බලු කපුටු නොවී  කවුඩාගල ට බැතිමත් වෙමු
Posted on March 5th, 2024

මතුගම සෙනෙවිරුවන්

             මඩකලපු දිස්ත්‍රික්කයේ වැලිකන්ද අසේලපුර මංහන්දියෙන් බැස කි.මී. 13 ක් පමණ ගමන් කරන විට මෑතකදී විශාල කතාබහකට ලක් වූ පූජ්‍ය ස්ථානයක් හමුවේ. කවුඩාගල යයි ජන වහරේ පවතින මෙම ස්ථානය අවට කුරුලු බැද්ද රන්සර තැන්න ආදී මහවැලි ගම්මානයන් හමුවෙයි.ගම්මානවලින් බැහරව මහ ඝන වනයෙන් ඉහළට නැගී ගිය කවුඩාගල ගල් පර්වතයට ඒ නම ලැබෙන්නේ ස්වභාවිකව එහි ගල්ලෙනක නිර්මාණය වූ කවුඩෙකුගේ ස්වරූපයයි. මෙහි මහ ගල මුදුනේ ආකාශ චෛත්‍යයක නටබුන්ද පහළ පුලුල් පමණින් අඩි 30 ක පමණ විෂ්කම්භයක් ඇති චෛත්‍යයක නටබුන්ද හමුවේ. පූජ්‍යපාද දේවගල පඤ්ඤාසීහලංකාර හිමියන් දිඹුලාගල පරපුරේ යතිවරයානන් වහන්සේ නමකි. උන්වහන්සේ 2018 දී පමණ මෙම ස්ථානයට වැඩම කොට බලවත් අධිෂ්ඨානයක් කරන ලද්දේය. සම්බුද්ධ ශාසනයට පූජා කරනු ලැබූ මෙම ඉපැරණි දාගැබ් වහන්සේ නැවත ප්‍රතිෂ්ඨාපනය කොට සමස්ත බෞද්ධ ජනතාවගේ සිත් සතන් බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔප් නන්වන බවට උන්වහන්සේ කළ ශපථය අද සැබෑවී පවතිමින් ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාස්තු විද්‍යා අංශය සහ කැණීම් අංශ එක්කාසු වී මේ චෛත්‍ය රාජයාණන් වහන්සේ පිළිසකර කිරීමට මහන්සි වෙති.

        මෑතකදී හන්තානේ හමුදුරුවෝ යයි ප්‍රසිද්ධ ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් මෙම ස්ථානයට වැඩම කොට සමාජමාධ්‍ය ඔස්සේ කරන ලද ඉල්ලීම නිසා විශාල මුදලක් මෙම චෛත්‍ය සංරක්ෂණයට එක පැහැරම එකතු විය. සිංහල බෞද්ධයන්ගේ ශ්‍රද්ධා භක්තිය එලෙසය. තැන තැන පඩංගු වල සැඟවී සිටින දුර්ජනයන් සහ නිරාගමික වන්දි බට්ටයන් විසින් පතුරුවා හරින ලද අමූලික මුසා කනකට නොගත් ශ්‍රද්ධාවත් මිනිසුන් කවුඩාගල යළි පිබිදෙනු බලා නිරාමිස ප්‍රීතියක් ලබන්නට ඇත.

          බුදුන් වහන්සේ විසින් පිහිටවූ සම්බුද්ධ ශාසනය වෙත පූජා කළ යමක් විනාශ කරනු ලබන දුදනන් මරණින් මතු බලු කපුටු වී ඉපදෙනු ඇතැයි ලියැවුණු ශාප පාඨ  මෙරට ශිලාලේඛනයන්හි දක්නට හැකිය.පැරණි සිද්ධස්ථාන තනවා මහා සංඝරත්නයට පූජා කරවන රජවරුන් එවැනි ශාප පාඨ ගල්ටැම් වල කොටවා තබන ලද්දේ එකල විසූ අසත් පුරුෂයන් විසින් කරන අනදර නිසාය.සද්ධර්මාලංකාරයේ චෝරනාග වස්තුවේ කියැවෙන්නේ රාජ්‍යය ලබා ගැන්මෙහි ලොභව වස්තු සොයමින් දාගැබ් බින්ද වූ රජෙකුට අත්වූ ඉරණම පිළිබඳවය.දාගැබ් බිඳින්නා වේතරණී නරකයේ ඉපදෙන්නේ යැයි දක්වා ඇත. මේ පිළිබඳවා දන්වන ලද කතා වස්තු පමණක් නොව බිතු සිතුවම්ද විහාරස්ථානයන්හි දක්නට හැකිය.

    සිංහල ද්වීපයේ බොහෝ තැන්වල උස්කඳු මුදුන් හමුවේ. රට මැද පමණක් නොව මුහුදු අසබඩද රමණීය කඳුවැටි දක්නට හැකිය. ඒ තන්හි දාගබ් බඳවා සුදෝසුදුවන්ව බැබළුන කල්හි ශ්‍රද්ධාව ඇති කරගත්හ.රට වටා යාත්‍රා කරන නාවිකයන් හට මේ දර්ශනය විසින්  ඇති කරන භක්තිය රටේ දියුණුවට සශ්‍රීකත්වයට උපයෝගී කර ගන්නා ආකාරය පැරණි රජ දරුවන් දැන සිටියහ.ස්ථූපයන් හි සර්වඥ ධාතු නිදන් කොරේ.බුදුන් ජීවමානව වැඩ සිටින ස්ථානයක් වහයෙන් එය හඳුනා ගැනේ.මේ පිළිබඳව දක්වා තිබෙන විවරණයන් මගින් ථූප වන්දනාවට අප යොමු කරයි.

      බුදු රජාණන් වහන්සේ පිරිනිවන් මංචකයෙහි වැඩ සිටිනා අවස්ථාවෙහි. ආනන්ද තෙරුන් වහන්සේට කළ එක් දේශානාවක චෛත්‍ය සාදා වැදුම් පිඳුම් කළ යුතු පුද්ගලයන් සතර දෙනෙකු ගැන සඳහන් වේ. තථාගත සම්බුද්ධත්වයට පත් වූ බුදුන් වහන්සේ පසේ බුදුන් වහන්සේ අරහත් භාවයට පත් රහතුන් වහන්සේ සහ පංචශීලාදි ගුණයෙන් පිරි දශරාජධර්මයෙන් රට කරවූ සක්විති රජු යන මේ සතර දෙන ථූපරහා යනුවෙන් ගාථාවෙහි සඳහන් කර ඇත.දාගැබක් ස්ථූපයක් තනවන්නා මහත් සේ පින්කමක යෙදේ.ථූපයේ පාදම ථූප ගර්භය කොත් වහන්සේ  සලපතල මළුව වැලි මළුව ආදී සියළු අංග මනාසේ සාදන්නා බුදුන් වහන්සේ  ගේ අනන්ත බුදු ගුණ බලය ගැඹුරින් දකින්නෙකි.මැටි  පෙනේරයෙන්ද හලා සියුම් කොට අතු කැබලි සත්ව කොටස් ඉවත් කර ගඩොලු සාදන උළු වඩුවා ගැනද එකල අවධානය යොමු විය. ඔවුන් විශේෂයෙන් කල කාර්ය භාරය නොවන්නට වසර පන්දහසක් කල් ස්ථූප නොපවතිනු ඇත.

         බෞද්ධයන් විසින් චෛත්‍ය වැඳිය යුත්තේ ඇයිද යන්නට නිවැරදි උත්තරයක් තිබේ. මනුෂ්‍යයා තුළ තිබෙන අකුසල් මග හරිනන්ට නම් කුසල් වැඩිය යුතුය. වීර්යය කළ යුතුයි ශ්‍රද්ධාව ඇති කර ගත යුතුයි. සියළුම පෘතග්ජන සත්වයන්ට එසේ එක පැහැර එය කළ නොහැකියි. ප්‍රතිපත්ති ගරුක වීමෙන් ශ්‍රද්ධාව වැඩීමෙන් නිර්වාන මගට පිවිසිය හැකියි. චෛත්‍ය වැඳීම යනු  ගඩොල් ගොඩකට වැඳීමක් නොවෙයි. බුදු ගුණය සිහිපත් කොට ප්‍රතිපත්ති ගරුක වීමට සූදානම් වීමක් ලෙසටයි දක්වා තිබෙන්නේ. බුද්ධ දේශනාවේ  පුලින ථූපිය තෙරුන් වහන්සේ ගේ කතා වස්තුවේ සඳහන් පරිදි වේද වේදාන්ත දත් නාරද නම් පුද්ගලයෙකු තමන්ගේ ශිෂ්‍යයන් තමන්ට වඳිනු දැක ගෞරව කරනු දැක තමන්ටද එසේ වැඳිය හැකි ගුණවත් පුද්ගලයෙකු සිටීදැයි කල්පනා කොට බැලීය. එකලද බුදුන් වහන්සේලා ගැන මති මතාන්තර විය. බුදුගුණය ගැන ගැඹුරින් සාකච්ඡා කිරීමක් විය. එසේ නම් බුදු ගුණය සිහිකර යමක් කරන්නෙමියැයි සිතා ආමරික නදිය අසල වැලි ගොඩකින් ථූපයක් කරවා මෙසේ කල්පනා කලේය.මේ ලෝකයේ යම් පුරුෂයෙක් අනන්ත ශීල සමාධි ප්‍රඥාවෙන් හා අනන්ත කරුණා මෛත්‍රියෙන් යුක්තව සියළු සත්වයන් කෙරෙහි කරුණාවෙන්ම අපමණ සසරෙහි පාරමී පුරා සකල ක්ලේශයන් ප්‍රහීන කොට සම්බුද්ධත්වයට පැමිණියේ නම් මේ වැලි චෛත්‍ය ඒ බුදු වරයන් වහන්සේ ගේ අනන්ත ගුණය උදෙසායි.. මෙසේ කල්පනා කොට වැලි ථූපයට වන්දනා කළ නාරද  මරණින් මතු ඉපිද සත් අවුරදු වියේදීම රහත් බවට පත් වූ බව පැවසෙයි.ඒ බුදු ගණය සිහි කල සංසාර පුරුද්දෙනි.

       සේරුවිල මංගල මහා චෛත්‍ය මෙන්ම රුවන් වැලි මහා  ‍චෛත්‍ය මෙන්ම අසූ හාර දහසක් දැගැබ් මෙහි පිහිටා ඇත. සැදැහැවත් බෞද්ධයන් දිනපතා එයට වන්දනා මාන කරති.සමස්ත සිංහල ද්වීපයම බෞද්ධ රාජ්‍යයක් බවට පත් වන්නේ ඒ නිසාමය.එහෙත් වරින්වර සතුරු උපද්‍රව නිසා මේ දැගබ් විනාශ වෙති. වල් වැදී ජරාවාස වෙති. එහෙත් බුදුන් වහන්සේ ගේ අපරිමිත බලයෙන් මෙන්ම සතරවරම් දෙවිවරුන් ගේ රැකවරණයෙන් යුතු  බැවින් පොළවට පස් නොවී තිබේ.කවුඩාගලද එසේමය. ක්‍රි.පූ. තුන්වන සියවසේ සිරිලක පුරා පැතිර ගිය බෞද්ධ ප්‍රබෝධය ඔස්සේ පුරාණ තමන්කඩුව ද බින්තැන්න පත්තුව යැයි අද හඳුන්වන පෙදෙස් බුදු සසුනට පූජා කරන ලද්දක් බවට පත් විය. පුරාණ තමන්කඩුව ඉංග්‍රීසි පාලන සමයේ දී පළමුව ත්‍රිකුණාමලයටත් දෙවනුව මඩකලපුවටත් එකතු කරන ලදහ.ඒ නිසාම කවුඩාගල පුරාණ රජදහන අද පවතින්නේ මඩකලපු දිස්ත්‍රික්කයට අයත්වයි.එක්පසෙකින් සශ්‍රිකත්වයෙන් පිරි මහවැලිගම්මානායන් දිස්වෙන අතර අනෙක් පසෙන් වාකරේ දක්වා දිවයන පුරාණ ජනාවාස හමුවෙයි.

     කවුඩාගල පැරණි සිද්ධස්ථානය ගොඩ නනවන ලද්දේ කුමන රජකෙනෙකුදැයි තවමත් අනාවරණය වී නැත. මෙහි පවතින ලෙන් ලිපි තුනෙහි අරුත් ගොනු කළ කල්හි දීඝවාපී ප්‍රදේශයේ අයතිශ නම් පරම්පරාවට අයත් සැදැහැවතුන් පිරිසක් විසින් මේ ලෙන් පූජාව කළ බව පැහැදිලි වේ. එසේම ක්‍රි.පූ දෙවන සියවසට පසුව කොටවන ලද ගිරි ලිපියක්ද මෙහි හමුවෙයි.මහගලක මහ විහාරය ගැන ඉන් කියැවන අතර එයට දාන ශාලාවක් හෝ පැන් ශාලාවක් සාදා පූජා කිරීමක් කළ බව දැක්වේ.මේ ආකාරයෙන් බලන කල්හි ක්‍රි.පූ. දෙවනි තුන්වන සියවස අතර මේ කවුඩාගල කෙතරම් වැදගත් ආර්ය සිද්ධස්ථානයක් වශයෙන් පැවතියා දැයි කල්පනාවට ගත හැකිය. වෙනත් ස්ථානයක නොමැති පැරණි සිතුවම් කීපයක්ම මේ ලෙන් වල හමුවීමම මේ වැදගත් ලක්ෂණ ඉස්මතු කරයි. ඒ අතර සුගලා බිසව රන්සලු මුදාහල තැන අද රන්සර තැන්න ගම්මානය තිබෙන බව ජනප්‍රවාදයේ සඳහන්ය. පොලොන්නරු සභ්‍යත්වය යටතේ කවුඩාගලට ලැබුණු රාජ්‍ය අනුග්‍රහයද මෙයින් පිළිබිඹු වේ.. ස්ථූපයට පහළින්  පොහෝ ගෙයක් යැයි සලකිය හැකි පූර්ව අනුරාධපුර යුගයට අයත් විසල් ගල්කණු පෙලකි.පූජ්‍ය දේවගල පඤ්ඤාසීහලංකාර ස්වාමීන් වහන්සේ පා තබා තිබෙන්නේ මෙවන් අසිරිමත් පුදබිමකටයි. එහි ස්ථූපය සංරක්ෂණය කල වහාම ගල් කණු සහිත ගොඩ නැගිල්ලේ කැණීම් ආරම්භ කරන බව උන්වහන්සේ පවසයි. එතෙක් මේ අගනා සද් කාර්යයට අපහාස නොකර සිටිතහොත් රැස්කරගත හැකි පුණ්‍ය මහිමයන් බොහෝය. නැතහොත් බලු කවඩු වී අවීචි මහ නරකය වේතරණී නරකය ආදී තැන් වල පැසෙන්නට කාටත් හැකියාව ලැබේ.සැම සිත් පහන් කර ගනිමින් මුලු ශ්‍රී ලංකා දීපයේම නැවතත් මෙවන් බෞද්ධ අසිරියක් උදා කරන්නට දිරිමත් වීමට අධිෂ්ඨාන කිරීමෙන් කුසල් වැඩෙන බව සහතිකය..

මතුගම සෙනෙවිරුවන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress