කල්මුණේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ස්ථිර ගණකාධිකාරිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව විසඳීමට කටයුතු කරනවා– අගමැති
Posted on June 20th, 2024
පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය
කල්මුණේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ස්ථිර ගණකාධිකාරිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව විසඳීමට කටයුතු කරන බව, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේය. පාර්ලිමේන්තුවේදී 2024.06.19 දින ඔහු මේ බව සඳහන් කළේ, සෙල්වරාසා ගජේන්ද්‍රන් සහ ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මන්ත්‍රීවරුන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.
“ගරු සභාපතිතුමනි, ගරු මන්ත්‍රීවරුන් දෙදෙනා විසින් කියපු කාරණය සත්‍යයි. ඒ අනුව එතුමාලා මාව හමුවුණා. ඒ අනුව අම්පාරේ දිසාපතිතුමාට අපි අවශ්‍ය උපදෙස් දීල තියනවා. ඒ වාගේම ගණකාධිකාරීවරයෙක් ජංගම වශයෙන් ගමන් කරලා ඒ කාර්යාලයට, මහජනයා එක්ක ඒ අවශ්‍ය කටයුතු සිදු කිරීමට දිසාපතිතුමා කටයුතු කර තිබෙනවා. ඒවාගේම කල්මුණෙයි උද්ඝෝෂණයක් පවතිනවා, ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් තියෙනවා. ඔබතුමන්ලා දෙදෙනාම දන්නවා ඒක. ඒ අනුව අපිට ඒ ප්‍රදේශයේ යම් යම් පරිපාලනමය කරුණු යළි ප්‍රතිසංවිධානය කිරීම ගැන ගැටළු තිබෙනවා. ඉතින් අපි සාකච්ඡා කරලා ඒ ප්රශ්නය විසඳීමට එදා එකඟ වුණා මන්ත්‍රීතුමා, අපේ අමාත්‍යංශ ලේකම්තුමත් එක්ක කල්මුණේට ගිහිල්ලා සාකච්ඡාවක් කරලා ප්‍රශ්නයට විසඳුමක් ඇතිකර ගැනීමට. ඒ අනුව කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි ප්රශ්නය ප්‍රතික්ෂේප කරල නෑ.”