් ඔහුගේ ඒ දේශපාලනය මුවහත් වන්නේ වැඩකරන ජනතාව ඒකරාශී කරන වෘත්තීය සමිති ඔස්සේය. පිලිප් ගුණවර්ධනයන්ගේ දැවැන්ත නායකත්වයෙන් පසු, ම.එ.පෙ. ප්‍රතිනිර්මාණය කරමින් 1973 දී එහි නායකත්වයට පත් දිනේෂ් ගුණවර්ධනයන් සිය පක්ෂයට අනුබද්ධිත වෘත්තීය සමිති එකමුතුව වන ලංකා කම්කරු සමිති මධ්‍ය මණ්ඩලයේ සභාපතිවරයා ලෙස වෘත්තීය සමිති ව්‍යාපාරයට අද දක්වා ලබාදෙන දායකත්වය අතිමහත්ය. සමාජවාදී ලංකා කම්කරු සමිති සම්මේලනයටද ඔහු නායකත්වය දෙන්නේ 1973 වර්ෂයේ සිට වනවා සේම, ඔහු සමස්ත ලංකා හාබර් හා ඩොක් කම්කරු සමිතියේද සභාපතිවරයාය. රුපියල් 10ක වැටුප් වැඩිවීමක් ඉල්ලූ 1980 ජූලි වර්ජකයන්ගේ සටනට එක්ව ඔවුන්ට දැවැන්ත ශක්තියක් ලබාදුන් දිනේෂ්ගේ දේශපාලන ජිවිතයට වසර 50ක් සපිරෙන්නේ, මේ කම්කරු පන්ති දේශපාලනයේ අත්තිවාරම උඩය. 

මහජන එක්සත් පෙරමුණේ නායකයා ලෙස අද රටේ අග්‍රාමාත්‍ය ධුරය හොබවන දිනේෂ් ගුණවර්ධන, 2019 නොවැම්බර් 22 වන දා මෙරට කම්කරු ඇමතිවරයා ලෙස දිවුරුම් දෙන්නේද වෘත්තීය සමිති නායකයෙකු ලෙස සිටියදීමය. එදා විදේශ සබඳතා සහ නිපුණතා සංවර්ධන, රැකියා සහ කම්කරු සබඳතා අමාත්‍යවරයා වූ ඔහුට, මෙරට කම්කරු අමාත්‍යවරයෙකු මුහුණ දුන් බරපතළ  ම ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට සිදුවිය. 

ලක්ෂ 37ක රැකියා සුරැකි, කම්කරු ඇමති වූ වෘත්තීය සමිති නායකයා 

කෝවිඩ් වසංගතය නිසා ලෝකය පුරා ලක්ෂ ගණනින් රැකියා අහිමි වෙද්දී, විශේෂයෙන් දකුණු ආසියාවේ ඉන්දියාවේ වැඩකරන ජනතාවට ඔවුන්ගේ රැකියා ආරක්ෂා කරදිය නොහැකි තත්ත්වයක් උදාවෙද්දී ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ 37 ලක්ෂයක් පමණ වූ සේවකයන්ට ඔවුන්ගේ රැකියා ආරක්ෂා කරදීමට කම්කරු ඇමති දිනේෂ් ගුණවර්ධනට හැකිවිය. ඒ, කම්කරු ඇමති ලෙස හාම්පුතුන් සහ වෘත්තීය සමිති සමග වෙහෙස නොබලා කළ අඛණ්ඩ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසය. 

දිනේෂ් ගුණවර්ධනයන් සාකච්ඡාවේ මුල සිට ම පැහැදිලි ස්ථාවරයක් දැරිය. ඒ කිසිදු පෞද්ගලික අංශයේ සේවකයෙකුගේ රැකියාව අහිමි නොකරමින් විසඳුමකට පැමිණීමේ ජනතා හිතවාදී පිළිවෙතයි. ඇතැම් හාම්පුත්තු සේවකයන් කොටසකගේ, සේවය අවසන් කිරීමට උත්සාහ දැරූ අවස්ථාවේ, ඔහු පළමුව කළේ, සේවකයන්ගේ සේවය අවසන් කිරීම සඳහා හාම්පුතුන් දෙන කිසිදු ඉල්ලුම්පතක් භාර නොගන්නා ලෙස කම්කරු දෙපාර්තමේන්තුවට උපදෙස් දීමයි. “කිසි කෙනෙක්ව රැකියාවෙන් අස් කිරීමට හෝ නවතා දැමීමට කම්කරු අමාත්‍යංශ හෝ කම්කරු කොමසාරිස්වරයාට අපේ අමාත්‍යංශය අවසර දී නොමැති බව ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරන්න කැමතියි”, සාකච්ඡා පැවැත්වෙන අතරතුර, 2020 අප්‍රේල් 19 වන දින ඔහු එම විශ්වාසය මෙරට වැඩකරන ජනතාව වෙත ලබාදුන්නේය. 

හාම්පුත්තුද(ලංකා සේව්‍ය සම්මේලනය /ශ්‍රී ලංකා හාම්පුතුන්ගේ සම්මේලනය), වෘත්තීය සමිති, කම්කරු අමාත්‍යංශය(රජය) පාර්ශව 3 ම එක්වී ත්‍රෛපාර්ශවිය එකඟතාවක් උදෙසා, ජාතික කම්කරු උපදේශක සභාවේ(NLAC) අනුමැතිය ගෙන එහි අනු කමිටුවක් ලෙස කම්කරු අමාත්‍යවරයා මුලසුන දරණ ‘ත්‍රෛපාර්ශවීය කාර්යසාධන බලකායක්’ ස්ථාපිත කිරීම ඊළඟ පියවර වූයේය. 2020 මාර්තු10 වන දින සිට, ඇඳිරි නීතිය මධ්‍යයේදී ද දිනපතා, සතිපතා බලකාය අඛණ්ඩව රැස්වූ අතර ඒ සෑම රැස්වීමකටම ක්‍රියාකාරිව සහභාගී වෙමින් මුලසුන ගත් දිනේෂ් ගුණවර්ධන කම්කරු ඇමැතිවරයා, සිය නිලධාරීන් මෙහෙයවමින් ජාත්‍යන්තර කම්කරු සංවිධානයද(ILO) දැනුවත් කරමින් ඔහු සිය වැඩපිළිවෙළ ඉදිරියට ම ගෙන ගියේය. 

කම්කරු අමාත්‍යංශය, සේව්‍ය, සේවක යන මෙම පාර්ශව තුන ම එක මතයකට ගෙන ඒම ලෙහෙසි පහසු කාර්යයක් වන්නේ නැත. අනෙක් පැත්තෙන් අනපේක්ෂිත වසංගතයට මුහුණ දීමට ශ්‍රී ලංකාවේ එවක පැවති කම්කරු නීති ප්‍රමාණවත් වූයේද නැත. එම නිසා සේවකයන්ට  පමණක් නොව සේවා යෝජකයන්ටද සහන සඳහා අනුගමනය කළයුතු සම්ප්‍රදායික සහ නීතිමය ක්‍රියාමාර්ග අහිමි වී තිබිණි. එහෙත් කම්කරු ඇමති දිනේෂ් ගුණවර්ධනයන්ට දේශපාලන නායකයෙකු ලෙස, කම්කරු නායකයෙකු ලෙස, වගකීම් රැසක් දැරූ අමාත්‍යවරයෙකු ලෙස  ඒ වගේම සෑම සමාජ පන්තියක් සමග ම කටයුතු කරමින් කාලයක් තිස්සේ ලැබූ අත්දැකීම් මෙම කාර්යය සඳහා බෙහෙවින් උපකාරී වන්නට ඇත. කම්කරුවන්ගේ සියලු ඉල්ලීම් දෙමින් ව්‍යාපාරිකයා බිඳ වට්ටවා හෝ ව්‍යාපාරිකයාගේ සියලු ඉල්ලීම් දෙමින් සේවකයා පාරට වට්ටවා, රටක් ලෙස, ජාතියක් ලෙස යළි නැගී සිටිය නොහැකි බව ඔහු පසක් කරගෙන තිබිණි. සති කිහිපයක් තුළ මහත් වෙහෙසක් දරමින් මෙම තුන් පාර්ශවය ම ගැටළුව විසඳීම උදෙසා ම කැප වූහ. 

අඛණ්ඩව පැවති ත්‍රෛපාර්ශවිය සාකච්ඡාවලදී කම්හලේ සේවකයන්ගෙන් 50%ක් මාසයේ පළමු සති දෙකේ කැඳවීමටත්, දෙවන සති දෙකේ ඉතිරි 50% කැඳවීමටත් හාම්පුත්තු එකඟකරවා ගැනීමට කම්කරු ඇමති දිනේෂ් සමත් විය. ඒ අනුව පෞද්ගලික අංශයේ ලක්ෂ 37ක් පමණ වන සේවකයන්ගේ රැකියා අඛණ්ඩතාවය ආරක්ෂා කරදීමට ඔහු පළමුව පියවර ගත්තේය. ඉන් අනතුරුව එම සේවකයන්ගේ අවම වැටුපෙන් 50%ක් හෝ රුපියල් 14,500/= ක් හෝ(එයින් වැඩි අගය) ගෙවීමටද හාම්පුතුන් එකඟ කරවා ගත දිනේෂ් ගුණවර්ධන මහතා, සේවකයන් නිවසේ සිටියත් වැටුපෙන් 75%කට අසන්න ප්‍රමාණයක් ලබාගත හැකි සේ සේවකයන්ගේ අදායමද තහවුරු කිරීමට සමත් වූයේ වෘත්තීය සමිතිවලද හාම්පුතුන්ගේද කැපකිරීමට නිසි බර, නිසි කෘතඥතාව එක්කරමිනි. 

අවසානයේ මෙම එකඟතා ඇති, ඓතිහාසික ත්‍රෛපාර්ශවිය ගිවිසුමකට, කම්කරු අමාත්‍යංශය, ලංකා සේව්‍ය සම්මේලනය /ශ්‍රී ලංකා හාම්පුතුන්ගේ සම්මේලනය (The Employers’ Federation of Ceylon), වෘත්තීය සමිති 2020 මැයි 05 වන දා අත්සන් තැබිය. අමාත්‍ය මණ්ඩලය මැයි 14 වන දා එය අනුමත කළේය. ඒ වනවිට සමස්ත ආසියාවේ ම, ලෝකයේ ම එවැනි ගිවිසුමකට පැමිණීමට හැකිවූ එක ම රට වූයේද ශ්‍රී ලංකාවයි. 

1987 මැයි දින අයිතිය, ලංගම සහ ජාතියේ බැංකු සුරැකීම 

ශ්‍රී ලංකාවේ පමණක් නොව සමස්ත ලෝකයේ ම කම්කරුවාගේ අයිතිය සුරැකීම උදෙසා, සියලු ප්‍රගතිශීලින් එකමුතු කරගෙන දිනේෂ් ගුණවර්ධනයන් 1987 මැයි 01 දින , එවක  ආණ්ඩුව තහනම් කළ මැයි දිනය නාරාහේන්පිට අභයාරාමයේදී සමරමින් ඉටු කළ මෙහෙය ඉතිහාසයේ ලියවී තිබේ. 

රාජ්‍ය බැංකු දෙක වන මහජන බැංකුව සහ ලංකා බැංකුව පෞද්ගලිකකරණයට එවක ආණ්ඩුව 1992 දී තීරණය කළ අවස්ථාවේ බැංකු සේවක වෘත්තීය සමිති සන්ධානයට නායක්තවය දෙමින් රටපුරා ප්‍රබල ජාතික විරෝධතා ව්‍යාපාරයක් ගෙනයමින් රාජ්‍ය බැංකු පද්ධතිය මහජන දේපොළක් ලෙස ආරක්ෂා කරගැනීමට හැකිවූයේද, දින 5 වැඩ සතිය ආරක්ෂා කරදීමට හැකිවූයේද දිනේෂ්ගේ නායකත්වයෙනි. 

මඑපෙ ආණ්ඩුව1956 ජනසතු කළ ලංගමය, 1991 දී පොකුරු සමාගම් ලෙස කැබලි කර පෞද්ගලිකකරණය තුළින් විනාශය කරා ගෙනයමින් තිබූ අවස්ථාවේ ලංගම යළි ස්ථාපිත කිරීමේ පනත් කෙටුම්පත දිනේෂ් ගුණවර්ධන ප්‍රවාහන අමත්‍යවරයා ලෙස 2000 වසරේදී පාර්ලිමේන්තුවට ගෙනා ආවද ආණ්ඩුව  පෙරළීම නිසා ඊට බාධා එල්ල විය. එහෙත් උත්සාහය අත් නොහැර 2005 වසරේදී එය සම්මත කරගැනීමට ඔහු සමත් වූයේ නාගරික සංවර්ධන හා ජල සම්පාදන අමාත්‍යවරයාව සිටියදීයි. 

විශ්‍රාමිකයන්, ගුරුවරුන් වෙනුවෙන් 

සියලු රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට 2003දී දැරූ උත්සාහය ව්‍යර්ථ කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස ඔහුට හැකිවූයේ, එම පනතට සංශෝධනයක් ගෙන ඒම තුළින් එකල ආණ්ඩුවේ එම ක්‍රියාවලිය අර්බුදයට ඇදදමමිනි. 

රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගොස් සිටින සියල්ලන්ට ම අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ලබාදීමට ක්‍රියා කළ ඔහු, 2021 දී සභානායක හා අධ්‍යාපන ඇමතිවරයා ලෙස සිටියදී එහි අවසාන කොටසද සම්පූර්ණ කරදුන්නේය. අවුරුදු 24ක් වැනි දීර්ඝ කාලයක් නොවිසඳුන ගුරු- විදුහල්පති වැටුප් විෂමතා ගැටළුව විසඳීම සඳහා 2021.08.30 දින රැස්වූ කැබිනට් මණ්ඩලදී අනුමැතිය ලබාගත් දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන ඇමතිවරයා, සියලු ගුරු ක්ෂේත්‍රයන්ට බලපාන පරිදි, ගුරු සේවය සංවෘත සේවයක් බවට පත්කිරීමේ වැදගත් වු, ජාතික වූ තීරණයද, ඊට ඇතුළත් කරදෙන්නට සමත් විය. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress