ඊනියා දේශප්‍රේමය – මිනීමැරුම වෙන්නට හැර මිනිය ළඟ මරලතෝනි දී සිඟමන් අයැදීම
Posted on May 1st, 2024

දිල්රූක් කන්නන්ගර

චන්දය ලං වනවිට විවිධ විදේශ කුමන්ත්‍රණ, ජාතික ආරක්ෂාවට තර්ජන, සිංහල ජාතියට තර්ජන, බුදු දහමට තර්ජන, මහජන ආරක්ෂාවට තර්ජන සහ සංස්කෘතියට ඇති තර්ජන හුවා දැක්වීම සාමාන්‍ය දෙයකි. මෙය හුදු චන්ද මගඩියක් පමණි. ඒ සම්බන්ධ සත්‍යතා කිහිපයකි.

1.  විදේශ කුමන්ත්‍රණ, ජාතික ආරක්ෂාවට තර්ජන, සිංහල ජාතියට තර්ජන, බුදු දහමට තර්ජන, මහජන ආරක්ෂාවට තර්ජන සහ සංස්කෘතියට ඇති තර්ජන සැබවින්ම පවතී.

2. එහෙත් ඒ තර්ජන චන්දෙ කාලයට අඩු වැඩි නොවේ.

3. මෙම තර්ජන ගැන ජනතාව දැනුවත් කිරීම අවශ්‍යය එහෙත් වඩා අවශ්‍ය වන්නේ ඒ පිළිබඳව ක්‍රියා මාර්ග ගැනීමයි. පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් ජනතාව විසින් පත්කර යවන්නේ එවැනි ක්‍රියාමාර්ග ගැනීමට මිස ප්‍රශ්ණ ජනතාව හමුවේ තැබීමට නොවේ. ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට වරප්‍රසාද, බලය, නීතිමය සහන, තොරතුරු ලබාගැනීමට ඕනෑම කෙනෙකු සමග සම්බන්ධවීමට ඇති බලය, කාර්යය මණ්ඩල, මුදල් ප්‍රතිපාදන සහ අනෙකුත් පහසුකම් නොමිලේ සපයා ඇත.

4. ඊට අමතරව මෙම තර්ජන වලට එරෙහිව නීතිමය පියවර ගත හැක. අදාළ අමාත්‍යවරයා සමග ඒ පිළිබඳව කටයුතු කල හැක. වාරණ නියෝග උසාවියෙන් ගත හැක. මෙවැනි දේ අතීතයේ සිදු වී ඇත. උදාහණයක් ලෙස 2005 එවක අගමැති මහින්ද රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල PTOMS යෝජනාවට එරෙහිව සාර්ථකව නීතිමය කටයුතු කෙරිණි. උතුර සහ නැගෙනහිර පළාත් වෙනි කෙරීම තවත් උදාහරණයකි. මෑතකදී රටේ ආර්ථික අහේනියට වගකිවයුත්තන් ප්‍රකාශයට පත් කිරීමට නීතිමය පියවර ගැනීම තවත් උදාහරණයකි. අවාසනාවකට මෙම අද තර්ජන වලට එවැනි කිසිදු ක්‍රියාමාර්ගයක් නොගනී. මෙම තර්ජන පෙන්වා ඊනියා දේශප්‍රේමීන් චන්ද නම් දිනයි.

5. එක්කෝ ඔය කියන තර්ජන අතිශයෝක්තිය. නැතිනම් ඒ ගැන බෙරිහන් දෙන පොලිටික්කන් ඒ තර්ජනයේම කොටසකි.

6. බල රහිත ජනතාවට ඒ පිළිබඳව කල හැක්කක් නැත. ජනතාව පොලිටික්කන් පත් කර, මහා ධනස්කන්දයක් ගෙවා පාර්ලිමේන්තුවේ තබන්නේ නිකන් බෙරිහන් දෙන්නට නොව තර්ජන වලට තිත තබන්නටය.

7. විදේශ තර්ජන වලට එරෙහිව අන්තර්ජාතික අධිකරණයේ පිහිට පතන්නට ඔය බෙරිහන් දෙන මන්ත්රීලාට හැකිය. එවැනි අවස්ථා ලංකා ඉතිහාසයේ තිබී ඇත.

එහෙත් කිසිවක් නොකර ජනතාව ඉදිරියේ නිකං බෙරිහන් දෙන්නේ චන්ද ගැරීමට පමණි. චන්දෙන් පසු තර්ජන අතුරුදහන් වේ. කිසිම ක්‍රියාමාර්ගයක් නොගනියි.

මෙවැනි ඊනියා දේශප්‍රේමීන්ගේ අරමුණ මෙම තර්ජන නැතිකිරීම නොවේ. එම තර්ජන නැතිවූ විට උනුත් කුණු කූඩයටය. ඒ නිසා හිඟන්නාගේ තුවාලය සේ එම තර්ජන තබා ගෙන, අතිශයෝක්තියෙන් ඒ ගැන බෙරිහන් දීගෙන චන්ද ගැරීම සිදු වේ. ඊනියා දේශප්‍රේමීන් කිසිදාවත් මිනීමැරුම නවත්වන්නේ නැත. එය සිදුවීමට ඉඩ දෙයි. ඉන් පසුව මල මිනිය ළඟ මරලතෝනි දෙමින් චන්ද, මුදල් සහ අනුකම්පාව හිඟා කයි.

අන්තිමට රටට වන තර්ජන එලෙසම පවතියි; ඊනියා දේශප්‍රේමීන් පාර්ලිමේන්තු යයි; රටත් ජනතාවත් කබලෙන් ලිපට වැටේ.

මීට පසු කුමන්ත්‍රණ, තර්ජන ගැන බෙරිහන් දෙන ඊනියා දේශප්‍රේමීන්ගෙන් ජනතාව ප්‍රශ්ණයක් ඇසිය යුතුය – ඔය තර්ජන ඇත්ත නම් ඒ ගැන ඔබ ගත් ක්‍රියාමාර්ගය කුමක්ද? වචනෙට චන්දය දී බන්කොලොත්වූ වූ රටක ඉතිරිය කන්නට ඊනියා දේශප්‍රේමීන්ට ඉඩ නොදිය යුතුය. උන් රට කන්නේ දේශප්‍රේමයේ නාමයනි. වැඩ බැරි ඊනියා දේශප්‍රේමීන්, දේශද්‍රෝහීන්ට වඩා භයානකය. දේශද්‍රෝහියා පැහැදිලිය. එහෙත් දේශප්‍රේමියෙකු වේශයෙන් සිට රටේ අභාවයට ඉඩදී මල කඳ මත්තේ හිඟමන් යදින ඊනියා දේශප්‍රේමියා අපැහැදිලිය.               

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress