මල් වගා ක්ෂේත්‍රය අපනයන කර්මාන්තයක් කරා වැඩි දියුණු කිරීමට මූලික සැලැස්මක්- අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
Posted on June 5th, 2024

olhp.media

මල් වගා ක්ෂේත්‍රය අපනයන කර්මාන්තයක් කරා වැඩි දියුණු කිරීමේ උත්සාහයට මූලික සැලැස්මක් සකසමින් සකස් කරමින් සිටින බවත්, සම්ප්‍රදායික ප්‍රශ්න මධ්‍යයේ, පරිසර දිනයේදී පරිසරය සුරක්ෂිත කිරීම පිළිබඳව කාලීන ප්‍රශ්නයක් විමසීම ඉතා වැදගත් බවත්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී 2024.06.05 දින ප්‍රකාශ කළේය. ඔහු මේ බව කියා සිටියේ, අග්‍රාමාත්‍යවරයාගෙන් විමසන ප්‍රශ්න යටතේ පා.ම. සුදර්ශන දෙනිපිටිය  මහතා විමසූ උද්භිද උද්‍යාන පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙරට මල් අපනයනය ගැන විමසීමේදී අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, සිය චීන සංචාරයේදී මේ ගැන හොඳින් සොයාබැලූ බවත්, වසර 10ක් ඇතුළත චීනය ලොව මල් අපනයනකරුවන් අතරින් 3 වන ස්ථානයට පැමිණ ඇති බවය.මෙරට අපනයනය සඳහා මල් වගාවට ඉඩම් නිදහස් කිරීමටද රජය සූදානම් බවත්,  පෞද්ගලික අංශයට අපනයනය සඳහා පිවිසෙන්න හැකි ආකාරයේ තීරණයක්ද රැගෙන ඇති බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ඔහු මෙසේද කීය.

“අදාළ දෙපාර්තමේන්තුව හා අදාළ ආයතනයට යොමු කරලා සාකච්ඡා කරලා තිබෙනවා.  චීන සංචාරයේදී මේ පිළිබඳව සොයා බැලුවා. චීනය අද තුන්වෙනි ස්ථානයට පැමිණ තිබෙනවා අවුරුදු දහයක් ඇතුළතදී මල් අපනයනය කිරීම සම්බන්ධව. චීනයේ මල් වෙන්දේසි මධ්‍යස්ථානයට ඔබතුමාත්, මන්ත්‍රීවරු ගණනාවක් ගොස්, ඒ පර්යේෂණකරුවන්ද ලංකාවට පැමිණ තිබෙනවා. ඒ නිසා කන්ද උඩරට විශේෂයෙන් බදුල්ල, නුවරඑළිය, මහනුවර රත්නපුර වැනි දිස්ත්‍රික්කවල මේ ක්ෂේත්‍රයට ඇතුළත් වීම සඳහා සාකච්ඡාවන් කර ක්‍රියාත්මක කළ හැකි තත්ත්වයට පරිවර්තනය කරන්න සුදානම්. මේ  ක්‍රියාවලිය අපි සාර්ථක කරගන්න ඉඩම් නිදහස් කිරීමටද රජය සූදානම් බව පෞද්ගලික අංශයට අපනයනය සඳහා පිවිසෙන්න තීරණයක් අරන් තිබෙනවා. එය ක්‍රියාත්මක කරන්න ඔබතුමාගේත් ඒ ප්‍රදේශය  හැටියට සුවිශේෂ වැදගත්කමක් මේ පිළිබඳව දක්වලා තිබෙනවා. ඒ කාලේ ඉඳන් කොළඹට නැත්නම් කොළඹ ඉඳලා අපේ නිශ්චිත විදේශ රටවලට ගමන් කරන්න කැමති අයත් මල් අරන් යන්නේ එක්කෝ බණ්ඩාරවෙලින්, එක්කෝ නුවර එළියෙන්. එක රාත්‍රී කාලයකදී මුළු කෝච්චියක් එනවා කොළඹට. දුම්රියක්. ඒ තරම් දියුණුව තිබෙන මේ ක්ෂේත්‍රය අපනයන ක්ෂේත්‍රය කරා වඩා දියුණු කිරීමට ඒ  උත්සාහයට මූලික සැලැස්මක් සකසමින් තිබෙනවා.”

………..

පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය මහතා, විමසූ ප්‍රශ්නය සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  ඊට දුන් පිළිතුර මෙසේය. 

ප්‍රශ්නය – 1

ශ්‍රී ලංකාවේ පළාත් අනුව දැනට පවතින උද්භිද උද්‍යාන සංඛ්‍යාව සහ ඒවායේ නම් කවරේද?

පිළිතුර;

දැනට පවතින උද්භිද උද්‍යාන සංඛ්‍යාව – 05 කි.

i. රාජකීය උද්භිද උද්‍යානය, පේරාදෙණිය

ii. හක්ගල ජාතික උද්භිද උද්‍යානය, නුවරඑළිය

iii. හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය, ගම්පහ

iv. මිරිජ්ජවිල උද්භිද උද්‍යානය, හම්බන්තොට

v. සීතාවක උද්භිද උද්‍යානය, අවිස්සාවේල්ල

ප්‍රශ්නය –2

ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්ව ශාක සංරක්ෂණය, ඖෂධ පැළෑටි හා මල් වගා කිරීමේ කර්මාන්ත දියුණු කිරීම සඳහා කටයුතු කිරීම ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වග කීමක් වන අතර, ඒ සඳහා දැනට ගෙන ඇති ක්‍රියා මාර්ග වල ප්‍රගතිය පිළිබඳ සෑහිමකට පත් වන්නේද?

පිළිතුර

ඔව්.

ඒ සඳහා දැනට ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතිය ඇමුණුම I ලෙස ඉදිරිපත් කරමි.

ප්‍රශ්නය – 3

ශ්‍රී ලංකාවේ පළාත් නවයම ආවරණය වන පරිදි ජාතික උද්භිද උද්‍යාන පිහිටුවීමට සැලසුමක් පවතින්නේ ද? නොඑසේ නම් ඒ මන්ද?

පිළිතුර

පළාත් අනුව නොව දේශගුණික කලාප අනුව උද්භිද උද්‍යාන 10 ක් පිහිටුවීමට සැලසුම් කර ඇත. මේ වන විට උද්භිද උද්‍යාන ව්‍යාප්තිය සැලසුම් කර ඇති ආකාරය පහත සිතියමේ දැක්වේ. (ඇමුණුම II) එසේ සැලසුම් කර ඇති උද්භිද උද්‍යාන 10 අතුරින් 05 ක් ආශ්‍රිතව මේ වන විට මූලික කටයුතු ආරම්භ කොට ඇත.

01. ගාල්ල අක්මීමන කඩොලාන උද්භිද උද්‍යානය

02. වව්නියාව උද්භිද උද්‍යානය

03. අම්පාර

04. පොළොන්නරුව

05.දෙණියාය 

ප්‍රශ්නය 4

සියලුම පළාත් පාලන ආයතන බල ප්‍රදේශ වල නාගරික වනාන්තර ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් සැලසුම් කර තිබේද? තිබේ නම් එහි වර්තමාන ප්‍රගතිය කුමක්ද?

පිළිතුර

සියලුම පළාත් පාලන ආයතන බල ප්‍රදේශ ආශ්‍රිතව නාගරික වනාන්තර ස්ථාපිත කිරීමේ ව්‍යාපෘති සැලසුම් කර නොමැත.

එහෙත්, නාගරික වනාන්තර සම්බන්ධයෙන් පහත ක්‍රියාමාර්ග නාගරික සංවර්ධන අධිකාරිය විසින් මේ වන විට ක්‍රියාත්මක කරනු ලැබේ.

* ” නාගරික වන සංකල්ප” ප්‍රතිපත්තිය ජනාධිපති කාර්යාලයේ උපදෙස් මත නාගරික නිවාස අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් අදාළ පාර්ශවකාර ආයතනවල සහභාගීත්වයෙන් මේ වන විට සකස් කර ඇත. හා

*නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරනු ලබන විවෘත භූමි අවකාශ සංවර්ධන සැලැස්ම (PORS Plan – Public Outdoor Recreational Space) මඟින් නාගරික වනාන්තර සංකල්පය.

විවෘත භූමි සැලැස්මෙන් (PORS Plan) හඳුනා ගන්නා විවෘත භූමි අවකාශ,

නාගරික උද්‍යාන (Urban Parks)

උද්භිත උද්‍යාන (Botanical Parks)

කුඩා උද්‍යාන (Pocket Parks)

පිට්ටනි ( Play Grounds)

නාගරික වන උද්‍යාන  (Urban Forest Parks)

ඔසු උද්‍යාන (Herbal Parks)

නාගරික තෙත්බිම් උද්‍යාන (Urban Wetland Parks)

ජලාශ්‍රිත උද්‍යාන (Urban Water Front Linear Parks)

ලෙස සංර්වධනය කිරීමට අපේක්ෂා කෙරේ.

පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල නගර සැලසුම් සකස් කිරීමේ දී නාගරික ප්‍රදේශ ලෙස ප්‍රකාශිත ප්‍රදේශවල විවෘත භූමි අවකාශ සංවර්ධන සැලසුම් සකස් කිරීමේ දී (Public Outdoor Recreation Space) නගර ආශ්‍රිතව වනාන්තර ඇති කිරීම සඳහා සැලසුම් සකස් කර ඇති අතර, මෙම භූමි සැලසුම්වල නාගරික උද්‍යාන, උද්භිද උද්‍යාන, කුඩා උද්‍යාන, නාගරික වනෝද්‍යාන, ඔසු උද්‍යාන, නාගරික තෙත් බිම් උද්‍යාන හා ජලාශ්‍රිත උද්‍යාන වැනි නාගරික වනාන්තර සංකල්පය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

මේ වන විට රත්නපුර මහ නගර සභාව, මහනුවර මහ නගර සභාව වැනි මහ නගර සභා බල ප්‍රදේශ තුළ ස්වභාවික වනාන්තර භූමි සංරක්ෂණය කරමින් පවතී.

උදා: රත්නපුර මහ නගර සභාව පොම්ප කැලය රක්ෂිත වනය, මහනුවර මහ නගර සභාව – දුණුමඩලාව රක්ෂිත වනය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress