ආර්ය අෂ්ඨාංගික මාර්ගය, අනාර්ය අෂ්ඨාංගික මාර්ගය සහ සීලබ්බත පරාමාසය – න තෙ භවං අට්ඨමමාදියන්ති
Posted on March 26th, 2024

තිස්ස ගුණතිලක

යෙ අරියසච්චානි විභාවයන්ති, ගම්භීරපඤ්ඤෙන සුදෙසිතානි;

කිඤ්චාපි තෙ හොන්ති භුසං පමත්තා, 

න තෙ භවං අට්ඨමමාදියන්ති – රතන සූත්‍රය 9 වන ගාථාව

අෂ්ඨාංගික මාර්ගය සහ සීලබ්බත පරාමාසය යන කාරනා දෙකම බුදුන්වහන්සේ සද්ධර්මය තුලින් අපට දායාද කල සංකල්පයන්ය. අවාසනාවකට මෙන් මෙම සංකල්ප දෙකම ගැන නිසි පැහැදිලි කිරීමක් කිසිම දේශකයෙක් කරන්නේ නැත. පැහැදිලි කරනවා වෙනුවට ඔවුන් අපව තවතවත් පඹගාලක පටලවයි. මෙම සංකල්ප සද්ධර්මය තුල නිතර නිතර හමුවුවත් බොහෝ දේශකයින් එහි තේරුමවත් නිවැරදිව දන්නවාද යන්න අපටනම් ප්‍රශ්නයකි. 

සෝවාන් වන්නේ දර්ශනය (දැනුම – සත්‍ය ඤාණය) මගිනි. එය දර්ශන අවබෝධයට (දැකීම – කෘත්‍ය ඤාණයට) පෙර ඇතිවන්නකි.  සෝවාන් වීමට අනුගමනය කල යුතු ප්‍රතිපදාවක් නැත එහෙත් අනුගමනය කලයුතු ජීවන රටාවක් ඇත. අවශ්‍යවන්නේ දර්ශනය (සද්ධර්මය) පිලිබදව හොදින් දැනගැනීම හා ඒ අනුව ජීවත්වීම පමනි. බුදුන්වහන්සේ සබ්බාසව සූත්‍ර දේසනාවේ ‘දස්සනේන පහාතබ්බා’ යනුවෙන්‍ දේසනා කලේ මෙයයි. ඔබටයි මටයි දර්ශනය හොදින් වැටහෙන්නේ නම් ගිහිවත තුලම අරහත්ත මාර්ගයේ පලමු සංදිස්‍ථානය වන සෝවාන් ස්වභාවය අත්කර ගත හැකියි. 

සීලබ්බත පරාමාසය දසසංයෝජනයන්ගෙන් සෝවාන් අවස්ථාව උදාකරගැනීම සඳහා ප්‍රහීන කල යුතු සංයෝජන තුන අතරින් එකකි. මෙම සංයෝජන තුන (සක්කාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස) පිළිබඳව නිවැරදි දැනීමක් ඇතිනම්, ඒවා ප්‍රහානය වන අයුරින් ඔබ ඔබගේ ජීවන රටාව සකස් කරගත් අයෙක්නම් (ප්‍රතිපදාවක් නොවේ) සෝවාන් අවස්ථාව ඔබවෙත ඉබේම (ආයාසයකින් තොරව – auto) ලඟාවෙයි. සෝවාන් වීමට අවශ්‍ය පාරමිතා (pre-condition) සම්පූර්ණවීම යනු මෙම දැනුමට හා ජීවන රටාවට අනුගත වීමයි.

බුදුන්වහන්සේ සද්ධර්මය තුල විවිධ අර්ථ දැක්වීම් (definitions) ඉදිරිපත් කර ඇත. පහත සඳහන්‍ වන්නේ එවැනි අර්ථ දැක්වීම් කීපයකි; 

  1. ස්වභාවධර්මය තිලක්ෂණයට (අනිච්ච, දුක්ඛ, අනත්ත-දෙයක් යමක් කෙනෙක්‍ හෝ කරන්නෙක් නැති, රාග ද්වේශ මෝහ ගින්නක් ඇති නොවන, ශුණ්‍ය ස්වභාවය) අනුව පවතියි.
  2. ස්වභාවධර්මය නියාමන පහක් (බීජ, සෘතු, කම්ම, චිත්ත, ධම්ම නියාම) තුල ක්‍රියාත්මකයි. Definition of the behaviour of nature.
  3. විවිධ අවස්ථාවල සත්වයාගේ චිත්ත (සිහිය) ස්වභාවය බුදුන්වහන්නේ අර්ථ දක්වන්නේ ඒ ඒ අවස්ථාවල ඇතිවන ස්කන්ධය (රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ) ලෙසයි.  ස්කන්ධය යනු යම් මොහොතක සත්වයාතුල පවතින චිත්ත (සිහිය) ස්වභාවයේ snapshot එකයි (පච්චුප්පන්නඤ්ච යො ධම්මං),
  4. බුදුන්වහන්සේ සිතුවිල්ල හෙවත් අරමූණ අර්ථ දැක්වූයේ අවස්ථා දොලහක් තුල සිඳුවන සංඥා විපරිනාමය නැනහොත් ‘පට්ච්චසමුප්පාද’ ක්‍රියාවලිය ලෙසයි, එසේම 
  5. සත්වයාගේ ජීවන රටාවහැඳින්වීමට, අර්ථ දැක්වීමට බුදුන්වහන්සේ යොදාගත්තේ අෂ්ඨාංගික මාර්ගයයිනැතහොත් අට පිලිවෙතයි‘.

අෂ්ඨාංගික මාර්ගය – ඔබ ජීවත්වන පිලිවෙත, දැක්ම, රටාව පිළිබඳ බුදුන්වහන්සේගේ අර්ථ දැක්වීමයි (definition of behavioral pattern of Sathva). එක් එක් අය ජීවත්වන්නේ ඔවුන්ටම ආවේනිකවූ (අට) පිලිවෙතකය. එනම් එක් එක් අයගේ අෂ්ඨාංගික මාර්ග වෙනස්වන අතර ඇති එකම සමානකමනම් ඒ සියඵම පිලිවෙත් අනුසෝතගාමි, භාහිරය ආත්මීය කරගන්නා, භවය සකස් කරනා පිලිවෙත් වීමයි.

අයෙක් සමාජය තුල ඉතා හොදින් ජීවිකාව ගෙනයාමට උත්සාහ කරයි. හෙතෙමේ තමාගේ ‘අෂ්ඨාංගික මාර්ගය’ ඒ අනුව සකස් කරගනී. හෙතෙමේගේ දිට්ඨි (දෘශ්ඨීන්) තමාගේ ජීවිකාවට අනුගතය. උදාහරනයක් ලෙස හෙතෙමේ තුල හොඳක් කලොත් හොඳ විපාකයක් තමා වෙත ලඟාවන දෘශ්ඨිය ඇතිවෙයි. ඒ අනුව තම සංකාරය (වචනය, ක්‍රියාව හා සංකල්ප) සකස්වෙයි. සෟම්‍ය, මෘදු වචන සැමවිටම තෙපලයි. ක්‍රියාව තවත් අයෙක් නොතලන, නොපෙලන අයුරිනි. සිතින්වත් තවත් කෙනෙකුට අයහපතක් නොපතයි. හොද ජීවිකාවක් ගතකිරීමටත් (ආජීව) ඒ සඳහා කරන වෑයමත් (වායාම), ඒ තුලින් තමා තුල ඇතිකරගන්නා හොඳ සිතුවිලිත් (සතිය) තුල හෙතෙමේ ජීවත් වෙයි (සමාධි). සාධාරණ දිවිපෙවතක් ගතකරන්නෙකුගේ ‘අෂ්ඨාංගික මාර්ගයයි’ මේ.

අනෙක් අතට තවත් අයෙක් සමාජය තුල ඉතාමත් නරක චණ්ඩ දිවිපෙවතක් ගතකරයි. මොහුගේ දෘශ්ඨීන් එම ජීවිකාවට අනුරූපව සකස්කරගනියි. උදාහරනයක් ලෙස හෙතෙමේ කිසිම දෙයක හොඳක් හෝ යහපතක් නොදකියි. ඒවායින් වන විපාක පිළිබදව නොතකයි. මෙය මොහුගේ දෘශ්ඨියයි. හෙතෙම තමාගේ සංකාර (වාචි, කාය, මනෝ) සකස්කරගන්නේ ඒ අනුවයි; රඵ වචන තෙපලයි, ක්‍රියාවන් සුකුම නොවෙයි, සිතුවිලිද රළුය, ආදරය යන වචනය පවා පාරිභාෂිතයේ නැත. ජීවත්වන්නේ අසල්වැසියන්ට හිරිහැරයක් ලෙසය (ආජීව), නිතර උත්සාහ කරන්නේ තමාගේම පමනක් සුගතිය පිනිසය (වායාම), සිත තුල හටගන්නේ දරුනු අරමුණයි (සතිය), කාලය ගතකරන්නේ ඒ දරුනු හැඟීම් සමගයි (සමාධි). අසාධාරණ දිවිපෙවතක් ගතකරන්නෙකුගේ ‘අෂ්ඨාංගික මාර්ගයයි’ මේ.

මෙසේ පුද්ගලයාගෙන් පුද්ගලයෙකුට ‘අෂ්ඨාංගික මාර්ගය’ වෙනස් වෙයි. ඒ නිසා බුදුන්වහන්සේ පුද්ගල ජීවන රටාව, පිලිවෙත හැඳින්වීමට, අර්ථ දැක්වීමට යොදාගත්තේ ‘අෂ්ඨාංගික මාර්ගය’ යි.

ආර්ය හා අනාර්ය අෂ්ඨාංගික මාර්ගය

ගිහි පැවිදි දේශකයින් නිතර නිතර භාවිතාකරනා බැවින් සමාජගතවී ඇති පැටලීමකට තුඩුදෙල සංකල්පයක් එහි නිවැරදි අර්ථයෙන් තේරුම්ගැනීමට උත්සාහ කරමු. දේශකයින් ‘භාහිරය සත්‍ය කරගැනීමක් හා භාහිරය සත්‍යය කර නොගැනීමක්’ යයි නිතර නිතර පවසයි. මෙය නිවැරදි ආකාරයෙන් (true context) දතහොත් එයි වරදක් නැත.

භාහිරය (ස්වභාවධර්මය) යනු අනාත්මීයව පවතින (දෙයක් යමක් කෙනෙක්‍ හෝ කරන්නෙක් නැති, රාග ද්වේශ මෝහ ගින්නක් ඇති නොකරන, මෙලෝ රසයක් නැති, ශුණ්‍යත) ලෝකයයි.

  • භාහිරය සත්‍යකර ගැනීම යනු භාහිරය ‘ආත්මීය’ ලෙස (රාග ද්වේශ මෝහ ගින්න ඇතිවන අයුරින්) ගැනීමයි, සැලකීමයි. විඤ්ඤාණ මායාව තුල සිඳුවන්නේ මෙම ක්‍රියාවලියයි.
  • භාහිරය සත්‍යකර නො ගැනීම යනු භාහිරය ‘අනාත්මීය’ ලෙස එනම් එහි යතාභූත ස්වභාවයෙන්ම ගැනීමයි, දැකීමයි. විපස්සනාව තුලින් දකින්නේ මෙම ස්වභාවයයි.

යමෙක් භාහිරය (nature) සත්‍යකර ගනියිනම් (භාහිරය ආත්මීයව දකීනම්) හෙතෙමේ තම ජීවන පිලිවෙත නැතහොත් අෂ්ඨාංගික මාර්ගය ඊට අනුරෑපව සකස්කරගත් ‘අනාර්ය අෂ්ඨාංගික මාර්ගයකට’ පිලිපන් පුද්ගලයෙකි. මේ අනුව ඉහත සඳහන්කල සාධාරණ දිවිපෙවතක් ගතකරන්නාත් (සාධාරණ අන්තය ලෙස සලකමු) දරුනු චන්ඩ අසාධාරණ දිවිපෙවතක් ගතකරන්නාත් (අසාධාරණ අන්තය ලෙස සලකමු) යන දෙදෙනාම

අයත් වන්නේ අනාර්ය අෂ්‍ඨාංගික මාර්ගයටයි. තවද මෙම අන්ත දෙක අතරමැද පවත්නා සියළුම දිවිපෙවෙත්ද අයත් වන්නේ අනාර්ය අෂ්ඨාංගික මාර්ගයටමය. මක් නිසාදයත් මේ සියළුම දිවිපෙවෙත් තුල සනිටුහන් වන්නේ භාහිරය සත්‍ය කරගන්නා ජීවන රටාවක්මය.

කෙනෙක්‍ භාහිරය එහි යතාභූත ස්වභාවයෙන්‍ එනම් අනාත්මීයව (දෙයක් කෙනෙක් හෝ කරන්නෙක් නැති, රාග ද්වේශ මෝහ ගින්නක් නැති ස්වභාවයෙන්) දකින ජීවන පිලිවෙතක් සකස්කරගත් අයෙක්නම් හෙතෙමේ ‘ආර්ය අෂ්ඨාංගික මාර්ගය’ තුල ජීවත්වන අයෙකි.

සීලබ්බත පරාමාසය හා එහි ප්‍රහානය

අප සියඵදෙනාම භාහිරය සත්‍යකරගෙන (ආත්මීය ලෙස ගෙන, උපාදානස්කන්ධයක් බවට පත්කරගෙන) භවය සකස්කරමින් (භාහිරය දෙයක් යමක් කෙනෙක් සේ ගෙන), එය ‘මම’, ‘මගේ’ කරගෙන (ජාති) ඒ නිසාම දුකෙහිගැලී අනාර්ය අෂ්ඨාංගික මාර්ගයක දිවිගෙවයි. භාහිරය සත්‍ය (ආත්මීය) කරගැනීම නිසා අපගේ සිහිය (mindfulness) ප්‍රමාදවන (මජ්ජ) බව බුදුන්වහන්සේ ධව්මචක්කපවත්තන සූත්‍ර දේශනාවේ මුලින්ම කියාදෙයි. මේ නිසා බුදුන්වහන්සේ ධම්මචක්කපවත්වන සූත්‍රයේ මුලින්ම අපට කියාදෙන්නේ ‘කාමසුඛල්ලිකානුයොගො අත්තකිලමථානුයොගො’ යන අන්ත දෙකෙන්ම මිදිය යුතුබවයි. මක්නිසාදයත් ඒ අන්ත දෙකම (විඤ්ඤාණ මායාවට හසුවී) භාහිරය සත්‍යසේ දකින (ආත්මීයව දකින) සිහිය ප්‍රමාද කරනා ජීවන රටාවන් බැවිනි.  එම අන්ත දෙක හා ඒ අතරවන සියළුම ජීවන රටාවනුත් වැටෙන්නේ ‘අනාර්ය අෂ්ඨාංගික මාර්ග’ තුලටය. අප සියළු දෙනාම සිටින්නේ මෙතනයි. මේ නිසා මෙම ‘අනාර්ය අෂ්ඨාංගික මාර්ග’  ස්වභාවයෙන් නොමිදෙනාතාක් කල් අපට කිසි දිනක නිවන කෙසේ වෙතත් එහි මුල් අවස්ථාවවන සෝවාන්වත් විය නොහැකියි.

ඔබ රාජ රාජ මහාමාන්‍ය සැපවින්දත්, ඔබ සාමාන්‍ය පුද්ගල ස්වභාවයෙන් දහඩිය මහන්සියෙන් දරුපවුල රැක්කත්, මහමඟ සිඟමන් යැද්දත් (කාමසුඛල්ලිකානුයොගො), ඔබ මහමායා දේවියසේ සිල්රැක්කත්, නිඝන්ඨයෙක්මෙන් ශරීරයට දුක්දෙමින් ගෝණ වෘත බලු වෘත රැක්කත්, ඔබ දසඅතේ පිංකම් කරමින් දානමාන දුන්නත්, තපස්දම් පිරුවත් (අත්තකිලමථානුයොගො) ඔබ භාහිරයේ සත්‍ය (යතාභූත ස්වභාවය, ගින්නක් ඇති නොවන, ශුණ්‍යත ස්වභාවය) නොදකිනතාක්කල් සිටින්නේ අනාර්ය අෂ්ඨාංගික මාර්ග ජීවිකාව තුලය. අනාර්ය අෂ්ඨාංගික මාර්ගය තුල ජීවන රටාව සක්කර ගෙන විසීම ‘සීලබ්බත පරාමාසය’යි. එසේ නම් ඔබකල යුතුවන්නේ ‘අනාර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් මිදෙන ආකාරයට (සං මා-මිදීම)’ තම ජීවන රටාව සකස්කර ගැනීමයි. එවිට ‘සීලබ්බත පරාමාස ප්‍රහානය’ සිඳුවෙයි. 

න තෙ භවං අට්ඨමමාදියන්ති

බුදුන්වහන්සේ ‘න තෙ භවං අට්ඨමමාදියන්ති’ යනුවෙන් රතන සූත්‍රයේ පෙන්වා දෙන්නේ ඉහත සඳහන් මෙම න්‍යයයි, අර්ථ දැක්වීමයි. න තෙ භවං – භවය සකස් නොවන (භාහිරය සත්‍ය නොවන, භාහිරය දෙයක් යමක් කෙනෙක් නැති, අනාත්මීයව දකින), අට්ඨමමාදියන්ති – අට පිලිවෙතක, ජීවන රටාවකට අනුගතවිය යුතු බවයි. නොඑසේ නම් ‘කිඤ්චාපි තෙ හොන්ති භුසං පමත්තා – සිහිය බොහෝ ප්‍රමාද කරනා ඒ නිසාම නිවන් අවබෝධයෙන් ඔබව ඈත් කරනා බවයි.

අනාර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් මිදීම නොහොත් සීලබ්බත පරාමාස ප්‍රහානය

තම ජීවන රටාව නොහොත් අට පිලිවෙත (අෂ්ඨාංගික මාර්ගය) සිලබ්බත පරාමාස ප්‍රහානය පිනිස සකසා ගන්නේ කෙසේද?

පලමුවෙන්ම ඔබ භාහිරය සත්‍යසේ (ආත්මීයව) දකින සියළුම දෘශ්ඨි වලින් මිදිය යුතුය (සංමා – මිදීම දිට්ඨි). අප දන්නා නොදන්නා සියළුම දෘශ්ඨීන් (කර්ම විපාකය හා සමත භාවනාව ඇතුළු සිත පාලනය කල හැකියයි යන දුර්මතය සහිත දෘශ්ඨීන්) මෙම ඝණයට අයත්ය. සංමා දිට්ඨි යනු සියළුම දෘශ්ඨීන් ප්‍රහානය කලවිට ඇතිවන ශාන්ත ස්වභාවයයි.

දෙවනුව ඔබ ඔබගේ වචනය (වචී සංකාරය), ක්‍රියාව (කාය සංකාරය) හා සිතුවිලි (මනෝ සංකාරය) භාහිරයේ දෙයක් යමෙක් කෙනෙක් නැති, ගින්නක් නැති ස්වභාවයක හැසිරවිය යුතුය (සංමා වාචා, සංමා කම්මන්ත, සංමා සංකප්ප). මෙය සම්මා – යහපත් ලෙස ගත්තද එහි වරදක් නැත.

උදාහරනයක් ලෙස කෙනෙකුගේ රූපය, නාමය හා ගැටගැසූ සැනකින් එම රූපය ‘කෙනෙක් නැතහොත් උපාදානස්කන්ධයක්’ බවට පත්වෙයි. මේ නිසා කෙනෙක් නාමයෙන් ඇමතීමෙන් මිදීම තුල සංමා වාචා ඇතිකරගත හැකියි. ඔබ බොහෝවිට භික්ෂූන්වහන්සේලා සෝමා මහත්මිය, උපාලි මහත්මයා ආදි වශයෙන් නොඅමතා, ‘ඒ ඇත්තා, අර ඇත්තී, උපාසක තැන, උපාසකඅම්මා’ වශයෙන් අමතනවා අසා ඇතුවාට සැකයක් නැත. මෙම භාෂා විලාසය බොහෝ දුරට සංමා වාචා (කෙනෙක් නොවන) ස්වභාවයට කිට්ටුය.

තෙවනුව ඔබගේ ජීවිකාවද භාහිරය නිසා ගිනි නොගන්නා ස්වභාවයෙන් මිදීමට අනුකූල විය යුතුය (සංමා ආජීව), භාහිරය නිසා ගිනිගන්නා, ඇලෙන ගැටෙන ස්වභාවයෙන් මිදීමට වෑයම් වීරිය කල යුතුය (සංමා වායාම).

සතරවනුව භාහිරය නිසා ගිනිගන්නා ස්වභාවයට නිතර නිතර පත්වන සිහිය පැවැත්මෙන් ඈත්විය යුතුය (සංමා සති).

අවසානයේදි භාහිරය සත්‍ය නොවන ස්වභාවයක සිහිය පැවැත්ම තුල පැවතිය (විහරති) යුතුය (සංමා සමාධි). කලයුතු ක්‍රියාව හැඟීමෙන් නොව යුතුකමක්සේ කරන්න (place responsibility forefront, not emotion).

භාහිරය සත්‍ය නොවන (අනාත්මීය) සිහිය ඇතිකරගැනීම එනම් අනාර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් මිදීම හෙවත් සීලබ්බත පරාමාසය ප්‍රහානය යනු මෙම ‘භවය’ හෙවත් ගින්නක්, නන්දියක්, උපාදානයක් ඇති නොවන ජීවන රටාවට පිවිසීමයි – ‘න තෙ භවං අට්ඨමමාදියන්ති’ මේ බුදු වදනයි.

ධර්මය සේ අධර්මය දේශනාකරනා දේශකයෝ

මුළු රතන සූත්‍රයම ධර්මය ලෙස නොව අධර්මය සේ ගලපා දශක ගනනාවක් තිස්සේ දේශනාකල මොවුන් සෝවාන්වූ පුද්ගලයාට අටවෙනි භවයක් නැතැයිද සත්වන භවයකදී ඔහු නිවන් දකින්නේය යන මිත්‍යවේ අපව සිරකරගෙන සිටි අයුරු දැන් ඔබට පසක්විය යුතුය. මේ නිසාම මෙම ලිපියෙන් කරන්නාවූ අනාවරනය මෙතෙක් සද්ධර්මය යයි දැන ගෙන සිටි ක්‍රියාවලිය තුල ‘හැරවුම් ලක්ෂයක්’ (paradigm shift) වනවාට සැකයක් නැත.

මෙම ලිපිය අෂ්ඨාංගික මාර්ගය හා සීලබ්බත පරාමාසය සමඟ එහි ඇති සහ-සම්බන්ධතාවයත්, එම සංකල්ප බුදුන්වහන්සේ අදහස් කල අයුරින්ම ධර්මය හා ගැලපීමට ගන්නාවූ උත්සාහයකි. 

ඔබට තෙරුවන් සරණයි

තිස්ස ගුණතිලක

eMail:  tgunite@tpg.com.au

2024 මාර්තු මස 25 වනදා

Sent from Tissa’s Phone

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress