ජනතා ප්‍රශ්න අවබෝධ කර ගැනීමට රජයේ නිලධාරීන්ට හොඳ ඉවක්  තිබිය යුතුයි…රැපියෙල් තෙන්නකෝන් විද්‍යාලය වසා නොදැමිය යුතුයි…-         අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
Posted on June 5th, 2024

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව, එහි සභාපති අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2024.06.05)  දින රැස්වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මහජනතාවගේ ප්‍රශ්න අවබෝධ කොට ගැනිමට රජයේ නිළධාරීන්ට හොඳ ඉවක් තිබිය යුතුයි. ඒ සදහ තමයි ඔබ හොඳ පුහුණුවක් ලබලා තියෙන්නේ. ඒ ප්‍රශ්නත් එක්කම ඉදලා පරිනත වෙලා තියෙන්නේ. එකම ප්‍රශ්නය දිගින් දිගටම ඉදිරියට එනවා නම් උවමනාවක් නැතිකමයි පෙන්නුම් කරන්නේ. 

සාමාන්‍ය සේවාවලට අමතරව මිලියන සිය ගණනක ව්‍යාපෘති රැසක් මහරගම ආසනය පුරා මේ වන විට යටිතල පහසුකම් හා අධ්‍යාපන, සංස්කෘතික, සමාජයීය, ව්‍යාපෘති ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒවා ඉක්මනින් ජනතා අයිතියට පත් කිරීමට සහ සමාජගත කිරීමට කටයුතු කළ යුතුයි.

එසේ තිබියදී නොවිය යුතු යෝජනා ද විවිධ ආයතන හරහා සම්බන්ධීකරණයකින් තොරව ක්‍රියාත්මක කිරිමට සැරසෙනවා. රැපියෙල් තෙන්නකෝන් විද්‍යාලයේ ප්‍රශ්නයත් ඒ වගේ.  මෙම විද්‍යාලය වසා දමා ජනාධිපති විදයාලය සමඟ ඒකාබද්ධ කිරීමට යෝජනා කර ඇත බව සංවර්ධන කමිටු රැස්වීමට දන්වා තිබෙනවා. කළාප අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපත් කර ඇති යෝජනාවට මම විරෝධය පළ කරනවා.

රැපියල් තෙන්නකෝන් විද්‍යාලය වසා දැමීමක් සම්බන්ධයෙන් මහරගම ප්‍රදේශයේ ජනතාව හා දෙමාපියන්ගේ කිසිදු බලාපොරොත්තුවක් නැහැ. පාසලේ පැරණි ගොඩනැගිල්ල වෙනුවෙන් විකල්ප වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම බලධාරීන්ගේ වගකීමයි.

මේ අවස්ථාවට එක්ව සිටි රැපියෙල් තෙන්නකෝන් විද්‍යාලයේ විදුහල්පතිවරයා ද සඳහන් කලේ පාසල වසා දමා වෙනත් විදුහලක් සමග ඒකාබද්ධ කිරීමට දෙමව්පියන් විරෝධය පළ කර ඇති බවයි.

මෙම අවස්ථාවට මහරගම ශාසනාරක්ෂක බල මණඩලයේ සභාපති පූජ්‍ය නිකපොත චන්ද්‍රජෝති හිමි, හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන උපාලි කොඩිකාර, සලෝචන ගමගේ, ප්‍රා‍දේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල ඇතුළු රජයේ නිළධාරීන් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress