රටේ සංවර්ධනය සඳහා ප්‍රයෝගික දැනුමක් ඇති ග්‍රාමීය නායකයන්ගේ සහාය ලබාගැනීමේ වරද කුමක්ද? – අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විපක්ෂයෙන් ප්‍රශ්න කරයි
Posted on May 13th, 2024

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ප්‍රජා උපදේශක කමිටු පිහිටුවීමේ චක්‍ර ලේඛයේ කිසි තැනක එහි සාමාජිකයන් ලෙස පළාත් පාලන ඡන්දයට තරඟ කරන අපේක්ෂකයන් පත්කිරීම ගැන සඳහන් නොවන බවද රට පුරා විශ්‍රාම ගිය ඉංජිනේරුවරු, කාර්මික නිලධාරින්, විවිධ වෘත්තීන්වල අය ආදී ප්‍රයෝගික දැනුමක් ඇති ග්‍රාමීය නායකයන්ගේ සහාය රටේ සංවර්ධනය සඳහා යොදාගැනීම මෙහිදී සිදු කෙරෙන බවද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කළේය. පළාත් සභාවේ සිටින උගත්, වගකීම් සහගත අයද යොදාගන්නා බව කී අග්‍රාමාත්‍යවරයා, එසේ නොකරන ලෙස විපක්ෂය ප්‍රකාශ කරන්නේද යන්න ප්‍රශ්න කළේය.

වසර දෙකක් පමණ ඇණහිට තිබූ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට අයවැයෙන් ඉඩ සැලසූ බව පැවසූ ඔහු, සංවර්ධන කමිටුවලට සහභාගී වූ ඉල්ලීම්, යෝජනා  ඉදිරිපත් කළ සියලු මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත මුදල්, පළාත් සභා මුදල්, මධ්‍යම ආණ්ඩුවේ ව්‍යාපෘති ලබාදී ඇති බවද සඳහන් කළේය.

විපක්ෂයක් කියා එකක් අද නොමැති බවත්, සිදුවී ඇත්තේ එය බවත්, එදා සභානායක ලෙස කටයුතු කරමින් කළ දේ නිසා අදත් පළාත් සභා ඡන්දය පැවැත්වීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දහස් ගණන් රටපුරා සිටින බවත්, ඒ අයගෙන් ප්‍රයෝජනයක් ගැනීමට ඇති බාධාව කුමක්ද යන්නත් ඔහු විපක්ෂයෙන් ප්‍රශ්න කළේය.

අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, ජනාධිපති කාර්යාලය නිකුත් කර ඇති ප්‍රජා උපදේශක කමිටු පිහිටුවීමේ චක්‍රලේඛය ගැන දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මතු කළ, ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයාද, වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරයාද අතරමඟදී ප්‍රශ්න විමසීය.

මෙහිදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද කීය.

“ස්තූතිවන්ත වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම්තුමාගේ ප්‍රකාශයට. මොකද අපිත් බලන් ඉන්නවා අපේ ප්‍රධාන, ලංකාවේ දේශපාලන පෙරළි රාශියකට කටයුතු කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය ගැන. එක එක දවසට එක එක ඒවා කියනවා. ඔබතුමත් කියනවා. මේවා ප්‍රකාශ වෙන රටක දේශපාලන ස්ථාවරය පිළිබඳ අවිනිශ්චිතභාවයකට පත් කරන්නේ කවුද කියන එක ගරු කතානායකතුමනි, පළවෙනියෙන් සඳහන් කරන්න කැමතියි බොහොම මිත්‍රත්වයෙන් මගේ මිත්‍රයාට කියන්නේ.

අපි වෙනමත් එළියේදී කතා කරා, ඔබතුමා අහන දේවල් ගැන. ගරු විපක්ෂ නායකතුමා මේ පිළිබඳ පළවෙනියෙන් ම පාර්ලිමේන්තුවේ පසුගිය දවසේ ප්‍රශ්න නැගුවා 27/2 යටතේ. ඒ වගේම ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්නය ඒ දිනේම නගලා තිබුණා. ඒකට පිළිතුරු රජය වෙනුවෙන් අමාත්‍යංශය වෙනුවෙන් අපේ රාජ්‍ය අමාත්‍යතුමා ජානක වක්කුඹුර මැතිතුමා පිළිතුරු දුන්නා.

ඔය චක්‍රලේකනයේ කිසි තැනක තර්ක කරන අපේක්ෂකයෙක් ගැන සඳහන් වෙන්නේ නෑ, ගරු කතානායකතුමනි. මේ රටේ සංවර්ධන ව්‍යාපෘති රාශියක් අවුරුදු දෙකක් විතර ඇණ හිටපු දේ අපි පටන් ගන්න අයවැය ‍ලේඛනය අනුමත කරා. ඔබ සියලු දෙනා අය වැය ලේඛනය අනුමත කළා. මොකද ජනාධිපතිතුමා ඒක යෝජනා කළා. දිස්ත්‍රික්ක මට්ටමේ, විමධ්‍යගත අදී දේ ගැන. ඉතින් අපි ඒ ක්‍රියාත්මක කිරීම සඳහා වේගවත් කරන්න පැහැදිලි උපදෙස් දිසාපති, ප්‍රාදේශීය ලේකම්  සෑම කාර්යාලයකටම දිල, අපේ මන්ත්‍රීවරු ඒ සභාපතිවරු හැටියට වැඩ කරනවා. ඔබතුමාටත් ආරාධනය කරනවා. ඔබතුමාලගේ සමහර මනත්‍රීවරු පැමිණෙනවා. කරන ඉල්ලීම් ජනාධිපතිතුමා අනුමත කරලා. ඒවා ක්‍රියාත්මක කරන්න මුදල්  අනුමත කරලා තියෙනවා. ඔබතුමාලගේ මන්ත්‍රීවරුන්ට මේ ඉල්ලීම් අනුව අපි දීලා තියෙනවා. කාටද කියන්න, ඕනෙ නම් සංවර්ධන කොමිටියට පැමිණි සංවර්ධන කොමිටියෙන් ඉල්ලා සිටපු ආණ්ඩුවද විපක්ෂද කියලා අපි බලලා නෑ. ඒ අනුව අපි විමධ්‍යගත මුදල් පළාත් සභා මුදල් මහා අණ්ඩුවේ වෙනත් ව්‍යාපෘති ලබා දීලා තිබෙනවා. ඔබතුමාට ලැබිලා නැත්නම් විස්තර එවන්න, මම කියන්න ලබා දුන්නු අයගේ නාම ලේඛනය  හා ලබාදුන්නු ව්‍යාපෘති ගමේ සිට ඉහළටම අපිට කියන්න පුළුවන්.

ඔබතුමන්ලාගේ  විපක්ෂයක් නැහැ. ඔබතුමන්ලා විපක්ෂයක් කියලා එකක් නෑ. අද වෙලා තියෙන්නේ ඒකයි. ඔබතුමාලා මෙහෙන් ගියාට පස්සේ කරන්නේ කියන්නේ මොකක්ද දන්නැති තත්ත්වයක් තියෙන්නේ. නමුත් මම ගෞරවාන්විතව කියනවා. (බාධා කිරීම්)

ඔහොම ඉන්න මම උත්තර දීලා ඉවර වෙනකම්.කොමියුනිස්ට් පක්ෂය දන්නේ නැත්නම් ඉන්න. ඔබතුමා මන්ත්‍රී කෙනෙක් හැටියට නෙමෙයි කටයුතු කරන්නේ පක්ෂයේ ප්‍රතිපත්තියට. එනිසා ගරු කතානායකතුමනි අපි ඉතා පැහැදිලිව මේ කියවන ලද චක්‍රලේඛනයට පිළිතුරු අපේ ඇමතිවරු දුන්නා. මම යළිත් කියනවා,මේ චක්‍රලේඛණය කිසිම තැනක තරඟ කරන අපේක්ෂකයෙක් ගැන සඳහන් වෙන්නේ නෑ හෝ අපේ බලාපොරොත්තුවක් තියෙනවා නම් අන්තර්ගත කළ යුතුයි. එම අන්තර්ගත කරලත් නෑ. අපිට පළාත් සභාව විසරුවා  ඇරලා තියෙන නිසා හිටපු මන්ත්‍රී කෙනෙක් පත්කරත හැකියි.

ඒකෙ තියන්න බැරි පළාත් සභා හිරවිල්ල කලේ ඔබතුමාලමයි ආණ්ඩු කාලෙ. ඒ හිරවිල්ලෙන් ගොඩ එන්න අපි සංශෝධන ඉදිරිපත් කළාම ඒකට විරුද්ධ වුණා .ඒ අනුව කාරක සභා යෝජනාව ක්‍රියාත්මක කරන්න බැරිව නැවතුණා.

මම ඉතාම ඕනෑකමින් කියනවා රට පුරා විශ්‍රාම ගියපු ඉංජිනේරුවරු, කාර්මික නිලධාරීන්, විවිධ වෘත්තීන් ගම්වල මේ පිළිබඳ ප්‍රායෝගික දැනුමක් ඇති ග්‍රාමීය නායකයින් ඉන්නවා. ඇයි ඒගොල්ලන්ගේ සහයෝගයක් ප්‍රාදේශීය සභාව හරහා මෙරටේ සංවර්ධන ව්‍යාපෘති හමාර කිරීමට ගන්න එපැයි කියන්නේ. එහෙම ඒකාධිකාරියක් රටේ දේශපාලන මන්ත්‍රීවරුන්ට පමණක් හිමි නෑ. මෙරටේ සංවර්ධන ඒකාධිකාරීය බල පෙරළියකින් වෙනස් කරන්න කියලා ආපු හඬ අපි අමතක කරන්න ඕනෙ නෑ. ඒ නිසා ඒ අයට කැඳවලා ඒ කොමිටි මගින් උපදෙසක් දෙන්න ඕන නම් මන්ත්‍රීවරයෙකුට උපදෙසක් දෙන්න පුළුවන් විදියට මේ කමිටුව අපි ඇති කිරීමයි මේ කියවන චක්‍රලේඛනයේ තියෙන්නේ ඒකයි.”

…………

“කථානායකතුමනි, මම මේ දැන් කිව්වා. මේ කිරිඇල්ල මැතිතුමාගේ ප්‍රශ්නය තමයි. ප්‍රශ්නයට උත්තරයක් ඕනේ නම් ටිකක් ඉවසීමෙන් ඉන්න, උත්තරේ ගන්න. නිකන් කියවන්නන්වාලේ කියවන්න එපා. වගකීමකින් සභානායකතුමා හැටියට මම මෙතන ඉඳගෙන, සභානායකතුමා හැටියට මෙතන ඉඳගෙන එදා රාත්‍රියේ කතානායකතුමාට කියලා පාර්ලිමේන්තුව පැය දෙකක් කල් දාලා සම්මත කරපු පළාත් සභා පනත නිසයි, අද පළාත් සභා ඡන්දය තියන්න බැරිවෙලා තියෙන්නේ. එයාට මතක නෑ, එයාට මතක නෑ, පළාත් සභාවේ ඉන්නවා උගත් අය. වගකීම් දරන අය. ඒගොල්ලන්ට පත්වීම් දෙන්න එපායි කියලද කියන්නෙ. ඉතාම බොළඳයි. ඒ අය ළඟට ම යනවා රෑට. ඒ අය ළඟටම යනවා රෑට උසාවි යන්න ඕන උනහම. මේ වගේ අය තමයි මේ දෙගෙඩියාවෙන් කතා කරන්නේ. නමුත්, ඔබතුමාලා දන්නවා, අපි චක්‍ර ලේඛනයේ, තරඟ කරන අපේක්ෂකයෙක් පත්කරන්න කියලා අවසරයක් එක්ක ඒ චක්‍ර ලේඛනය නිකුත් කර නෑ”

 …………………….

“පළාත් පාලන ආයතනවලට තරග කරන අපේක්ෂකයෝ මේ කොමිටිවලට එනවද කියලයි ප්‍රශ්නේ දාන්න තිබුණේ. හිටපු අය ඉන්නවා, ලංකාවේ දහස් ගණනක් ඉන්නවා හිටපු අය, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු. ඇයි ඒගොල්ලන්ගෙන් ප්‍රයෝජනය ගන්න බැරි ? තරඟ කරන අය කියලා කියලා ප්‍රශ්නය අහනව නම් හොඳයි, තේරුම් ගන්න. මම කියන්නේ නීතිය.”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress