නිවනේ ඇති පලය කුමක්ද? නිවන් දකින්නේ කුමටද? – 4 වන කොටස
Posted on March 5th, 2024

තිස්ස ගුණතිලක

නිවන යනු ස්වභාවධර්මගත වීමයි. අප සියළුදෙනාම ණිඝංඨ ධර්මය හා සද්ධර්මය පටලවාගෙන නිවනින්‍ ඈත්වෙමින් සිටිමු.

එදා අපහට ඉස්කෝලෙ දහම්පාසලේ ගෙදර කියාදුන් කර්ම-විපාකය, නැවත නැවත ඉපදීම, ශීලය, භාවනාව, අනිත්‍යය මෙනෙහි කිරීම, සිත පාලනයෙන් නිවන් දැකීම ආදී සියල්ලම සද්ධර්මයට පටහැනි නිවන වසනා දෘෂ්ඨීන් බව දැන් ඔබට වැටහී ඇතැයි සිතමි. සියවස් ගනනාවක් තිස්සේ බෞද්ධයා සිතා සිටියේ මේ සියල්ලම තුලින් නිවන් දැකිය හැකිබවයි. නමුත් අවුරැදු 2100කින් රහතන්වහන්සේ කෙනෙක් මෙලොවට දායාද නොවුනේ මේ සද්ධර්මය දෘෂ්ඨි සහගතව වැරදි ආකාරයට ග්‍රහනය කරගැනීමකට, කියාදීමකට ලක්වූ බැවිනි. එසේනම් සද්ධර්මය දෙස නැවත නැවුම්ව (fresh) බැලීමට මේ ඔබට කාලයයි.

සරලවම නිවන්මග වැටීඇත්තේ ‘භව නිරෝධය’ (දෙයක් යමක් කෙනෙක් නැති, ගිනි නොගන්නා ස්වභාවය, ශුණ්‍යතා අවබෝධය) හරහාබව අපට කියාදෙන දේශකයින් කී දෙනෙක් අද දවසේ හමුවෙයිද? තවද භවනිරෝධය කලහැකිවන්නේ පූර්ණ අතහැරීම තුල පමනක්ම බව දන්නා දේශකයින් විරලය. අතහැරීම ‘පාරමිතාවක්’ බවත් පාරමිතා සම්පූර්ණ කලවහාම නිවන්දැකීම බොජ්ජංග පාලමක්වී (bridge) ඒ හරහා ආයාසයකින් තොරවම (auto) සිඳුවන බවත්, එසේ නිවන් දකිනා ක්‍රියාවලිය අනිවාර්යෙන්ම සිඳුවන අතර එය නැවතීමට කිසිම ජගතෙකුට නොහැකිබවත් අප මින්පෙර ලිපිවලින් සාකච්චා කලෙමු.

සද්ධර්මය තුල අපට හමුවන ප්‍රධාන ලෝක දෙක

සද්ධර්මය තුල හමුවන ප්‍රධාන ලෝක දෙකකි. ‘ස්වභාවධර්මය’ ලෙස පවතින/හඳුන්වන අනාත්මීය භාහිර ලෝකයත්, විඤ්ඤාණමායාවට සකස්‍කරගත් සිත තුල මැවෙන ‘මගේ ලෝකයත්’ යනුවෙනි. මෙහිදී අවබෝධකරගත යුතු ප්‍රධාන කරුනු කීපයකි:

  1. අනාත්මීය (දෙයක් යමක් කෙනෙක් නැති, ඒ නිසාම වටිනාකමක් නැති, ගින්නක් නැති, බුදුන්වහන්සේ ශුණ්‍යත ලෙස හැඳින්වූ) භාහිර ලෝකය සත්‍යවශයෙන්ම පවතින බවත් නිවන් දකින ප්‍රතිපදාව හෙවත් නිරෝධ මාර්ගය යනු මෙම අනාත්මීයව පවතින ස්වභාවධර්මය හා බද්ධවන නැතහොත් එය ග්‍රහනය කරන ක්‍රමය බවත් දත යුතුය. තවද විඤ්ඤාණමායාවට සිත තුල මැවෙන මගේ ලෝකය මායාවක්ම බවත්, එවැන්නක් සත්‍යවශයෙන්ම නොපවතින බවත් දැනගත යුතුවූ සද්ධර්මයේ මූලික කරුනයි. නොපවතින ලෝකයක (මගේ ලෝකය) ජීවත්වනවා යනු රැවටීමක් (මායාවක්) පමනි. එය පවතින ලෝකයක් සේ දැනෙන්නේ පෘතග්ජනයා තුල ජංචේන්ද්‍රියන් හරහා එන භාහිර ලෝක සංඥාව ආත්මීයවී, ‘මම’ බලගැන්වී ඇති බැවිනි (විඤ්ඤාණමායාව යනු මෙසේ ‘මම’ ඇතිවන සංසිද්ධියයි).
  2. සත්‍යවශයෙන්ම රහතන්වහන්සේ හා පෘතග්ජනයා යන දෙදෙනාම භෞතිකව ජීවත්වන්නේ අනාත්මීයවු ස්වභාවධර්මය තුලයි. ව්ඤ්ඤාණමායාවට හසුවූ පෘතග්ජනයා මේ බව නොදනී, නොදකී. රහතන්වහන්සේ අවබෝධයෙන්ම ස්වභාවධර්මය තුල ජීවත්වන බව දනී. මේ වෙනස චෛතසික වෙනසක් මිස භෞතික වෙනසක් නොවෙයි.
  1. තචද ස්වභාවධර්මය තැමති පද්ධතිය (system) ට මෙම පෘතග්ජනයාගේ මායාකාරි රැවටීම (විඤ්ඤාණමායාව) හෝ රහතන්වහන්සේගේ රහත් භාවය හසුනොවෙයි. මක්නිසාද යත් ස්වභාවධර්මය යනු කරවන්නෙක් නැති තිලක්ෂණය (3) හා නියාමන පහ (5) තුල ක්‍රියාත්මකවන system එකක් (පද්ධතියක්ම) පමනක්ම බැවිනි. එයට (ස්වභාවධර්මය නැමති පද්ධතියට) මේ රහතන්වහන්සේය මේ පෘතග්ජනයාය යනුවෙන් හඳුනාගත නොහැක. මේ නිසා ස්වභාවධර්මය දෙදෙනාටම සලකන්නේ එකම ආකාරයටය (nature treats equally to everyone), එනම් දෙදෙනාම ස්වභාවධර්ම නියාම (3-5) තුල පවතින ජිවියෙක් ලෙස පමනි (Nature treats Arhath and non-arhath equally as a active element within the system). ස්වභාවධර්මය තුල දෙදෙනාටම මුහුන දීමට සිඳුවන්නේ එක හා සමාන සංසිද්ධීන් වලටයි. උදාහරනයක් ලෙස දෙදෙනාම ව්‍යාධියට (අසනිප) පත්වෙයි, දෙදෙනාම ජරාවට (මහඵ) පත්වෙයි, දෙදෙනාටම වේදනාව දැනෙයි, දෙදෙනාම සම්මත මරණයට පත්වෙයි. අර්හත්වූ පමනින්ම ස්වභාවධර්මය තුල preferential trearment එකක් නැත. එසේම පෘතග්ජනයාටද ස්වභාවධර්මය තුල පෘතග්ජනවූ පමනින්ම differential treatment එකක්ද නැත. මෙය මෙතෙක් නොකියවුනු නොලියවුන ධර්මතාවයයි.
  2. තවත් උදාහරනයක් සැලකීමට භාජනය කලහොත්; අනුරාධ සූත්‍ර දේශනාවට අනුව දෙදෙනාගේම (රහතන්වහන්සේ හා පෘතග්ජනයා) නැවත ඉපදීමක් නැත. (හෝ කෙනෙක් ශාශ්වත වාදයට අනුව නැවත උපදින දෘෂ්ඨියේ පිහිටා සිටින්නේ නම් දෙදෙනාම නැවත නැවත උපදින අයුරෙන් ස්වභාවධර්ම පද්ධතිය (system) ක්‍රියාත්මක වෙයි. මෙහිදී නැවත උපදීම ගන්නේ උදාහරනක් ලෙස පමනක්ව බව සිහියට ගන්න. නැවත උපදීම කර්ම-විපාක දෘෂ්ඨිය තුල අඩංගු නිඝංඨ දහමකි). කෙනෙක් (රහතන්වහන්සේ) නැවත නොඉපදී අනෙකා (පෘතග්ජනයා) නැවත උපදින්නේ යයි ගැනීම නුසුදුසු වන්නේ මේ ආකාරයෙනි. එසේ දේශණාකරන්නන් (ගිහි පැවිදි දෙපිරසම) බලවත් දෘෂ්ඨියක සිරවූ ස්වභාවධර්මය හෝ සද්ධර්මය ගැන මනා අවබෝධයකින් තොරවූ අයබව දැනගැනීම සමාජයට යහපතකි.
  3. පෘතග්ජන භූමි දෘෂ්ඨිය – පෘතග්ජන භූමිය යනු මගේ ලෝකයයි. එය සිතතුල මැවෙන මායාකාරි, රැවටීම් සහිත ලෝකයයි. එහි සිඳුවනවා යයි හැඟෙන සියල්ලම සත්‍ය වශයෙන් සිඳුනොවන මායාවක්ම පමනි. පෘතග්ජන භූමියේ කර්ම-විපාක පලදෙන බවත් පෘතග්ජනයා සසර ඹ්ඝයට හසුවී නැවත නැවත උපදින බවත් මමබලගැන්වුන මායාව තුල මවාගන්නා සංසිද්ධීන්ම මිස සත්‍යවශයෙන්ම සිඳුවන ධර්මතා නොවනබව දැන් ඔබට තේරුම් ගොස් ඇති නම් ඔබට ස්වභාවධර්මය හා මායාකාරි පෘතග්ජන මිත්‍යාව පමනක් රජයන මගේ ලෝකය අතර පරස්පරය වැටහී ඇත.

පෘතග්ජනයාට (පෘතග්ජන භූමියේ) කර්ම-විපාක පලදෙන බවත්සසර ඹ්ඝයක් ක්‍රියාත්මකවන බවත් ඒ නිසා පෘතග්ජනයා නැවත නැවත උපදිනවායයන්න දෘෂ්ඨියකි. මෙම දෘෂ්ඨිය තුල සිරවී සිටිනාතාක් කල් නිවන ඔබෙන් ඈත්වෙයි. මෙයට අපි ‘පෘතග්ජන භූමි දෘෂ්ඨිය’ යයි කියමු. 

  1. එසේනම් රහතන්වහන්සේ හා පෘතග්ජනයා අතර පවතින වෙනස කුමක්ද?

මෙම වෙනස ස්වභාවධර්මයට (system) වෙනවෙනම හසුනොවුනත් ස්වභාවධර්මයේම සංරචක දෙකක්වූ දෙදෙනාට වෙනවෙනම දැනෙයි. Nature does not recognise its elements differentially but individuals feels the difference in status of themselves). කෙනෙක් මෙම වදනේ ඇති සියුම් බව හසුකර ගන්නේ නම් මැනවි. ස්වභාවධර්මය හා මගේ ලෝකයේ එකම කාසියේ දෙපැත්ත වැනිය. බලන්නා (observer) වරෙක කාසියේ ස්වභාවධර්මය පැත්‍තෙනුත් වරෙක මගේ ලෝකය පැත්‍තෙනුත් තබා observer ට දැනෙන ආකාරය හසුකරගන්න උත්‍සාහගන්න. Observer කාසියේ ස්වභාවධර්මය පැත්තේ සිට බලනාවිට එහි ක්‍රියාත්මක පද්ධතියක (system) ක්‍රියාකාරි ස්වභාවයත්, එහි අන්තර්ගත සියල්ලම එකම ආකාරයකට හැසිරෙන අයුරුත් දැකිය හැකි අතර මගේ ලෝකය පැත්තේ සිට බලනාවිට මායාකාරි රැවටීමකට හසුවී ‘මම’ බලගැන්වී (ආත්ම දෘෂ්ඨිය බලගැන්වී) සිටින පෘතග්ජනයාත් එම මායාවෙන් මිඳුනාවූ රහතන්වහන්සේත් වෙන් වෙන්ව දැකිය හැකිය.

රහතන්වහන්සේගේත් පෘතග්ජනයාගේත් එකම ස්වභාවධර්මයක් තුල ධාතු විපරිනාමයකට භාජනය වෙමින් සිටිනා ජීවින්ය. රහත්වීම හෝ රහත්භාවය වනවිට, ලබනාවිට ඊට අදාල කිසිම භෞතික විපරිනාමයකට එනම් ධාතු විපරිනාමයක් එතුමා තුල සිඳුනොවෙයි. එතුමා පෙර සිටිය විලසමය. නමුත් රහත්වනවිට සිඳුවන්නේ ‘තමා හා තමා අයත්වන අවට පරිසරය’ තුල වන ධාතු ස්වභාවය දැකීමයි. සත්වයා නැතිවීම, ස්වභාවධර්මගතවීම නැතහොත් නිවන් දැකීම යනු මෙම තමා තුලවූ (හා පිටතවූ) ධාතු ස්වභාවය අවබෝධවන, දකින චෛතසික සංසිද්ධියයි. රහත්වූ පසුව උන්වහන්සේ ඉදිරි ගමන යන්නේ ස්වභාවධර්මගත ධාතු ස්වභාවයක් ලෙසය. ‘සම්මත මරණය’ තුල සකස්වන්නේ/වෙනසකට භාජනය වන්නේ රහතන්වහන්සේගේ මෙම ධාතු ස්වභාවයයි. සම්මත මරණය යන වචනය රහතන්වහන්සේට අදාලව භාෂිතය සුදුසු නොවෙයි. ‘සම්මත මරණය’ යන සංසිද්ධියේදී එතුමාතුල සිඳුවන්නේ ධාතු විපරිනාමයකි. ඒබව රහතන්වහන්සේ දනී. ඒ නිසා රහතන්වහන්සේට ‘සම්මත යයි මරණයක්’ නැත. මෙම සංසිද්ධියටම හසුවන පෘතග්ජනයා තමාතුල වන ධාතු විපරිනාමය නොදකියි. හේ සියල්ල තමාහට (මට) සිඳුවන්නක් සේ ගනියි. ඒ නිසා පෘතග්ජනයා චෛතසිකව සම්මත මරණය හමුවේ භීතියක් තැතිගැනීමක් ඇතිව ජීවත්වෙයි.

අර්හත් හා පෘතග්ජන යන ස්වභාවයන් දෙකම තුල ඇත්තේ එකම ධාතු ස්වභාවයකි. වෙනස රහතන්වහන්සේ තමාතුල වූ ධාතු ස්වභාවය අත්විඳියි. පෘතග්ජනයා එය නොදකියි අත්නොවිඳියි. හේතුවනම් පෘතග්ජනතෙමේ භාහිර අනාත්මීය පවතින ලෝකය ආත්මීයව (දෙයක් යමක් කෙනෙක් ඇති ස්වභාවයෙන්, භාහිරය කෙරෙහි ඇලීමක් හෝ ගැටීමක් (රාග ද්වේශ) සහිතව, ගිනිගන්නා මායාකාරි, රැවටෙන ස්වභාවයෙන් ග්‍රහනය කරගැනීමයි. මේ මායාකාරි රැවටීම ස්වභාවධර්මයේ සත්‍ය අනාත්මීය ස්වභාවය වසාලන බැවින් පෘතග්ජන තෙමේ තමාතුල පවතින ධාතු ස්වභාවය නොදැක දිවිගෙවයි.

තමාතුලවූ ධාතු ස්වභාවය දැකිම තුල ඇති ප්‍රතිලාභ රාෂියකි. රහතන්වහන්සේට පමනක් හමුවන මෙම ප්‍රතිලාභ පෘතග්ජනයාට නැත. ඊලඟ ලිපියෙන් මෙම ප්‍රතිලාභ තවදුරටත් විමසමු.

ඔබට තෙරුවන් සරණයි

තිස්ස ගුණතිලක

eMail:  tgunite@tpg.com.au

2024 මාර්තු මස 6 වනදා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress