සෝතාපන්නය (සෝවාන් වීම) හෙවත් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා සහ සීලබ්බත පරාමාස ප්‍රහානය – දෙවන කොටස
Posted on April 21st, 2024
තිස්ස ගුණතිලක
අරහත්භාවය නොහොත් නිවන අත්කරගැනීමට පලමුවෙන් සෝතපන්නයට පැමිනිය යුතුය. සෝතාපන්නයෙන් තොර නිවනක් නැත. එසේ නම් සෝතපන්නය පලමුවෙන් දත යුතුය. සෝතාපන්නයට පලමුවෙන් පත්විය යුතුය.
ඉහත සඳහන් සංයෝජන තුනම සෝවාන් මාර්ගයට පිවිසීමට ප්‍රහානය කලයුතු ධර්මයෝය. මෙම තුන් සංයෝජන ප්‍රහානය සිඳුවන්නේ දැනුමෙන් නැතහොත් සත්‍ය ඤාණය හා එම දැනුමට අනුගතවූ ජීවිකාව තුල පමනක් බව බුදුන්වහන්සේ සබ්බාසව සූත්‍රයේ දස්සනේන පහාතබ්බා (දස්ස – දර්ශනය, නේන – අනුගතවීමෙන්, පහාතබ්බා – ප්‍රහානයවන) යනුවෙන් පෙන්වාදෙයි.
එසේනම් සෝවාන් අවස්ථාවට පත්වීමට මුල් සංයෝජන තුන තේරුම්ගෙන, එම සංයෝජන ධර්ම ප්‍රහීනවන ජීවිකාවකට අනුගතවිය යුතුය. සෝවන් මාර්ගය ඉතාමත් සරලව අත්කරගත හැක්කක් සේ ඔබට දැනෙනු නොඅනුමානය. එසේනම් සොවාන් වූවෙක් අපට හමුනොවන්නේ මන්ද?
මුල් සංයෝජන තුන තේරුම් ගෙන (දැනුම – සත්‍ය ඤාණය) ඒවා ප්‍රහීනවන ජීවිකාව කුමක්ද? බුදුන් දවස වයස අවුරුදු 7 තේ දරුවන් පවා සෝවාන් වූ බවද අනෙකුත් වැසියන්ගෙන් 5/7 ක්ම සෝවාන්ව සිටි බවද නොයෙකුත් ධර්ම ග්‍රන්ථවල සඳහන්වෙයි. සෝවාන් තත්වය වයස අවු 7 තේ දරුවන්ට පහසුවෙනුත් අනෙකුත් අයට තරමක් වීරියකිනුත් ලබාගත හැකි තත්වයක් බවයි මෙයින් වැටහෙන්නේ. එසේනම් අපට අද දවස සෝවාන් වූවන් හමුවීම විරල (හෝ ඇත්තේම නැත්තේ) ඇයි?
අද සියළුම දේශකයෙක් පාහේ මුල් සංයෝජන තුන ගැන නොදන්නවා මෙන්ම අධර්මය ධර්මය සේ දේශනා කිරීමෙන් ඒවායේ තේරුම් (දැනුම) වසා දමා ඇති නිසාය.
සියල්ලම කනපිට පෙරලා ඇති අවදියක සද්ධර්මය පමනක් එසේ වී නොමැතිනම් පුදුමයකි. බුද්ධිය ඇත්තෝ බුද්ධියෙන්ම දකිත්වා!
මුල් සංයෝජන ධර්ම තුන
සීලබ්බත පරාමාස ප්‍රහානය යනු අනාර්ය අට පිලිවෙතින් (අශ්ඨාංගික මාර්ගය) මිදෙන ජීවන ක්‍රමයට අනුගතවීමයි. අනාර්ය අට පිලිවෙත තුල ගෙවන දිවිය හේතුවෙන් සක්කාය දෘශ්ඨිය ඇතිවී එය දිගටම පවතියි. සක්කාය දෘශ්ඨියෙන් මිදෙන (සක්කාය දෘශ්ඨි ප්‍රහානය) පිලිවෙත සීලබ්බත පරාමාස ප්‍රහානයයි. මේ සෝවාන් ස්වභාවයයි. සෝවාන් මාර්ගයයි.
එනම් භාහිරය දෙයක් යමක් කෙනෙක් සේ දැනෙන, ‘මම’ ඉන්නවාසේ දැනෙන, ස්වාභාවයෙන් මිදෙනා (ඉත්ථභාවයෙන් මිදෙන) ජීවිකාවකට අනුගතවීම ‘සීලබ්බත පරාමාස ප්‍රහානය’ බව මෙම ලිපි පෙලේ පලමු කොටස වන 2024 මාර්තු 26 වනදා Lankaweb පිටුවේ පලවූ;
අෂ්ඨාංගික මාර්ගය, අනාර්ය අෂ්ඨාංගික මාර්ගය සහ සීලබ්බත පරාමාසය – න තෙ භවං අට්ඨමමාදියන්ති‘
ලිපිය මගින් දීර්ඝලෙස විස්තර කරන ලදී. එම ලිපියට පහත සඳහන් link එක හරහා පිවිසිය හැකියි.
මෙම ලිපිය පරිහරනය කල ඔබ සිලබ්බත පරාමාසය යන සංයොජනය පිළිබඳ දැනුමෙන් සන්නද්ධය. එසේ නම් දැන් සක්කාය දිට්ඨිය හා විචිකිච්ඡාව යන සංයෝජන දෙක තේරුම් ගැනීමට උත්සාහ කරමු.
තුන්දොර
අප බොහෝ දෙනා දන්නා පරිදි සද්ධර්මය තුල හමුවන තුන් දොර වන්නේ සිත, කය නොහොත් ක්‍රියාව හා වචනයයි. සංකාර වන්නේ මෙම තුන්දොර තුලයි. අප විඤ්ඤාණමායාවට සංවේදිතාවයක් නැතහොත් ප්‍රතික්‍රියාවක් දක්වන්නේ මෙම තුන්දොර තුලිනි. සංකාර යනු විඤ්ඤාණමායාව එනම් හේතුඵල දහම නිසා මනසේ සකස්වන දෙයක් මිස භාහිරයේ පවතින්නක යථාභූත ස්වභාවය නොවෙයි. ‘හේතුං පටිච්ච සම්භූතා (-හේතු භංගා නිරුජ්ජතී)’ යනුවෙන් බුද්ධ දේසනාවේ හමුවන්නේ මෙම ධර්මතාවයයි. සංකාර යනු හේතුඵලය නිසා මනසේ සම්භූත වන (මනසේ හටගන්නා මායාවට සකස්වන) දෙයක් මිස සත්‍යවශයෙන් භාහිරයේ පවතින අනාත්මීය ස්වභාවය නොවේ.
අනාත්මීයව පවත්නා භාහිරය ආත්මීය කරන්නේ තුන්දොර හරහා සකස්වන සංකාරයයි. සංකාරය භවය සකස්වන ලෙසත් (සංකාර), භවය සකස් නොවන ලෙසත් (විසංකාර) හැසිරවිය හැකිය.
මේ තුන් දොර භවය සකස් නොවන ලෙස හැසිරවීමට හැකිනම් ඔබ සෝතාපන්න මාර්ගයට පිලිපන්නේ වෙයි. එම තුන් දොර භවය සකස් නොවන ලෙස හැසිරවීමට ඔබ අසමත් නම් ඔබ පෘතග්ජනයෙකි.
‘භවය‘ හෙවත් භාහිරයේ පවත්නා දෙයකට අගයක් එකතු කර නන්‍දියෙන් ග්‍රහනය කිරීම
‘භවය’ යනු භාහිරයේ අනාත්මීයව පවතින දෙයක් ආත්මීයව පවතින්නක් සේ දැනෙන ස්වභාවයයි. භාහිරයේ පවතින කිසිවක් වින්දනයක් (ආශ්වාදයක් හෝ ගැටීමක්) ගෙන නොදෙයි. වින්දනය ජනිතවන්නේ විඤ්ඤාණමායාව තුලයි. උදාහරනයක් ලෙස භාහිරයේ පවතින රූපයක ලස්සනක් (ආශ්වාදයක්) හෝ කැතක් (ද්වේශයක්) හෝ දැනෙන්නේ විඤ්ඤාණමායාවට හසුවුන සිත තුලය. භාහිරයේ ඇති රූපය විඳීමක් ගෙන නොදෙන ස්වභාවයෙන් පවතියි. භාහිරය අනාත්මීයයි පවසන්නේ මේ විඳීමක් (අගයක්, නන්දියක්) නැති මේ ශුණ්‍යතා ගුණයයි. විඤ්ඤාණමායාවට හසුවන භාහිරය (භාහිර රූපය) ආශ්වාදයක්, විඳීමක් ඇති සේ දැනෙයි. එනම් භාහිරය ආත්මීය ස්වභාවයෙන් දැනෙයි. අනාත්මීය හා ආත්මීය යන සංකල්ප දෙක දැන් ඔබට පැහැදිලි විය යුතුය.
භවය සකස් කිරීම හා භවය සකස් නොකිරීම
භාහිරයේ පවතින්නක් එහි යථාභූත ස්වභාවය වන අනාත්මීය ස්වභාවයෙන් ග්‍රහනය කලහැකිනම් ඔබට භවය සකස්වීමක් නැත.
භාහිරයේ පවතින්නක් එහි යථාභූත ස්වභාවයෙන් ග්‍රහනය නොකොට විඤ්ඤාණමායාව තුල ආත්මීය ස්වභාවයකින් ග්‍රහනය වන්නේ නම් ඔබ භවය සකස් කරගනියි. භවය සකස්වීම දුකට, තැති ගැනීමට හේතුවයි. එය සමුදය සත්‍යයයි.
සක්කාය දිට්ඨිය
භාහිර යමක් ආත්මීයව විඤ්ඤාණමායාවෙන් ග්‍රහනය කරනා ඔබට එම සිතුවිල්ල තුල ඔබ සිටිනා බවක් දැනේ. එනම් භාහිරය විඳිනා ‘මමෙක්’ සිටිනා බවක් ඔබට හැඟේ. මෙම සංසිද්ධිය ‘ඉත්ථභාවය’ නැතහොත් ‘අස්මිමානය’ ඔබතුල ඇතිවීමයි. දැන් ඹබට භාහිරය ඇත්තවශයෙන්ම ආත්මීයව පවතින්නක් සේ දැනෙයි. මෙය ‘සක්කාය දෘශ්ඨියයි’.
සක්කාය දෘශ්ඨිය ඇති තැනැත්තා (in default we all fall in to this category) භාහිරය ආශ්වාදයක් (හෝ ගැටීමක්) ඇති ආත්මීය ස්වරූපයෙන් දකියි. ඒ නිසා එම ආශ්වාදය (හෝ ගැටීම) විඳිනා ‘මමෙක්’ ඇති බවක් දැනෙයි (ඉත්ථභාවය).
ඉහත සඳහන් ආකාරයට ඇතිවන සක්කාය දෘශ්ඨිය තුල භවය සකස් වෙයි. භවය සකස්කරන ‘මම’ නොහොත් ‘ජාති’ හටගනියි. පටිච්චසමුප්පාදයේ දැක්වෙන ‘උපාදාන පච්චයා භව හා භව පච්චයා ජාති’ යනු මෙම ක්‍රියාවලියයි.
භාහිරය දෙයක් යමක් කෙනෙක් සේ ආත්මීයව දැනෙන්නේත් එසේ දැනෙනා ‘මම’ සිටිනා බවක් හැඟෙන්නේත් තමා තුල ඇති සක්කාය දෘශ්ඨිය හේතුවෙනි. ධම්මචක්කපවත්වන සූත්‍ර දේශනාවට අනුව බුදුන්වහන්සේ ලොවට දෙසූ පලමු ධර්ම පාඨය වන්නේ ‘කාමසුඛල්ලිකානුයෝගි හා අත්ථඛිලමතානුයෝගි යන අන්ත දෙකින් එනම් එම දිවිපෙවෙත් වලින් මිදෙනා ලෙසයි. මක් නිසාද යත් මෙම අන්ත දෙක මෙන්ම එම අන්ත දෙක අතර පවත්නා සියළුම දිවිපෙවෙත් (total spectrum containing this two end behaviours) තුලම ඇත්තේ සක්කාය දෘශ්ඨියම බැවිනි. ඔබ රජෙක් වුනත් සාමාන්‍ය වැසියෙක් වුවත් මහමග සිඟමන් යදින්නෙක් වුනත් ඔබ සිටින්නේ කාමසුඛල්ලිකානු දිවිපෙවත තුල භවය සකස් කරමිනුයි. තවද ඔබ සිල් රකිමින් හෝ භාවනා වෘතය ඇතැළු බලු, ගෝණ ආදිවු වෘත රකින්නෙක් නම් ඔබ සිටින්නේ අත්ථඛිලමතානුයෝගය තුල භවය සකස් කරමිනුයි. ඒ නිසයි බුදුන්වහන්සේ මෙම භවය සකස්කරනා සක්කාය දෘශ්ඨිය තුල පවත්නා දිවිපෙවෙත් වලින් ඉවත්වනසේ ලොවට දෙසු ප්‍රථම ධම්ම පාඨයෙන්ම ලෝකයාගෙන් ඉල්ලා සිටියේ.
පඨම උපාදාපරිතස්සනා සූත්‍රය
බුදුන්වහන්සේ ‘පඨම උපාදාපරිතස්සනා සූත්‍රයේ’
රූපං අත්තතෝ සමනුපස්‌සති, රූපවන්‌තං වා අත්‌තානං. අත්‌තනි වා රූපං, රූපස්‌මිං වා අත්‌තානං. තස්‌ස තං රූපං විපරිණමති අඤ්‌ඤථා හෝති.
‘සත්පුරුෂ ධර්මය තේරුම් නොගත්ත තැනැත්තා (පෘතග්ජනයා) සතර මහා ධාතූන්ගෙන් හටගන්නා වූ අනාත්මීය පවතින (අගයක් නන්දියක් නැති) රූපය ආත්මීයව ගෙන එම රූපය දකින මම (ආත්මයක්) ඇතිබවක් මුළාවෙන් දකිනවා. එක්කෝ ඔහු මුළාවෙන් දකින්නේ ආත්මය (මම) රූපයෙන් හැදිච්ච එකක් කියලයි. එහෙම නැත්නම් ඔහු මුළාවෙන් දකින්නේ ආත්මයක් (මම) තුළ තමයි රූපය තියෙන්නේ කියලා. එහෙමත් නැත්නම් ඔහු මුළාවෙන් දකින්නේ ආත්මය තියෙන්නේ රූපය තුළයි කියලා‘.
බුදුන්වහන්සේ විඤ්ඤාණමායාවට මැවෙන (සම්භූතවන) රූපය හේතු කොටගෙන මම (ආත්මය) නොහොත් ඉත්ථභාවය ඇතිවන හැටි සද්ධර්මය තුල පැහැදිලි කලේ මේ ආකාරයෙනි. මෙසේ ‘මම’ ඇතිබවක් දැනෙන ස්වභාවය සක්කාය දෘශ්‍ඨියයි.
ආත්මීයව ග්‍රහනය කරගත් භාහිර රූපය තුල එම රූපය දකින මම සිටින්‍නා සේ දැනීම නිසා අද අප සියළු දෙනාම සිටින්නේ භවය සකස් කරනා අනාර්ය දිවිපෙවෙතක් තුලය. බුදුන්වහන්සේ මෙම භවය සකස් කරනා අනාර්ය දිවිපෙවත අනාර්ය අට පිලිවෙත (අනාර්ය අශ්ඨාංගික මාර්ගය) සේ ලොවට තම ප්‍රථම ධර්මදේශනයෙන්ම) හඳුන්වා දුන් සේක. කෙනෙකුට සක්කාය දෘශ්ඨිය (භාහිරය සත්‍යයක් සේ දැනෙන, එම සත්‍ය වූ භාහිරය විඳිනා ‘මමෙ’ ක් සිටිනා ස්වභාවය ‘සක්කාය දිට්ඨිය’ යි. සෝතාපන්න අවස්ථාව වැසීපවතින්නේ මෙම සක්කාය දිට්ඨිය ඇතිකරනා අනාර්ය අට මග (අශ්ඨාංගික) දිවිපෙවෙත හෙවත් ‘සීලබ්බත පරාමාසය’ හේතුවෙනි.
එසේ භවය සකස් කරනා සක්කාය දෘශ්ඨිය ඇතිකරනා දිවිපෙවත දැනගෙන එයින් ඉවත්වීම ‘සෝවාන් හෙවත් සෝතාපන්න මාර්ගයයි’. සොතාපන්නය අත්පත් වන්නේ භවය සකස් නොවෙනා නිවැරදි දිවිපෙවෙත තුලයි. එය දිවිපෙවෙතක් මිස ප්‍රතිපදාවක් නොවෙයි.
දැන් ඔබට සක්කාය දෘශ්ඨියත්, සිලබ්බත පරාමාසය හා ඒවායේ ප්‍රහීනයත් ගැන ගැඹුරු අවබෝධයක් ඇත. ලබන ලිපියෙන් සෝතාපන්නයට පත්වීමට අවශ්‍ය තුන් සංයෝජන ප්‍රහීනයට අවශ්‍ය ඉතිරි සංයෝජනය වන ‘විචිකිච්ඡාව’ හඳුනාගැනීමට උත්සාහ කරමු.
ඔබට තෙරුවන් සරණයි
තිස්ස ගුණතිලක
eMail: tgunite@tpg.com.au
2024 අප්‍රේල් මස 22 වනදා
Sent from Tissa’s Phone