රාජ්‍ය සේවයේ අසාධාරණ තීරණ ගැනීමෙන් වැළකීමට විශේෂයෙන් කටයුතු කරන්න-අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
Posted on February 19th, 2024

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

වැඩ කල්දැමීම වෙනුවට හැකි ඉක්මනින් ඊට සූදානම් වී රාජකාරියට පිවිසෙන්න.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ තුන්වන ශ්‍රේණිය, ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ තුන්වන ශ්‍රේණිය, කළමනාකරණ සේවයේ අධි ශ්‍රේණිය, ශ්‍රී ලංකා රජයේ පුස්තකාලයාධිපති සේවයේ තුන්වන ශ්‍රේණිය යන සේවාවන් හි  සීමිත තරග විභාග සමත් 250 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (2024.02.19) දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැති අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය වරයා –

තමන්ගේ දක්ෂතාවය හා ජ්‍යෙෂ්ඨත්වය උඩ සුදුසුකම් ලබා තිබෙන ඔබ සියලු දෙනාට ඔබගේ සතුට සමග අපගේ සතුට, ආශිර්වාදය එක් වෙනවා. රාජ්‍ය සේවයේ වගකීම සාමාන්‍ය පෞද්ගලික සමාගමකට වඩා බරපතලයි.

රාජ්‍ය සේවයට ඇතුළුවන මොහොතේ සිට රාජ්‍ය සේවයේ දෙපාර්තමේන්තු, ආයතන සහ මුළු මහත් රාජ්‍ය සේවයේ කටයුතු සමගින්       ඔබ සියලු දෙනා රට වෙනුවෙන් සේවයට එක්වෙනවා. එම ගැඹුරු වගකීම ඉටු කිරීම සඳහා වූ ගමනේ  සියලු කර්තව්‍යන්ට පූර්ව සූදානම් වීමේ වැදගත් කොටසක් තිබෙන බව මතක් කරන්නට කැමතියි. අපි සාකච්ඡාවකට යනකොට හෝ උදව් කරනකොට ඒ පිළිබඳ මූලික සූදානමක් තිබිය යුතුමයි. ඒ සඳහා වූ තොරතුරු එක් රැස්කර ගත යුතුයි. වැඩ කල්දැමීම නොව හැකි ඉක්මනින් ඊට සූදානම් වීමේ කර්තව්‍යයට පිවිසිය යුතුයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2024 වර්ෂය තුළ සංවර්ධනයේ තවත් අඩියක් ඉදිරියට තිබෙන වසරක් බවට පත් කරන්නට කැප වී අයවැය ‍ලේඛනයක් ඉදිරිපත් කළා. එය ක්‍රියාත්මක කිරීමට අද දින මේ පැවරෙන වගකීමේ සාර්ථකත්වය  ඔබෙන් අපේක්ෂා කරනවා. සෘණ තත්ත්වයේ තිබුණ ආර්ථික සංවර්ධනය ධන තත්වයට පරිවර්තනය වෙලා තිබෙනවා. රටේ ජනතාවගේ, රාජ්‍ය සේවයේ,  රාජ්‍ය සේවයට අයත් නොවන ගොවි ජනතාවගේ සහයෝගය මතයි මේ කර්තව්‍යය ඉටුවී තිබෙන්නේ.

වැඩි වැඩියෙන් රටේ සංවර්ධනයේ ඉලක්කයන් සපුරාලීමට, නාස්තිකාර වියදම් අඩුකර ගැනීමට, තීරණ ගැනීමේදී සිදුවන යම් යම් අසාධාරණකම් දැක දැක එවැනි තීරණ ගැනීමෙන් වැළකීමට විශේෂයෙන්   කැපවෙන ලෙස රජය වෙනුවෙන් ඉල්ලා සිටිනවා.

මෑත කාලයේ මැලේසියාව ආර්ථික වශයෙන් කඩා වැටුණා. එරට ආයෝජනය කළ දැවැන්තයන්  මැලේසියානු ආයෝජනයෙන් ඉවත් වෙලා යන නිසා.  නමුත් මැලේසියාව ඒ අර්බුදයට සාර්ථකව මුහුණ දුන්නා. තමන්ගේ ශක්තින් එකතු කරලා මැලේසියානු ආර්ථිකය, මැලේසියානු රාජ්‍යය පරිපාලනය ඉතාම දියුණු තත්ත්වයකට ගෙනාවා.

ජනාධිපතිතුමා ප්‍රකාශයට පත්කළ නව වැඩපිළිවෙළ රාජ්‍ය පරිපාලනය හරහා ඉදිරියට ගමන් කරන්නට පළාත් පාලනය, රාජ්‍ය පුස්තකාලයාධිපති සේවය එකතු වෙනවා. ශ්‍රී ලංකාවේ පුස්තකාල සේවය හා රාජ්‍ය පුස්තකාල සේවයට අතිරේකව පරිපාලනයට සම්බන්ධව තිබෙන අපේ රටේ පළාත් පාලන පුස්තකාල මීට වඩා දියුණු විය යුතුයි.  එය දියුණු කර ගැනීමට පුළුවන් නිර්මාණශීලීභාවය ඇති කරන්න.   2024 ඔබ එකතු වන පළාත් පාලන හෝ රාජ්‍ය පුස්තකාලයන් 2023 මට්ටමින් බලන්න එපා. මෙම වසර අලුත් දෙයක් එකතු කිරීමේ වසර බවට පරිවර්තනය කිරීමේ අධිෂ්ඨානයෙන් වැඩ කටයුතු අරඹන්න.

රාජ්‍ය සේවයට ඇතුළු වෙනකොට පක්ෂ හිතවත්කම් තියෙන්න පුළුවන්. නමුත් රාජ්‍ය සේවයේ කර්තව්‍ය රටේ යහපත පිණිස අරගන්න. මේ දුෂ්කර කාල පරිච්ඡේදයෙන් අපි එළියට එන වෙලාවේ එය සාර්ථකව ඉදිරියට ගමන් කරවන්නට ඔබ සැමගේම සහය ලබා දෙන්න.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා –

පවතින පුරප්පාඩු හඳුනාගෙන ඉතාමත් සංකීර්ණ අවධියක රාජ්‍ය සේවයේ අලුත් පත්වීම් අද ලබා දෙනවා. ඒ සඳහා ඔබ කළ යුතු ප්‍රතිඋපකාරය තමයි වඩා කාර්යක්ෂම හොඳ සේවාවක් මහජනයාට ලබාදීම. අවුරුදු තුනකට පස්සේ නැවත වරක් ප්‍රාදේශීය ජන ජීවිතය නගා සිටුවීම, ග්‍රාමීය ආර්ථිකය යළි නගා සිටුවීම, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නගා සිටුවීම. ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රය නැවත පුනර්ජීවනයක් ලබමින් රජය විසින් විමධ්‍යගත සංවර්ධන වැඩසටහන් දිස්ත්‍රික් සංවර්ධන කමිටු, ප්‍රාදේශීය සංවර්ධන කමිටු හරහා දියත් කරන අවස්ථාවක් මේ.

අලුත් මානයකින් අලුත් කෝණයකින් ඒ පිළිබඳ අවධානය යොමු කරන්න. පළාත් පාලන පුස්තකාල     වල තනතුරු දරණ අය විශේෂ වැඩසටහන පිළිබඳ අලුතෙන් යමක් කරන්න. ජාත්‍යන්තර පුස්තකාලවල අපිට ලැබෙන්නේ ලින්ක් එකක්. අපට අවශ්‍ය පුස්තක විද්‍යුත් ක්‍රමයට එයින් ලබාගත හැකියි. අපි නිරන්තරයෙන් දකිනවා සමාජ මාධ්‍ය ඔස්සේත් නොමිලේ ප්‍රවිශ්ට වෙන්න පුළුවන් පුස්ථ     ක රාශියක දත්ත අපට ලැබෙනවා. නිර්මාණශීලී පුස්තකාලයාධිපතිවරු වශයෙන්   නව කවුළු විවෘත කර දෙන්න.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන,   රාජ්‍ය පරිපාලන  අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් ආලෝක බණ්ඩාර, යන මහත්වරුන් සහ පත්වීම්ලාභින් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress