නිදහස් අධ්‍යාපන පනත සම්මත කළේ ඉතා අමාරුවෙන්. නිදහස් අධ්‍යාපනයෙන්ම ඉහළට ගිය අය ඒව මතක් කරන්නේ නෑ.මහින්ද රාජපක්ෂ මැතිතුමා හම්බන්තොට වරාය හදලා ගත්තේ යෝධ පියවරක්..-අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
Posted on July 1st, 2024

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

නිදහස් අධ්‍යාපන පනත සම්මත කළේ ඉතා අමාරුවෙන්. නිදහස් අධ්‍යාපනයෙන්ම ඉහළට ගිය අය ඒව මතක් කරන්නේ නෑ.මහින්ද රාජපක්ෂ මැතිතුමා හම්බන්තොට වරාය හදලා ගත්තේ යෝධ පියවරක්..-අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  නව තෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා –

එදා මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ මැතිතුමන්ලාගේ පියා ඩී.ඒ රාජපක්ෂ මැතිතුමා අපේ රටේ මහා පෙරළියකට හම්බන්තොට ජනතාව ගෙන ආවා. එතුමා රටේ නොසෙල්වෙන ඡන්දයක් පාවිච්චි කරපු මන්ත්‍රීවරයෙක්.  නිදහස් අධ්‍යාපනය ඕනෙද එපාද කියන වෙලාවෙ ඩී.ඒ.රාජපක්ෂ මැතිතුමා නිදහස් අධ්‍යාපනය ඕනේ කියන පැත්තටයි ඡන්දෙ දුන්නේ. එදා ඒ පනත සම්මත වුණේ එක ඡන්දෙන්. එදා පැරදුනානම් මේ රටේ නිදහස් අධ්‍යාපනයට තව අවුරුදු පනහක් යනකන් පනතක් ගේන්න බැහැ. ලංකා ඉතිහාසයේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් හැමගෙන් ඒ ඓතිහාසික සටන කියවෙනවා අඩුයි.  සී. ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමාට  ඊට අවුරුදු දහයකට පස්සේ තමයි පනත ගෙනල්ලා සම්මත කරන්න  පාර්ලිමේන්තුවෙන් අවසරය දුන්නේ. කලින් තීරණය ජයග්‍රහණය නොවෙන්න එදා නිදහස් අධ්‍යාපනය පිළිබඳ අයිතිය තව කාලයකට නොලැබෙන්න තිබුණා.

පාර්ලිමේන්තුවට ගිහිල්ලා මොනවද කළේ කියලා සමහර අය අහනවා. කෙටි උත්තරය වන්නේ, ඔබටත් ඉගෙන ගන්න නිදහස් අධ්‍යාපනය ලබා දුන්නා කියන එකයි. නිදහස් අධ්‍යාපනය තමයි මහා වස්තුවයි.

එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක, පිලිප් ගුණවර්ධන සහ ඩී.ඒ රාජපක්ෂ මැතිතුමන්ලා මහ කැලෑවක් මැද එදා චන්ද්‍රිකා වැවට ආරම්භයක් දුන්නා. චන්ද්‍රිකා වැවෙන් වලවේ නිම්නය අලුත් වැඩපිළිවෙළකට වෙනස් වුණා. වලවේ නිම්නයක් බවට සංවර්ධනය කරන්නට පටන් ගත්තා.

මම නාගරික සංවර්ධන අමාත්‍යවරයා හැටියට ඉන්න කාළේ චමල් රාජපක්ෂ මැතිතුමා, මහින්ද රාජපක්ෂ මැතිතුමා, සමග චීන තානාපතිතුමා පළවෙනි පස් පිඩැල්ල කපනවා හම්බන්තොට වරායට. බොහෝ අය බොහෝ දේවල් කිව්වා. හොඳ වරායක් හැටියට කොළඹ හැදෙන්න අවුරුදු පන්සිය විස්සක් ගියා. කෝට්ටේ රාජධානිය වැටුණට පස්සේ අවුරුදු පන්සියයක් ගියා කොළඹ වරාය දියුණු වරායක් බවට පත් කරන්නට.

මහින්ද රාජපක්ෂ මැතිතුමා හම්බන්තොට වරාය සැලසුම් කරලා අපේ මහ මුහුදේ ගමන් ගත් නැව්  මෙතනට ගෙන්වන්නට ඒ තරම් කාලයක් ගත වුණේ නැහැ. වරායන්  දියුණු වෙන්නේ අදියරෙන් අදියර. ඒ ක්ෂේත්‍ර ප්‍රයෝජනයට ආකර්ෂණයට පුළුවන් විදිහටත් ඒ වටා ගොඩනැගෙන කර්මාන්ත හරහාත් වරාය  ගොඩනැගෙන කාල සීමාව වෙනස් වෙනවා. එදා  අනාගතය වෙනුවෙන් ගත්ත යෝධ පියවර අද හදන්න කවුරුහරි කතා කරනවා නම් කොපමණ වියදමක් දරන්න වෙයිද? අපිට දෙවැනි වරායක් අවශ්‍ය වෙන්නේ නැද්ද? මේවා සංසන්දනය කරලා ආර්ථික ඉදිරිය සඳහා අපි ආයෝජනය කරන්නට වෙනවා. ඒ ආයෝජනය වර්ධනය කර ජයග්‍රහණය කරන්නට වෙනවා.  

මෙහිදී අදහස් දැක්වූ හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු  සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී, චමල් රාජපක්ෂ මහතා –

හම්බන්තොට දිස්ත්‍රික්කයේ එදා අඳ ගොවීන් සිටියා. ඒ අය හුඟක් දුක් විඳපු අය. 1956 බණ්ඩාරනායක මැතිතුමාගේ ආණ්ඩුවේ  කෘෂිකර්ම ඇමතිතුමා වුණේ අග්‍රාමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ පියා, පිලිප් ගුණවර්ධන මැතිතුමා.  එතුමා තමයි කුඹුරු පනත ගෙනල්ලා  අඳ ගොවීන්ගේ අයිතිය සුරක්ෂිත කරලා දුන්නේ. මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තමයි අඳ ගොවීන් වැඩියෙන්ම ලංකාවේ හිටියේ. අද අඳ ගොවියා මිය ගියාට පසුව තමන්ගේ පුතාට ඒ අඳ ගොවි අයිතිය යනවා.  අපි ඒ ගෞරවය අද අපේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට ලබාදෙනවා එතුමන්ගේ පියාණන් වෙනුවෙන්.

අග්‍රාමාත්‍යවරයා හම්බන්තොටට අලුත් කෙනෙක් නෙවෙයි. එතුමාගේ මෑණියනුත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ. ඒ නිසා ඔබ අපට බොහොම කිට්ටුයි. ඒ නිසා ඔබතුමාට මේ හම්බන්තොට දිස්ත්‍රික්කය ගැන අලුතින් කියන්න දෙයක් නැහැ. මම හිතනවා ඔබතුමාගේ කාලය තුළ හම්බන්තොට දිස්ත්‍රික්කයට ලැබිය යුතු හැම දෙයක්ම ලැබෙයි කියලා.

අපි මේ ප්‍රදේශයේ ගුවන්තොටුපළ හා වරාය  හදපු නිසා මේ ප්‍රදේශයේ ඉඩම්වල වටිනාකම ඉහළ ගියා. එහෙම කළේ ආයෝජකයන්ට මේ ප්‍රදේශවලට එන්න. එහෙම ඇවිල්ලා කර්මාන්ත ව්‍යාපාර පටන් ගත්තම  අපේ  බොහෝ දෙනෙකුට රැකියා ලැබුණා. මේ දියුණුවත් එක්කම ස්ථිර ප්‍රතිපත්තියක් අවශ්‍යයි. අවුරුදු පහෙන් පහට මාරු වෙවී යන මේ ක්‍රමයත් එක්ක අපට ඉදිරියට යන්න බාධා ඇති වෙනවා. අපට තියෙන්න ඕනේ දීර්ඝ කාලීන සැලසුම්. එහෙම නැතුව මේ රට දියුණු වෙන්නේ නැහැ.

තිස්සමහාරාම ආසනයේ පළාත් පාලන ආයතනවල සේවකයින්ට ස්ථිර පත්වීම් ලබාදීම, ඉඩම් ඔප්පු ප්‍රදානය, නිවාස ණය ලබාදීම ද මෙහිදී සිදුවිය.

තිස්සමහාරාම රජමහා විහාරාධිපති, පූජ්‍ය දේවාලේගම ධම්මසේන හිමි, සිතුල්පව්ව රජමහා විහාරාධිකාරි, පූජ්‍ය ලේල්වල සමිත හිමි ඇතුළු ගරුතර සංඝයා වහන්සේලා, නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන අශෝක ප්‍රියන්ත, ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි  ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න, හම්බන්තොට දිසාපති එච්.පී සුමනසේකර, ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරු, පොදු ජනතාව මෙම අවස්ථාවට එක්වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress