ධර්ම කරුනු – දෙවන කොටස සද්ධම්මෝ පරම දුල්ලභෝ – විපාක දෙන කර්මය
Posted on June 27th, 2024
තිස්ස ගුණතිලක
අපි සද්ධර්මය තුලම තියෙන සුළු සුළු කාරනා කිපයක් පැහැදිලි කරගනිමු. එය සද්ධර්මය තේරුම් අරගෙන ඉදිරියට යන්න පහසු වේවි.
බුදුන්වහන්සේ ‘සද්ධම්මෝ පරම දුල්ලභෝ – ධම්මපදය’ යයි පැවසුවේ සද්ධර්මය ඇසීමට ලැබීම ඉතාමත් අසීරු නිසයි. එහෙනම් උදේ හවස අපට රේඩියෝ එකෙන් ටෙලිවිශන් එකෙන් ඇහෙන්නේ සද්ධර්මය වෙන්න බැහැ. එය ඇසීම එතරම්ම දුල්ලභ කාරනයක් බවයි බුදුන්වහන්සේ දේශනා කලේ.
අපිට එහෙනම් උදේ සවස ඇසෙන බන මොනවාද බලමු?
- එක බනක ඉපදීම නිසා දුක ඇතිවෙන බවත් ඒ නිසා නැවත ඉපදීම නැවැත්විය යුතු බව කියනවා.
- තවත් බනක විපාක දෙන කර්මයක් ගැන කියනව.
- තවත් බනක අද්භූත බල විශ්වාසයක් ගැන කියනවා. ගස් ගල් වලින් යම් යම් දේවල් ඉල්ලනව. දෙවියන් ගෙන් දේවල් ඉල්ලනවා. රතන සූත්‍රය කියල අසනීප හොද කරගන්න හැකිබව කියනව. මේ කියන්නෙ අද්භූත බල ඇතිබවට විශ්වාශකරනවා කියන එකයි.
- තවත් බනක දෙවියන් බ්‍රහ්මයින් ඇතිබවත් සතර අපායක් ගැනත් කියවෙනව. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ආදි තිස්එක් ලෝක ධාතුවක් ගැන කියනව. මරනෙන් මතු දෙවියන් ඉන්න තැනකට යන්න පිං කරන්න කියනව.
- තව කෙනෙක් සමත භාවනාව තුල ධ්‍යාණ වඩල රහත්වෙන ක්‍රමයක් ගැන කියනව.
අපට උදේ හවස ඇහෙන්නේ මෙන්න මේ වගේ බන. මේ බන සද්ධර්මය නම් බුදුන්වහන්සේ දේශනාකල පරිදි සද්ධර්මය එතරම් දුල්ලභ වෙන්න බැහැ. මේ බන වල කතංදර මිස සද්ධර්මය නැහැ.
1. බුදුන්වහන්සේ ‘දුල්ලභංච මනුස්සත්තං’ කියල කියා තියෙනවා. යමක් දුල්ලභ නම් ඒක තමයි ලෝකයේ තියෙන වටිනාම දෙය විය යුත්තේ. මැනික් දුල්ලභ නිසා එය වටිනාම පාශාණය වෙනව. රත්තරං දුල්ලභ නියා එය වටිනාම ලෝහය (metal) වෙනව. මනුස්සත්වයද දුල්ලභ නිසා මනුසත්වය ලෝකයේ වටිනාම සම්පත්තිය වෙනව. ඉපදීම වටිනාම සම්පත්තිය යයි දේශනාකල බුදුන්වහන්සේ ඉපදීම නැතහොත් මනුසත්වය දුකයි කියයිද?. ඉපදුනොත් විතරයි නිවන් දකින්න පුළුවන් වෙන්නෙ. නිවන් දකින potential එක ප්‍රවනතාවය එහෙමත් නැතිනම් විභවය ඇතිවෙන්නේ ඉපදුනොත් විතරයි. එහෙනම් බුදුන්වහන්සේ ඉපදීම දුකයි කියයිද? ඉපදීමෙ වටිනාකම වටහාගත්ත විශාකාව වගේ සෝවාන් තත්වයට පත්වුන අය දරුවන් 30ක් මෙලොවට බිහිකලබව ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනව. එහෙම කලේ ඉපදීම දුක හින්ද වෙන්න බැහැ.
ඔය බනේම අඩංගු වෙනව නැවත උපදින කතාවකුත්. මේ කතාව හරියටම පැහැදිලි කරගන්න වෙනව සද්ධර්ම මාවතේ ඉදිරියට යන්න. බුදුන්වහන්සේ නැවත ඉපදීමට සෘජුවම පිලිතුරු දීල තියෙනව කිප වතාවකම. හොදම තැන හම්බවෙන්නෙ ‘මහා තන්හා සංකය (සඬ්ඛය) සූත්‍රය තුල. මෙතනදි තමයි අපට කේවට්ටපුත්ත සාති හම්බවෙන්නෙ.
කේවට්ටපුත්ත සාති කිය කිය යනවා බුදුන්වහන්සේගේ තම ධර්මය තුල ‘විඤ්ඤාණය භවයෙන් භවයට සැරිසරනා බවත් එසේ සැරිසරනා විඤ්ඤාණය මිස වෙනත් විඤ්ඤානයක් නැති බවත්’ දේශනා කරනවා කියල. සූත්‍රය තුල පාලියෙන් මේක තියෙන්නෙ ‘විඤ‍්ඤාණං සන්‍ධාවති සංසරති අනඤ්ඤන්ති’ කියල. එනම් ‘විඤ්ඤාණය continuosly transmigrate වන බවත්, අනඤ්ඤන්ති – ඒ හැර වෙනත් විඤ්ඤාණයක් නැත’ යයි බුදුන්වහන්සේ දේශනා කර ඇතැයි කේවට්ටපුත්ත සාති කියනවා.
සත්වයා කියන්නේ ගත හා සිත යි. සිත කියන්නේ විඤ්ඤාණයම තමයි. එහෙමනම් සත්වයා කියන්නේ භෞතික ශරීරය සහ විඤ්ඤාණයේ එකතුවක්. සම්මත මරණයෙදි වෙන්නේ සිත (විඤ්ඤාණය) නවතිනවා. එතකොට කය නැතිනම් භෞතික ශරීරය වලලනවා. දැන් ඉතිරිවන විඤ්ඤාණය නැවත නැවත ඉපදින බවත් එය බුදුන්වහන්සේ දේශනා කල බවත් තමයි කේවට්ටපුත්ත සාති කියන්නේ.
බුදුන්වහන්සේ මෙයාව කැදවල මේ බව විමසන කොට එයා ඒකම නැවත කියනවා. බුදුන්වහන්සේ කේවට්ටපුත්ත සාතිගෙන් අහනවා
‘මෝඝපුරුෂය, තෝ කවරක්හට නම් මා මෙසේ දහම් දෙසුවා දනිත්ද? මෝඝපුරුෂය, මා විසින් විඥානය ප්‍රත්‍යයසමුත්පන්න ය යි, ප්‍රත්‍යය විනා විඥානසම්භවයෙක් නැති යි වදාරන ලද්දේ නො වේ ද?’ ඇසු සේක.
මෙම දෙබසින් අදහස්වන්නේ බුදුන්වහන්සේගේ සද්ධර්මය තුල විඤ්ඤාණය අඛන්ඩව හෝ වෙනත් අයුරකින් transmigrate වන බවක් දේශනාකර නොමැති බව නේද? මෙම සූත්‍රය ඉතාමත් වැදගත් සූත්‍රයක් වනවා වගේම ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය හටගන්නා අයුරු ඉතාමත් ලස්සනට පැහැදිලි කරල තියෙනවා. විඤ්ඤාණය ප්‍රත්‍යවන්නේ ඇතිවන්නේ ‘පෙර නොතිබීම හටගත් ගර්භාෂක්‍රාන්තියකින් බව’ ලස්සනට පෙන්නලා තියෙනවා. ඉඩ ලැබෙන වෙලාවක මේ සූත්‍රයගැන දීර්ඝව පස්සෙ සාකච්ඡා කරමු.
එහෙනම් නැවත උපදිනවාද නැද්ද යන්න දැන් ඔබට පැහැදිලි වෙන්න ඕනෙ. නැවත උපදිනබව දෘශ්ඨියක්ම පමනක්බව මතක තබාගන්න. එම දෘශ්ඨිය භයානක, සත්‍ය වසනා දෘශ්ඨියක් බවද මතක තබාගමු.
2. ඊට පස්සෙ තවත් බනක විපාක දෙන කර්මයක් ගැන කියනවා. විපාක දෙන කර්මයත් අද්භූත බල වලටම වැටෙන සංසිද්ධියක්.
අපි ගමනක් යනකොට අනතුරකට භාජනයවෙලා පන අදිමින් ඉන්න කෙනෙක් දැක්කා යයි සිතමු. අපි ඉක්මනින් මෙයාව ලඟ තියෙන ඉස්පිරිතාලකට අරගෙන යනවා. ඒ නිසා මොහුගේ පන බේරෙනවා යයිද සිතමු. කාලයකට පසුව අපිටද කරදරයකින් බේරෙන්න හැකි වෙනවා. දැන් හිතෙනවා අපි ඒ කරදරයෙන් බේරෙන්නේ කලින් දවසක අර පුද්ගලයාගේ ජීවිතය බේරාගන්න උදව්කල නිසායයි කියලා. විපාක දෙන කර්මය කියන්නෙ මෙන්න මේ වගේ සංසිද්ධියකට. මෙය අද්භූත බලයක් නෙමෙයිද? එදා අර පුද්ගලයාගේ ජීවිතය බේරුනේ ඔබ ‘හරි වෙලාවට හරි තැන’ හිටිය නිසයි. මේකත් හරියට ඔබ ‘වැරදි වෙලාවක වැරදි තැනක’ හිටියොත් ටිපර් එකක් ඇවිල්ල ඔබව යටකරගෙන ගිහිල්ල ඔබගේ ජීවිතය නැතිවෙනවා වැනි ස්වභාවික සංසිද්ධියක්. එවැනි ස්වභාවික සංසිද්ධීන් විපාක දෙන කර්මයක් ආස්‍රයෙන් පැහැදිලි කිරීමට උත්සාහ කරනකොට තමයි මේ පැටලවිල්ල සිද්දවෙන්නෙ. කෙසේ වෙතත් විපාකදෙන කර්මය නිඝංඨ දහමේ අරටුව බවත් මතක තබාගන්න.
බුදුන්වහන්සේත් එදා සමාජයේ භාවිතාවුන වචන සද්ධර්මය පැහැදිලි කිරීමට යොදාගත්තා. එදා බුදුන්වහන්සේ ධර්මය දේශනාකලේ නිඝංඨ, ජටිල, බ්‍රහ්මණ ආදීවූ පිරිසටයි. බෞද්ධයින් හිටියේ නැහැනෙ බුදුන්වහන්සේගේ මුල් කාලයෙ. ඉතින් මේ නිඝංඨයින්ට ජටිලයින්ට තේරෙන භාෂාවෙන් සද්ධර්මය පැහැදිලි කිරීමට එදා ජන සමාජයේ විශේෂයෙන් තාපස (ascetic) සමාජයේ භාවිතාවුන වචන බුදුන්වහන්සේ යොදාගත්තා. හැබැයි වෙනස් අර්ථ වලින්. උදාහරනයක් හැටියට බුදුන්වහන්සේ ‘හේතු ඵලය’ නැතිනම් ‘ප්‍රත්‍යයෙන් උපදින’ බව පැහැදිලි කරන්න ‘කර්මය හා විපාකය’ කියන වචන දෙක යොදාගත්තා. උදාහරනයක් හැටියට, කර්මය ‘උත්සාහයෙන් වන ක්‍රියාවට’ ප්‍රත්‍ය හැටියටද විපාකය ‘නූත්සාහයෙන් වන ක්‍රියාවට’ ප්‍රත්‍ය ලෙසද ‘පඨ්ඨාණප්‍රකරණයේ’ සූවිසි ප්‍රත්‍ය පැහැදිලි කරන කොට කියල තියෙනවා. එතකොට එහෙනම් සද්ධර්මය ඇතුලෙ කර්මය සහ විපාකය අරගෙන තියෙන්නෙ ප්‍රත්‍යයක් හැටියට මිස විපාක දෙන කර්මයක් හැටියට නෙමෙයි.
එසේනම් ‘විපාකදෙන කර්මයක්’ සද්ධර්මය තුල හමුනොවෙයි.
