නිවනේ ඇති පලය කුමක්ද? නිවන් දකින්නේ කුමටද? – 2 වන කොටස
Posted on February 20th, 2024

තිස්ස ගුණතිලක

ඉහත පැනයට පිළිතුර හමුවන්නේ නිවන යනු කුමන ස්වභාවයක්දැයි හදුනාගැනීම තුලයි. ඒ නිසා නිවනේ ස්වභාවය හොදින් වටහාගැනීමට තවදුරටත් උත්සාහ කරමු.

පසුගිය ලිපියේ පැහැදිලිකල ආකාරයට අනාත්මීය (අනිච්ච), ශුණ්‍ය (දුක්ඛ) හා කරන්නෙක් නැති (අනාත්ම) ආකාරයෙන් ස්වභාවධර්මය පවතියි. ස්වභාවධර්මය අර්ථ දක්වන, පැහැදිලි කරන (definition) සද්ධර්මය තුල හමුවන තිලක්ෂණය මෙයයි. මේ ආකාරයෙන් ඔබත් මමත් සතාසීපාවාත් ගහකොලත් ගංඟා ඇල දොල සුලඟ පෘතුවිය ආකාශය තාරකා ආදියත් වටිනාකමක් නැති, ඒ නිසාම ගින්නක් ඇතිනොවන (ආශ්වාදයක් හෝ වෛරයක් – රාගයක් ද්වේශයක් ඇති නොවන) ස්වභාවයෙන් ස්වභාවධර්මය තුල පවතියි. සරලව කිවහොත් මේ සියල්ලම ‘මෙලෝ රසක් නැති’ ස්වභාවයෙන් භාහිරයේ පවතියි. මේවා සත්‍ය වශයෙන් නොපවතින බව ප්‍රකාශකරන්නන් ඔබව තවත් දෘෂ්ඨියක සිරකිරීමේ උත්සාහයක නිරතවෙයි.

ස්වභාවධර්මය තුල ජීවියා විඤ්ඤාණගත චිත්‍ත ප්‍රවාහයක් සහිත ජීවියකු ලෙසත්, ගහකොල සුලඟ ගංඟා ආදිය විඤ්ඤාණය රහිත ප්‍රවාහයක් ලෙසත් සක්‍රීයව පවතියි. විඤ්ඤාණගත ජීවියා ස්වභාවධර්ම නියාමන වන කම්ම (ක්‍රියා – කර්මය නොවේ**), චිත්ත හා ධම්ම නියාම වලට අනුකූලව චිත්ත ප්‍රවාහය තිලක්ෂණයට අනුච සකස්කරමින් (සිත සකස්කරමින්) ස්වභාවධර්මය තුල පවතියි. ජීවියා පංචේන්දීය විවරකල සැනින් ස්වභාවධර්මය තුලවූ සංසිද්ධියක් අදාල පංචේන්ද්‍රියෙන් ග්‍රහණය කර එය එම ඉංද්‍රිය තුල ප්‍රසාද කරයි. ජ්‍රසාදවීම යනු ස්කංධ ක්‍රියාවලියේ උපතයි (initiation of ස්කංධ process). උදා: වසාගෙන සිටින ඇස විවර කල සැනින් භාහිර ස්වභාවධර්මය තුල පවතින අනාත්මීය, ශුණ්‍ය හා අනත්ත වු වර්ණ රූපය (රූපයෙන් නිකුත්වන වර්ණ තරංගය) ඇස හා ගැටී ජ්‍රසාද වෙයි. එනම් චක්ඛු ස්කංන්ධ ක්‍රියාවලිය ආරම්භ වෙයි. එසේම කණ විවරකල සැනින් භාහිර ස්ටභාවධර්මය තුල පවතින අනිච්ච, ශුණ්‍ය හා අනත්ත වු (අනාත්මීය වූ) ශබ්ද රූපය කණ (සෝතය) තුල ප්‍රසාද වෙයි. මෙය කම්ම නියාමයයි (ක්‍රියාව හා සබැඳි ස්වභාවධර්ම නියාමය මෙයයි). ස්වභාවධර්මය තුල

කර්මයක් හෝ කර්ම විපාකයක් හෝ නොපවතියි.

(** please note: සිඳුහත් කුමාර උපතටත් පෙර සිට දඔදිව සමාජයතුල නිඝංඨ දර්ශනයක්වූ කර්ම-විපාක විශ්වාසය පැවතුනි. සිඳුහත් කුමරුගේ මව වූ මහමායා දේවියද එදා නිඝංඨ දහමට අනුව දිවිසකසා ගත් කාන්තාවක් විය. ඇය කර්ම-විපාකයේම දිගුවක්වූ පංච ශිලය හා අශ්ඨ ශීලය සමාදන්වූබව සඳහන් වෙයි. ඒ තම කුස තුලවූ දරුවාගේ ආරක්ෂාව එදා දඔදිව වැසියන් ප්‍රාර්ථනාකල ආකාරයයි. බුදුන්වහන්සේ බුදුවී දේශනාකල පලමු දහමින්ව කර්ම-විපාකයත් ඒ හා සබැඳි  පිං-පව්, පෙර-පසු භව හෙවත් නැවත ඉපදීම, දාන ශිල භාවනා ආදියත් පිටුදැක්කේ නැතහොත් අනුදැන නොවදාලේ ඒ කිසිවක් නිවන් මාර්ගයට උපකාරි නොවන, නිවන් මාර්ගය වසන සංසිද්ධීන් වන බැවිනි. ඒ සියළුම කෘත්‍යන් තුල ඒවා කරන්නෙක් සිටී. බුදුන්වහන්සේ ධම්මචක්කප්පවත්ත සූත්‍රය තුල දොලොස් වතාවක් ‘පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු’ යනුවෙන් දේශනා කරයි. මෙයින් කියවෙන්නේ මාමේ දේශනාකරන්නේ ඔබ ‘ආරංචියකින්වත් නොඇසූ දහමක්’ බවයි. ඒසේ නම් එදා දඔදිව සමාජය තුල පිලිගත් ඇදහූ කිසිවක් සද්ධර්මය තුල අඩංගු නොවන බව මෙම දේශනාවෙන් ගම්‍යවිය යුතුය. කර්ම-පලය හා ඒ හා සබැඳුනු සියඵම සංසිද්ධීන් බැහැරකල යුතුවූ දෘෂ්ඨින් වෙයි. කර්ම-පලය හා බුදුන්වහන්සේ දෙසු හේතුපල දහම අතර කිසිඳු ගැලපීමක් නැති බව තේරුම් ගැනීමට කාලයයි. හේතුපල දහම අනාත්ම – කරන්නෙක් නැති දහමකි. තථාගත ධර්මයට අනුව කර්ම කරන්නෙක් හෝ විපාක විඳින්නෙක් හමුනොවන්නේත් (කම්මස්ස කාරකෝ නත්තිවිපාකස්සක වේදකො), සියල්ල සිඳුවන්නේත් හේතුපල දහමට අනුවයි (යේ ධම්මා හේතුපභවා,..) **

ඉහත සංසිද්ධිය තවදුරටත් ප්‍රසාරණය කලහොත් හුස්ම ගැනීම, පිපාසය, බඩගින්න, ආහාර ජීරනයවීම වැනි ජීවියාතුල සිඳුවන රසායනික ක්‍රියාද, බාඳුරාශාකයක ඇති බාඳුරාමලක් එයමත පතිතවන කෘමියෙක් ග්‍රහණයකර ආහාර කරගැනීමද කම්ම නියාමයට අනුව සිඳුවෙයි. මේ සියළුම ක්‍රියා ස්වභාවධර්මය තුල කරන්නෙක් නැතිව (අනත්ත) සිඳුවන ක්‍රියාබව සිහියට ගන්න.

මෙසේ කම්ම නියාමයට අනුව සිඳුවන ප්‍රසාදය හේතුවෙන් ජීවියාතුල චිත්ත ක්‍රියාවලිය (ස්කංධ හා පටිච්චසමුප්පාද ක්‍රියාවලින් ද්විත්වය) හටගනී. මෙය ස්වභාවධර්මය නියාමනය කරන චිත්ත නියාමයයි. මෙම චිත්ත ප්‍රවාහය නාම-රූප එකතුකර සිතුවිල්ල නැතහොත් අරමුණ/සිත උත්පාදකරන  ක්‍රියාවලියයි. චිත්ත ප්‍රවාහය තුල සිතුවිල්ල/සිත ජනිතවීමේ සංසිද්ධිය ස්වභාවධර්මය පාලනය කරන ධම්ම නියාමයයි. ස්වභාවධර්මගතවූ රහතන්වහන්සේ ඇතුළු ප්‍රෘතග්ජන ආදිවූ සියල්ලන්ටම මෙම ක්‍රියාවලිය පොදුය.

බුදුන්වහන්සේටද සිතුවිලි පහල විය.

යශෝදරාවට තම දෙපා සිපගෙන හඬා වැලපීමට බුදුන්වහන්සේ ඉඩහලේ ඇය කෙරෙහි තමන්වහන්සේ තුල ඇතිවූ සිතිවිල්ල හේතුවෙනි. තවද විවිධ අවස්ථාවල බුදුන්වහන්සේ තමා අවටවූ පරිසරයේ සුන්දරත්වය ප්‍රකාශකල බව සූත්‍ර පිටකයේ විවිධ තැන්වල හමුවෙයි. රාහුල ඇතුළුව තමා ඉදිරියට පැමිනෙන්නන් බුදුන්වහන්සේ හඳුනාගෙන ඒ එක් එක් අයට ආදාලව ධර්මය දේසනාකල සේක. මේ සියල්ලම බුදුන්වහන්සේට පහලවූ ඇතිවූ සිතුවිලියි. 

රහතන්වහන්සේගේ සහ පෘතග්ජනයාගේ සිතුවිලි ප්‍රවාහයේ වෙනස

පෘතග්ජනභාවයෙන් මිදී කෙලෙස් ක්ෂකරන(තවන) වීර්යෙන් යුතුව එම මාර්ගයේ කටයුතු කරන යෝගාවචරයා අවසානයේදී නිවන් සුවය අත්කරගනියි. ජෘතග්ජනයාටත්, යෝගාවචරයාටත්, ස්වභාවධර්මගතවූ රහතන්වහන්සේටත් යන තිදෙනාටම සිතුවිලි ප්‍රවාහය (වේගය) පොදුය. 

පෘථග්ජගයා භාහිර යමක් අරමුණු කරනාවිට (පෘතග්ජන පටිච්චසමුප්පාද ක්‍රියාවලිය) ඔහුට හෝ ඇයට ඵස්ස පච්චයා වේදනා වන තැන ඇතිවන්නේ සුඛ හෝ දුක සහිත වේදනාවකි. මක් නිසාදයත් ඔහු හෝ ඇය අරමුණට හේතුවන භාහිර රූපය (වර්ණ ශබ්ද රස ඝන්ධ ආදි රූප) ආත්මීය කරගැනීම (දෙයක් යමක් කෙනෙක් ලෙස ගැනීම) නිසයි. එවිට එම සිතුවිල්ල උපාදානවී ‘භවය’ සකස්කරයි. එනම් පෘථග්ජනයා භාහිර රූපය නිසා ගින්නක් ඇතිකරගනියි. ඔහු හෝ ඇය භාහිර රූපයට

වටිනාකමක් ආදේශකර එය නන්දිරාග සහගතව අල්ලාගනියි. විඤ්ඤාණ මායාව යනු මෙම සංසිද්ධියයි. තථාගත ධර්මය ගැන අවබෝධක් නැති පෘථග්ජන පුද්ගල තෙමේ මෙසේ රැවටීමට ලක්වී ස්වභාවධර්මයේ ප්‍රතිලාභ නොදැන එම ප්‍රතිලාභ වලින් බැහැරව වාසය කරයි.

කෙලෙස් ක්ෂය කරන වීරිය ඇති යෝගාවචරයා භාහිර යමක් අරමුණු කරනාවිට ඵස්ස පච්චයා වේදනාවන තැන භාහිරය තුල සුඛයක් හෝ දුකක් ගැබ්වී නොමැතිබව ‘විපස්සනාවෙන්’ දකියි. එනම් අරමුණට විෂයවන භාහිර රූපය ස්වභාවධර්මය තුල පවතින අනාත්මීය/ශුණ්‍ය/අනත්ත ස්වරූපයෙන්ම දකීයි. එවිට පටිච්චසමුපාද ක්‍රියාවලිය තුල ඵස්ස පච්චයා වේදනා අවස්ථාවේ හටගන්නේ ‘අදුක්ඛම සුඛ’ වේදනාවකි. එනම් උපාදානට ඉඩක් නැති ‘භවය’ සකස්වීමක් නැති ‘උපේක්ඛා’ වේදනාවයි. 

නිවන් සුවය විඳිය හැකිවන්නේ ‘විපස්සනාවෙන්ම’ පමනි. විපස්සනාව යනු අරමුනට විෂයවන භාහිර රූපයේ (වර්ණ ශබ්ද රස ඝණ්ධ ආදි රූප) අනාත්මීය ස්වභාවය, ගින්නක් නැති ශුණ්‍ය ස්වභාවය සිහියට හසුකර ගැනීමයි. කෙනෙක් විපස්සනාව වඩනුයේ භාහිර පවතිනා කිසිම දෙයක ‘මෙලෝ රසක් නැති’ ගුණය දැක ඒවා අතහැරීම පිණිසයි

අතහැරීම තුලින් නිවන් දකින ආකාරය lankaweb අඩවියේ මින් පෙර කොටස් 5කින් පලවූ (03 ඔක්තෝබර් 2023 දා සිට)  ‘සත්‍ය ධර්මය 1 – වසර 2100 ට පසු සත්‍ය ධර්මය විවර විය’  ලිපි මාලාවෙන් පැහැදිලි කිරීමට උත්සාහ කලෙමි.

තිලක්ෂණයට අනුව පවතින (definition) සහ කම්ම, චිත්ත හා ධම්ම ඇතුළු නියාමන පහකින් (බීජ හා සෘතු නියාමද සමඟ) පාලනය වන (laws that govern) ස්වභාවධර්මය තුල අපගේ භූමිකාව කුමක්දැයි ලබන ලිපියෙන් විමසා බලමු. එවිට අපගේ මූලික ප්‍රශ්ණය වූ නිවන කුමටද යන පැනයට පිළිතුර සොයාගත හැකිවනු ඇත. 

ඔබට තෙරුවන් සරණයි

තිස්ස ගුණතිලක

2024 පෙබරවාරි මස 21 වනදා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress