Arunya Indrajith Love Story-ඒ ප්‍රේමයටත් ඉඩ දෙමු අන්තර් වාර්ගික විවාහ නැතහොත් මිශ්‍ර විවාහ Interracial Marriage or Mixed Marriage ඉන්ද්‍රිජිත් සහ අරුණ්‍යාගේ කතාව
Posted on March 15th, 2024
LIFE DOCS Athula Disanayaka
After the 30 years of war ragged in North and East of Sri Lanka, Tamil girl and Sinhalese boy started a love affair at Jaffna university. Their love affairs had a numerous social taboos and opposition. But finally they got married.
ස්ත්‍රී-පුරුෂ ප්‍රේමය ඉදිරියේ අන් කිසිවක් දුහුවිල්ලක් තරම් නොවටී. ලෞකික ප්‍රේමය උත්කර්ශය නැගෙන්නේ එසේය. ප්‍රේමය ඉදිරියේ අධිරාජ්‍යයන්, රජුන් පවා දන ගැසූ අන්දම ඉතිහාස පොත් වල තිබේ. මේ ප්‍රේම කතන්දර වලදී ජාතිය, ආගම, කුලය පසෙක ලා, ඒවා කැප කොට, ඒවා දෙවැනි කොට සිය ප්‍රේමණීය විජිතයේ කිරුළු පැළඳි පෙම්වතුන් අප කොතරම් ආදරයෙන් වැළඳ ගන්නේ ද? සාහිත්‍යයේ, සිනමාවේ, ටෙලි නාට්‍යයේ එන එවැනි කතා වලට අශක්ත වන, එවැනි කතාවල වෙනස් ජනවර්ග වලට අයත්, වෙනස් ආගම් වලට අයත් පෙම්වතුන් පෙම්වතියන් අවසානයේ එක්වීම ගැන සතුටු වන මිනිසුන් සැබෑ ලෝකයේ දී එවැනි මිශ්‍ර විවාහ වලට, අන්තර්වාර්ගික විවාහ වලට ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද? ලංකාවේ අන්තර් වාර්ගික ප්‍රේම සබඳතා සහ විවාහයන් සිදුවේ. සිංහල- දෙමළ, දෙමළ-මුස්ලිම්, බෞද්ධ-කතෝලික, කතෝලික-මුස්ලිම්, කතෝලික-හින්දු, බර්ගර්-සිංහල ආදී කී නොකී අන්තර් වාර්ගික ප්‍රේම සබඳතා සහ විවාහයන් ශ්‍රී ලාංකිය සමාජයේ සිදුවේ. එහෙත් ඇත්ත වශෙයන්ම වාර්ගික හෝ ආගමික වෙනස්කම් නිසා ස්ත්‍රී-පුරුෂ ප්‍රේම සබඳතා ප්‍රේමණීය හැඟීම් හැඟීම් වලට පමණක් සීමාවන අවස්ථා කොතෙකුත් ඇත් ද? ඒ වෙනස්කම් නිසා පෙම්වතුන් පමණක් වී, එය විවාහයෙන් කෙළවර කරගන්නට නොහැකිව ලතවන අය කොපමණ ඇත්ද? විවාහ වුණත් ඥාති පාර්ශවයන්ගේ වෙනස්කම් වලට, හිංසාවන් වලට භාජනය වන අන්තර් වාර්ගික විවාහයන් කොතෙකුත් ඇත් ද? ලංකාවේ ජනවාර්ගික අරගල, ගැටුම් හටගන්නා සෑම අවස්ථාවකම වඩාත් අවදානමට, හිංසාවට හෝ පීඩාවට පත්වන පෙම්වතුන් සහ මිශ්‍ර විවාහ පවුල් කොතරම් වේද? එවන් තත්වයන් දියුණු සමාජ වල ලක්ෂණයක් ද? කිසියම් රටක, ජන සමාජයක ආගම, ජාතිය, කුලය ආදී වූ වෙනස්කම් නොසලකා අන්තර් වාර්ගික ප්‍රේම සබඳතා වලට, විවාහයන්ට ඉඩ සලසා දෙන්නේ නම්, එයට බාදා කිරීම් අවහිර කිරීම් නොකරන්නේ නම් එය දියුණු සමාජයක් ලෙස සැලකිය හැකිය. එය ආගමික විශ්වාස හෝ වාර්ගික සීමාවන් ඉක්මවා ගිය උතුරා යන මනුෂ්‍යත්වයක් ඇති තැනකි. ඇත්ත වශයෙන්ම තිස් අවුරුදු ජනවාර්ගික යුද්ධයකින් බැට කෑ රටක, ජාතීන් අතර සැකය, අවිශ්වාසය සහ සිත් නොහොඳකම් ඇති වූ රටක අන්තර් වාර්ගික විවාහයන්ට ඉඩ සැලසීම සැබෑ සංහිඳියාව ගොඩ නැගීමට උපකාරී වන්නකි. එය සැබෑ මනුෂ්‍යත්වයයි. ලංකාවේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ඇති එකම විසඳුම එය නොවෙතත්, යම් මට්ටමකට සැබෑ සංහිඳියාවක් ගොඩ නැගීමට අන්තර්වාර්ගික විවාහයන් සහ ප්‍රෙම සබඳතා ඉවහල් වනු ඇත. එවන් ප්‍රේම සබඳතා ගොඩ නැගීමට අවැසි තැන, එවන් විවාහයන් වීමට අවැසි තැන ඊට ඉඩ සැලසීම ශිෂ්ට සම්පන්න සමාජයක යුතු කමකි. මේ සටහන ලියවෙන්නේ එවන් ප්‍රේම සබඳතාවකින් විවාහ වූ, යාපනයේ විශ්ව විද්‍යාලයේ දී එකිනෙකා හමුවූ දකුණෙන් ගිය ඉන්ද්‍රජිත් සහ නැගෙනහිර ත්‍රිකුණාමලයෙන් ගිය අරුණ්‍යාගේ ප්‍රේමණීය කතාව නිසාය. ඔවුන්ගේ ප්‍රේමණීය හමුවීම සැබවින්ම අභියෝගාත්මක අරගලයක් වූයේය. ඔවුන්ගේ ප්‍රේමණීය කතාවෙන් දකුණේ සිංහල සමාජයටත්, උතුරේ දෙමළ සමාජයටත් උගෙන ගැනීමට බොහෝ දේ තිබේ. දැන් ඔවුන් විවාහකය. මාස 06 ක පුතකු ඔවුන්ට සිටී. දෙදෙනාම රාජ්‍ය පරිපාලන සේවයේ නියුතු අතර අරුණ්‍යා වේගයෙන් සිංහල භාෂාව ඉගෙන ගනිමින් යන අතර ඉන්ද්‍රජිත් දෙමළ භාෂව සිංහල අයට ද, සිංහළ භාෂාව දෙමළ අයට ද උගන්වමින් සිටී. මේ අතර මේ දෙදෙනා ආරම්භ කළ අළුත් ම මුහුණු පොතේ පිටුව වන්නේ Mix Marriage – මිශ්‍ර විවාහ යන්නයි. ඔබ මිශ්‍ර විවාහයකට අයත් වූවෙක් වුවත් නැතත්, මේ රටේ සැබෑ සාමය සහ සංහිඳියාව ප්‍රාර්ථනා කරන්නේ නම්, මනුෂ්‍යත්වය අගයන්නේ නම්, ස්ත්‍රී-පුරුෂ ලෞකික ප්‍රේමය අගයන්නේ නම් ඔබගේ අදහස්, මිශ්‍ර විවාහ පිළිබඳ කතන්දර ආදිය එම පිටුවට වැදගත්ය. Athula Disanayaka