3.අද්භූත බල ගැන කියවෙන බනත් මේවගේම තමයි. දෙවියන් බ්‍රහ්මයින් ඉන්නවා නෙමේ, ඒවා අපේ සිතේ පෙර මතකයේ තැන්පත් වෙච්ච නැතිනම් කවුරුහරි දාපු දත්ත (data) ඇසුරෙන් මැවෙන දේවල්. අපි පන්සල්වල බිත්තිවල ඇදපු දේව රූප දැකල ඒවා මතකයේ store කරගෙන ඉන්නවා. ඒ රූප කලින්කලට මනො සංකාර වෙලා දෙවියන් ඉන්නවා කියලා හිතෙනවා. දෙවියන් කියන්නෙම සිතේ මැවෙන රූපයක්, සිතුවිල්ලක් පමනයි. ඉතින් තමන්ගේම මනසේ මැවෙන රූපයකින් පිහිට ආධාර ඉල්ලන එක විහිළුවක් නෙමෙයිද?
රතන සූත්‍රය කියපුවහම ලෙඩ හොද වෙනවා කියලා මතයක් තියෙනවා. කවුරුහරි කියලා තියෙනව බුදුන්වහන්සේ රතන සූත්‍රය දේශනා කලේ විශාලා මහනුවර තුන්බිය දුරුකරන්න කියලා. ඉතින් රතන සූත්‍රය පැහැදිලි කරගන්න හදනවා භූත බිය ඇතුලෙ ඉදලා.
රතන සූත්‍රය වගේ මහා ගාම්භීර දේශනාවක් භූතබිය වගේ දේකට ලඝුවීම ගැන අපි ඔක්කොමල ඇත්තටම කනගාටුවෙන්න ඕනෙ.
රතන සුත්‍රය කියන්නේ සොවාන් මාර්ගය පැහැදිලි කරන දේශනාවක්. සූත්‍රය ඇතුලෙ 1වැනි ගාථාවේ ඉදලා 8වන ගාථාව දක්වා තියෙන්නෙ ජීවිතය (අට පිලිවෙත-අශ්ඨාංගික පිලිවෙත) භවය සකස් නොවන එනම් ‘මම’ -ඉත්ථභාවය ඇතිනොවන විදිහට සකස් කරගන්නෙ කොහොමද කියලා.
එහෙම භවය සකස් නොවන විදිහට අට පිලිවෙත සකස්කර ගත්තහම;
9 වන ගාථාවෙ කියනවා
‘යෙ අරියසච්චානි විභාවයන්ති, ගම්භීරපඤ්ඤෙන සුදෙසිතානි;
කිඤ්චාපි තෙ හොන්ති භුසං පමත්තා,
න තෙ භවං අට්ඨමමාදියන්ති’
ඒ අනුව යමෙක් ආර්ය දර්ශනය ප්‍රකට කරයිද
හේ
භවය සකස් නොකරන අටමග (අශ්ඨාංගික මාර්ගය) ප්‍රගුන කරයි. ඔහුගේ සිහිය පමා නොවීමට (සෝතාපන්නයට) මෙය හේතුවෙයි.
‘න තේ භවං අට්ඨමමාදියන්ති’ කියන්නෙ අටවන භවයක් නැතිබවත් හේ හත්වන භවයේදි නිවන් දකින බවත් යයි දේශනා නොකල දේශකයෙක් නැතිතරම්ය.
‘නතේ භවං අට්ඨමමදියන්ති’ යනු භවය සකස් නොවන අටපිලිවෙතයි. බුදුන්වහන්සේ සත්වයාගේ දිවි පෙවත අර්ථ දැක්වූයේ ‘අට පිලිවෙත නැතිනම් අශ්ඨාංගික මාර්ගය’ හැටියටයි. ඒක භවය සකස්කරන අට පිලිවෙතක් නම් ‘අනාර්ය අශ්ඨාංගික මාර්ගය’ හැටියටද, භවය සකස්නොකරන අට පිලිවෙත නම් ‘ආර්ය අශ්ඨාංගික මාර්ගය’ හැටියටද බුදුන්වහන්සේ අර්ථ දැක්වුවා.
රතන සූත්‍රය භූතයින් එලවීමටවත් ලෙඩ සුව කිරීමටවත් කල අද්භූත බලයක් අඩංගු දේශනාවක් නොව එය සෝතාපන්නය මාර්ගය හෙලිකරන දේශනාවකි.
4. තවත් බනක දිව්‍යලෝක දෙවියන් බ්‍රහ්මයින් වසන තිස්එක් ලෝක ධාතුවක් ගැන කියවෙනවා. දෙවියන් සිටිනවානම් ඒ අය බුදුන්වහන්සේ ගයාවේ බෝධිමූලයේදී බුද්ධත්වයට පත් වෙච්ච වෙලාවේ බුරුතු පිටින් එන්න තිබුනා. නමුත් එවෙලේ බුදුන්වහන්සේ අසල කිසිකෙනෙක් සිටියේ නැත. සත්සතිය ගතකරල කැලෑවෙන් එලියට එනවිට කිසිම සත්වයෙක් හෝ උන්වහන්සේ අසල සිටි බවක් ධර්මග්‍රන්ථවල සටහනක් වත් නැහැ.
‘බුද්ධත්වය’ තමයි ලෝකයේ මෙතෙක් ඇතිවුන උතුම්ම සංසිද්ධිය. එහෙම වෙලාවක දෙවියන් බඹුන් මේ චක්‍රාවාටයේ සිටියානම් ඔවුන් බුරුතු පිටින් රැස්වෙන්න මෙය හොඳම අවස්තාව නොවෙයිද?
තනිවම මහමග වඩිනා උන්වහන්සේට හමුවූයේ එකම එක පුද්ගලයෙක් පමනයි. උපක නම්වූ ආජීවකයා බුදුන්වහන්සේගේ ශාන්ත විලාසය දැකලා වික්ශිප්තවෙලා ‘ඔබ කවුදැයි’ විමසුවා. බුදුන්වහන්සේ ‘ඔබ මේ දකින්නේ බුද්ධ ස්වභාවය’ බව පැවසුවා. දෙවියන් මේ උතුම් වෙලාවේ හිටියෙ කොහේද? තිස්එක් ලෝක ධාතුවම නිදිද?
5. සමතය ප්‍රකට කරගෙන බන කියන අයද ඉන්නවා. සමත භාවනාව එදා දඹදිව ප්‍රචලිත භාවනා ක්‍රමයක්. සිදුහත් තවුසාත් ආලාර කාලාම හා උද්දකාරාම පුත්‍ර එක්ක අවුරුදු හයක් වැඩුවේ මේ සමතයම තමයි. බුදුවූනාට පස්සෙ දේශනකල ‘අර්ය පර්යේෂණ සූත්‍ර’ දේශනාවේ කියනව තමන්වහන්සේ ඔවුන් ඇසුරෙන් නික්මුනේ ‘කලකිරීමෙන්’ බව.
ඒ වගේම, එදා සමාජය තුල තිබූ කිසිම දෙයක් තමන්වහන්සේ සොයාගත්ත සද්ධර්මය තුල අන්තර්ගතව නැතිබව දොලොස් වතාවක්ම පලමු දේශනාවේදීම බුදුන්වහන්සේ සඳහන් කරනවා. ‘පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු’ – මාගේ ධර්මය තුල ඔබ ආරංචියකින්වත් ඇසූ කිසිවක් අඩංගු නොවේ’ යයි ධම්මචක්කපවත්වන සූත්‍ර දේශනාවෙ සඳහන් වෙනවා. එසේනම් එදා දඔදිව සමාජය තුල විශේෂයෙන්ම තාපස (ascetic) සමාජය තුල පැවති සීල හා භාවනා (සමතය) තම සද්ධර්මය තුල නොපවතින බවයි බුදුන්වහන්සේ මේ පැවසුවේ.
සමතය හරහා ධ්‍යාන වඩනා අය තවමත් කරන්නේ එදා බුදුන්වහන්සේ කලකිරීමෙන් අතහැරිය භාවනාවයි. ධ්‍යාන තුලින් අත්කරගන්න හැකි නිවනක් හෝ දුක නැතිකිරීමක් සද්ධර්මය තුල හමුවන්නේ නැත.
මෙම ලිපියේ අඩංගු කරුනු හා එම කරුනුවල දිගුවකට ඔබට ‘භවය සකස් කරන හා භවය සකස් නොකරන විඤ්ඤාණය‘ නැමති YouTube ධර්ම සාකච්ඡාව තුලින් සවන්දිය හැකිය. එයට පිවිසීමට පහත සඳහන් link එක භාවිතා කරන්න.
ඔබට තෙරුවන් සරණයි
තිස්ස ගුණතිලක
2024 ජූනි මස 28 වනදා
Sent from Tissa’s Phone