විදෙස් නඩු තීන්දුවලට ශ්‍රී ලංකාව තුළ පිළිගැනීමට ගෙනා පනත් කෙටුම්පත නිසා ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලය විදෙස් රටවලට පැවරෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට නීතීඥවරයෙක් පෙත්සමක් ඉදිරිපත් කරයි..
Posted on July 1st, 2024

මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන.

2024.06.19 වන දින, විදේශ නඩු තීන්දු අනෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබද පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පළමුවර කියවූ අතර, එම පනත් කෙටුම්පතට එරෙහිව නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යස්ථාව යටතේ 2024 ජූලි 01 දින ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

විදේශ නඩු තීන්දු අනෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබද පනත් කෙටුම්පත මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්මය, ස්වාධීනත්වය, ජනතාවගේ පරමාධිපත්‍යය, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමීම සහ බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීමේ රජයේ වගකීම, තමන් අභිමත ආගමක් ඇදහීමේ නිදහස, විශ්වාසයක් දැරීමේ නිදහස, ආගමික නිදහස, අවමන් සහහගත සැළකිල්ලකට නැතහොත් දඩුවමකට යටත් නොවීමේ නිදහස,  නීතිය පසිදලීම සහ නීතියේ රැකවරණය, වෙනස්කමකට ලක් නොවීම, නිර්දෝෂී බවේ පූර්ව නිගමනය, රාජ්‍ය භාෂාව, පරිපාලන භාෂාව, අධිකරණ භාෂාව, රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කිරීමේ ශ්‍රේෂ්ඨාධිකරණය සතු අනන්‍ය අධිකරණ බලය, රාජ්‍ය මූල්‍ය, අන්තර්ජාතික සම්මුති සහ ගිවිසුම් වලට අදාල අනුරූපී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාවලට අනනුකූල වන අතර තැනැත්තන් දේශීයව හෝ විදේශීයව අනෝන්‍යව පිළිගැනීම මත ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාමය විධිවිධාන වලින් බැහැර විය නොහැකි බවත්, තැනැත්තන්ට  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය විධිවිධාන වලින් බැහැර වීමට නීති පැනවිය නොහැකි බවත් එම පෙත්සමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට යොමු කර ඇත.

තවද විදෙස් රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හෝ චාරිත්‍ර අනුව ලබා ගන්නා මූල්‍ය කටයුතු/ දේපල අදාලව සහ (112වන අධිකාරය වූ) විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ ලියාපදිංචි කළ විවාහයක් අදාලව එකී විවාහය අවසන් කිරීමට සම්බන්ධ විදෙස් නඩු තීන්දු ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට අනුකූල බවට වැරදි ලෙස පූර්ව නිගමනයකින් මෙම විදේශ නඩු තීන්දු අනෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබද පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බවත්, එය නිවැරදි නොවන අතර පාර්ලිමේන්තුව සතු ව්‍යවස්ථාදායක බලය අත්හැරිමක්ද, අධිකරණ බලය අත්හැරිමක්ද, රාජ්‍ය මූල්‍ය පාලනයට වැරදි බලපෑමක්ද, මෙමගින් සිදුකර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ යෝජිත කෙටුම්පත අතර ගැටුම් ඇති කර ඇති බවත් පෙත්සමේ දැක්වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 16වන ව්‍යවස්ථාව අනුව එතෙක් පවතින ලිඛිත හෝ ලිඛිත නොවන නීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට අනුකූල නොවුවද එය නොතකා පවතින ලිඛිත හෝ ලිඛිත නොවන නීති බලාත්මක බව දැක්වුවද 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ව්‍යවස්ථාවන්ට අනුව අනුකූලව අලුත් නීති පැනවිය යුතු අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල ලෙස නීති පනවන්නේ නම් එයට අදාලව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 82, 83, 84, 123 ඇතුළු ව්‍යවස්ථා අනුව ක්‍රියාකළ යුතු බවත්, පෙත්සම මගින් දැක්වෙන නීතිමය කාරණා අනුව විදේශ නඩු තීන්දු අනෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබද පනත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සමග අනුකූල නොවී ක්‍රියාකර ඇති ආකාරය වැරදි බවත් පෙත්සමේ දැක්වේ.‍

විදේශ නඩු තීන්දු අනෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබද පනත් කෙටුම්පතේ  වගන්ති මගින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සහ ඒ විදෙස් රටෙහි ආණ්ඩුව අතර සම්මුතියකට එළඹීම, විදෙස් අධිකරණවල නඩු තීන්දු ශ්‍රී ලංකාවේ අධිකරණවල පිළිගැනීම, ලියාපදිංචිය, බලාත්මක කිරීමට සහ ඒවාට අදාලව අමාත්‍යවරයාට බලය පැවරීම, මූල්‍ය ගනුදෙනු සම්බන්ධ විදෙස් නඩු තීන්දු අදාල කිරීම, (112වන අධිකාරය වූ) විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ ලියාපදිංචි කළ විවාහයක් අවලංගු කිරීම හෝ ශුන්‍ය කිරීම, වෙන්වීම සම්බන්ධයෙන් විදෙස් නඩු තීන්දු අදාල කිරීමට අදාලව පිළිගැනීම, ලියාපදිංචි කිරීම, බලාත්මක කිරීම, විරෝධතා ඉදිරිපත් කිරීම, විදෙස් නඩු තීන්දු පිළිගන්නා ව්‍යවස්ථා ක්‍රමවේදය සහ පරිචය, රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කිරීම, විදෙස් නඩු තීන්දුව අධිකරණයට ඉදිරිපත් කරන භාෂාව, විදෙස් නඩු තීන්දුව යටතේ ගෙවිය යුතු පොළිය සම්බන්ධ කාරණා, නඩු තීන්දුව යන්න අර්ථ නිරූපණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 3, 4, 9, 10, 12.1, 12.2, 13.5, 14.1.ඉ, 14.1.ඊ, 14.1.උ,14.1.එ,18, 19, 22, 24, 27.2.අ, 27.3, 27.6, 27.10, 27.11, 27.12, 27.13, 28.අ, 76, 83, 125, 148, 157, 170 ව්‍යවස්ථාවලට අනනුකූල වන අතර තැනැත්තන් දේශීයව හෝ විදේශීයව අනෝන්‍යව පිළිගැනීම මත විදෙස් රටවල නඩු තීන්දු මත 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය විධිවිධාන වලින් බැහැර විය නොහැකි බවත් පෙත්සම මගින් කරුණු දක්වා ඇත.

කෙටුම්පතේ 23 වගන්තියේ නඩු තීන්දුව අර්ථනිරූපණයේදී විවාහය අවසන් කිරීමට අදාලව දේපළ නිරවුල් කිරීමට අදාල විදෙස් නඩු තීන්දු බැහැර කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාවට (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූල්‍ය පරිච්ඡේදය) අනුකූල කර තිබුණද, සමඟම මූල්‍ය කටයුතු අදාල විදෙස් නඩු තීන්දු වලදී දේපල නිරවුල් කිරීම සම්බන්ධයෙන් අදාල නොකිරීම සිදු නොකරමින්, කෙටුම්පතේ 23 වගන්තියේ නඩු තීන්දුව අර්ථනිරූපණයේ ගැබ්වී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාවට අනුකූල සහ අනනුකූල කර තිබීම යන දෙකම එකවර සිදුකරමින් එකිනෙක පටහැනි තත්ත්වයක් ඇති කර අවසානයේ මේ තත්ත්වයන් දෙකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාවට (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූල්‍ය පරිච්ඡේදයට)  අනනුකූල වන අතර, රාජ්‍ය මූල්‍ය පාලනය විදෙස් නඩු තීන්දු හරහා විදෙස් රටවලට පැවරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බවත් පෙත්සමේ දැක්වේ.

විදෙස් නඩු තීන්දු ලබාගෙන මූල්‍ය වරදකට, දේපල/ ප්‍රතිලාභයක්/ අයිතියක් අහිමි කිරීමක් කර ඇති අවස්ථාවක එයට හසුවන වින්දිතයන්ට නීතියේ පිළිසරණ, රැකවරණය ලබා ගැනීම, අපරාධ නඩු මෙරටදී පවරනු ලැබූ විට නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය විදෙස් නඩු තීන්දු පිළිගැනීම මගින් අහිමි කරවන බවත්, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අනුමත නොකළ විදෙස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, විදෙස් නීති, විදෙස් චාරිත්‍ර වලින් සහ විදෙස් විනිසුරුවරුන්ගේ නඩු තීන්දු අදාල කිරීමට යාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13.5 අනු ව්‍යව‍ස්ථාවටද අනනුකූල බවත් පෙත්සමේ දක්වා ඇත.

අධිකරණ කටයුතු සඳහා වෙනත් භාෂාවක් එනම් ඉංග්‍රීසි භාෂාව භාවිතා කිරීමට අධිකරණ විෂය භාර ඇමතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24.1 සහ 24.4 අනුව්‍යවස්ථා මගින් බලය ලබා දී තිබුණද, කෙටුම්පතේ 17 වගන්තිය මගින් ඉංග්‍රීසි භාෂාව පමණක් යොදා තිබීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24.1 අනුව්‍යවස්ථාවේ දැක්වෙන සිංහල සහ දෙමළ අධිකරණ භාෂා බව සහ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් විදෙස් නඩු තීන්දු ඉදිරිපත් කරවීමට සැළැස්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල වන බවත්, විධායකයේ කොටසක් වන අධිකරණ ඇමතිවරයාට යම් භාෂාවක් අධිකරණයේ භාවිතා කිරීමට බලය ලැබීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුමත කළද, පනත් කෙටුම්පතක් මගින් භාෂා විධිවිධාන වෙනස් කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24.1 ව්‍යවස්ථාවට අනුව මේ ආකාරයට කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය නැති අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 9, 18, 19, 22, 24.1 ව්‍යවස්ථාවට අනනුකූල වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24.1 ව්‍යවස්ථාව මගින් ලබා දී ඇති අධිකරණ භාෂා අයිතිය, කෙටුම්පතේ 17වන වගන්තියේ දැක්වෙන ආකාරයට අහිමි කිරීමට නොහැකි බවත් පෙත්සමේ දක්වා ඇත.

විවාහ වන අවස්ථාවේ හෝ ගණුදෙනුව වන අවස්ථාවේ ශ්‍රී ලංකාවේ පවතින නීතිමය තත්ත්වයට වෙනස් විදෙස් නීති යටතේ විදෙස් නඩු තීන්දු ද්වීපාර්ශවිකව හෝ ඒකපාක්ෂිකව ලබාගෙන හෝ අනෝන්‍ය කැමැත්තෙන් ලබා ගෙන තිබියදී ඒවා ශ්‍රී ලංකාවේ අදාල කිරීමට නීති පැනවීමෙන් ශ්‍රී ලංකාවේ අධිකරණ බලය සහ ව්‍යවස්ථාදායක බලය පවරාදීමක්, විදෙස් රටවලට සතු කිරීමක්, අත්හැරීමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 ව්‍යවස්ථාවට අනනුකූල වන අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4.. සහ 4., 9, 76 ව්‍යවස්ථාවන්ට අනනුකූල බවත් පෙත්සමේ දැක්වේ.

කෙටුම්පතේ 23 වගන්තියේ නඩු තීන්දුව අර්ථනිරූපණයේ දීස්වෛරී රාජ්‍යයන්න දැක්වෙන අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1වන ව්‍යවස්ථාවේ ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරී, ස්වාධීන, ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් බව දක්වා ඇති අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125 ව්‍යවස්ථාව මගින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් පවරා තිබියදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අර්ථනිරූපණය කිරීමට සහ විභාග කිරීමට කොළඹ දිසා අධිකරණයට පැවරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1 සහ 125 ව්‍යවස්ථාවටද ඇතුලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන විදෙස් නඩු තීන්දුවලින් ආරක්ෂා කරන රැකවරණ කිසිවක් කෙටුම්පතේ යොදා නැති අතර ස්වෛරීත්වයසම්බන්ධයෙන් පමණක් වැරදියට හෝ දක්වා ඇති නමුත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල විදෙස් නඩු තීන්දුවලින් බැහැරවීමේ ප්‍රතිපාදන දක්වා නොතිබීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ නෛතික යුතුකමට, හතරවන උපලේඛනයේ සහ හත්වන උපලේඛනයේ ප්‍රතිඥාවට/ දිව්රුමට අනනුකූල බවත් පෙත්සම මගින් පෙන්වා දී ඇත.

පැරණි සෝල්බරි ව්‍යවස්ථාව පැවති සමයේ මෙන් නොව, 1972 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැනවීමෙන් පසු සහ නැවත 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැනවීමෙන් / ක්‍රියාත්මක වීමෙන් පසු මේ ආකාරයට විදෙස් නීති බලාත්මක කිරීමට විදේශ නඩු තීන්දු අනෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබද පනත් කෙටුම්පත ගෙන ඒම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නියම කර ඇති 3වන ව්‍යවස්ථාව ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බවත් වැඩි දුරටත් පෙත්සමේ දක්වා ඇත.

විදේශ නඩු තීන්දු අනෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබද පනත් පනත් කෙටුම්පතේ වගන්ති අවස්ථාවෝචිතව සහ අදාල පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 3, 4, 9, 10, 12.1, 12.2, 13.5, 14.1.ඉ, 14.1.ඊ, 14.1.උ,14.1.එ,18, 19, 22, 24, 27.2.අ, 27.3, 27.6, 27.10, 27.11, 27.12, 27.13, 28.අ, 76, 83, 125, 148, 157, 170 ව්‍යවස්ථාවලට අනනුකූලවන බවත්, අවස්ථානුකූලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුද ඇතුළුව 2/3 නොඅඩු පක්ෂව දෙන ලද ඡන්ද සංඛ්‍යාවක් සහ ජනමතවිචාරණයක් මගින් ජනතාව අනුමත කිරීමෙන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා විසින් ස්වකීය අත්සන ඇතිව සටහන් කර ඇත්නම් මිස නීතියක් නොවිය යුතු බවට තීරණය කරන ලෙස පෙත්සම්කාර නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන්  අයද ඇත.

http://neethiyalk.blogspot.com/2024/07/blog-post.html

මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0342256066 / 0712063394

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress