NPPය බුද්ධිමය දේපොළ හොරකමක ද? – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස
Posted on July 1st, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

පසුගිය ජූනි මස 29 දින මාලිමාවේ ‘ක්වොන්ටම් ලීප්’ දේශණයකදී මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා විසින් එලි දක්වන ලද ‘විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තියේ’ අයිතිය පිළිබඳව ඇති සංකූලතාවය පිළිබඳව ප්‍රකාශයක් කරමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස මහතා පවසා සිටියේ මාලිමාව යම්කිසි ‘ඉන්ටර්ලෙක්චුවල් ප්‍රොපර්ටි’ හොරකමක යෙදී ඇතිදැයි සැකයක් මතුවන බවයි. 

ඒ මහතා මේ පිළිබඳව වැඩිදුරටත් මෙසේද පැවසීය, 

“මාලිමාවේ ‘ක්වොන්ටම් ලීප්’ හෙවත් ‘විශාල ප්‍රමාණයකින් හදිසියේ වැඩිවීම’ දේශන මාලාවේ ජූනි 29 දින පැවති දේශනයකදී නිවේදකයා දේශකයාව හඳුන්වා දෙමින් ප්‍රකාශ කර සිටියේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා ජාතික ජන බලවේගයේ විද්‍යා හා තාක්ෂණික ප්‍රතිපත්තිය හදපු කමිටුවේ සාමාජිකයෙක් ලෙසයි.

නමුත් මහාචාර්යවරයා එතුමාගේ කතාව ආරම්භයේදී මෙසේ පවසනව,

“අප අද එකතු වෙලා ඉන්නෙ ඉතාමත්ම වැදගත් කාරණයකට. මම විතරක් නොවෙයි, ලෝකය පුරා විසිරී සිටින මම වගේම රටට ආදරය කරන විද්‍යා හා තාක්ෂණ ක්ශේත්‍රයේ ඉන්න ප්‍රවීනයින් රැසක් එකතු වෙලා තමයි අපි මේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය හැදුවෙ. ඉතිං මට පුංචි කාරණා ටිකක් කියන්න තියෙනව. අපි මේ වගෙ තැනකට ආවහම කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි මේ මොකක්ද කරණ දේශපාලනය කියල. මම මෙතනට ආවෙ දේශපාලනය කරන්න නෙවෙයි. හැබැයි දේශපාලනයෙන් වියුක්ත කිසිම දෙයක් අපේ රටේ නෑ. අපි හැමෝටම දේශපාලනයේ කොටස් තියෙනව. ඉතිං අන්න ඒ කොටස කරන්න තමයි අපි, මම අද මෙතනට ආවෙ. ඉතිං අපිට ඒ අවස්ථාව ලබාදුන්න ජාතික ජන බලවේගයට බොහොම ස්තුතියි. අපි, මගේ කාර්‍යභාරය වෙන්නෙ ඇත්තටම මේ අපේ ප්‍රතිපත්තිය ගැන හඳුන්වා දෙන්න. ඉතිං මම ඉතා වැදගත් කාරණයක් මතක් කරණවා. අපි මේ ප්‍රතිපත්තිය කරන්නෙ ඔබට ලබා දෙන්නට. ඔබ මෙය හොඳින් කියවන්න. ඒ සමගම ඒ සඳහා ඔබගේ අදහස් දක්වන්න. අපි යම්කිසි කාළයක් ලබා දෙනව ඔබේ අදහස් දක්වන්න. මොකද මේක මටවත්, අපේ කමිටුවටවත්, ජාතික ජන බලවේගයට විතරවක් හදන එකක් නොවෙයි. මේක හදන්නෙ රටට. ඉතිං ඔබේ අදහස් ඉතා වැදගත්”.

එසේ තමයි මහාචාර්‍යතුමා එතුමාගේ කතාවේ ආරම්භයේ පවසා හිටියෙ. එතුමා එහිදී පවසා සිටියේ නැහැ එතුමාලට එම කටයුත්ත සිදු කිරීමට ජා.ජ.බ. ය පැවරීමක් කල බවට. එසේ ජා.ජ.බ ය එතුමාලට යම්කිසි පැවරීමක් කරානම් එයත් එතුම නිර්ලෝභීව පැවසිය යුතුව තිබුනා. එතුමා එසේ නොපැවසීම නිසා අපට එතුමාගේ කතාව ඔස්සේ පැහැදිලි වන්නේ ස්වාධීනව එතුමාල විසින් සාදන ලද ප්‍රතිපත්ති මාලාවක් ජා.ජ.බ.යේ වේදිකාවේදී ජනතාවට ඉදිරිපත් කල බවයි.

එසේනම් නිවේදකය ජා.ජ.බයේ අනුදැනුම ඇතිව හෝ නැතිව පවසා තියෙන්නෙ මුසාවක් හා ඉන් සිදුව තියෙන්නෙ බුද්ධිමය දේපොළ හොරකමක්. ඉන්ටර්ලෙක්චුවල් ප්‍රොපටි හෙවත් බුද්ධිමය දේපල සොරකම් කිරීම අනෙකුත් සියළුම හොරකම් අභිබවා යනව.

මේ පිළිබඳව ජා.ජ.බය කිසිඳු පැහැදිලි කිරීමක් මේ දක්වා සිදු කර නැහැ. ජා.ජ.බයට සම්බන්ධ මා දුටු මාධ්‍ය ජාල වල පැවසෙන්නෙ මෙය ජා.ජ.බයේ  ප්‍රතිපත්ති බවයි.

මෙතනදි තවත් පැනයක් ඇතිවෙනව. නිවේදකය පවසනව ප්‍රථම වතාවටයි මේ ප්‍රතිපත්ති මාලාව නිකුත් කරන්නෙ කියල. එසේනම් ජා.ජ.බයේ කිසිදු කෙනෙක් ඊට පෙර නොදුටු ප්‍රතිපත්ති මාලාවක් කෙසේද ඔවුන් පවසන්නෙ එය ඔවුන්ගේ ප්‍රතිපත්ති මාලාව යැයි කියල?

ප්‍රතිපත්ති මාලාවක් නැතිව ඉඳල එක පාරටම ප්‍රතිපත්ති මාලාවක් ලැබීමනම් ‘ක්වොන්ටම් ලීප්’ එකක්ම තමයි. අවුරුදු දෙකකදි විදේශ ණය ප්‍රමාණයත් ඩොලර් බිලියන 80 වෙ ඉඳල ඩොලර් බිලියන 100 දක්වා ඩොලර් බිලියන 20 කින්ම වැඩිවීමත් ‘ක්වොන්ටම් ලීප්’ එකක් තමයි. ඒ වගේම ‘ක්වොන්ටම් ලීප්’ එකක් තමයි යහපාලන කාලෙ ඩොලර් බිලියන 12.5 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වැඩිවීම. අරගලයෙන් පසුව තෙල් වලට, විදුලි බිලට ආදියේ මිලටත් ඔය කියන ‘ක්වොන්ටම් ලීප්’ එක ලැබිල තියෙන්නෙ. ළඟදිම ජල කළමනාකරණ පනත ආව විට ජල බිලටත් ‘ක්වොන්ටම් ලීප්’ එකක් ලැබේවි. ‘ක්වොන්ටම් ලීප්’ එක හොඳටම ලැබුනෙ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට. එතුමාට පාර්ලිමේන්තුවේ තිබුනෙ එක ආසනයයි. දැන් ඒ පාර්ලිමේන්තුවෙම ස්ථිර ආසන 134 ක් තියෙනව. අරගලකරුවන්ටනම් ‘ක්වොන්ටම් ලීප්’ එකෙන් පමණක් නොවෙයි ‘බිග් බෑන්ග්’ එකෙනුත් පහර වදිනව. ඉස්සර අදෝවාතයක් ගියත් ගෝල් ෆේස් එන්න හැකියාව තිබුන එකේ දැන් නහයෙන් උඩට ජලයේ ගිලුනත් නහය උස්සන්න බැරි ගානට මට්ටම් කරල. ඒකත් නීතියේ ආධිපත්‍යයේ ‘ක්වොන්ටම් ලීප්’ එකක්. ඉස්සර ලීටර් 33,000 හෙ පෙට්‍රල් බව්සරයක් ගිනි තැබුවත් උද්ගෝෂකයින් අත්අඩංගුවට ගැනීමට නොහැකි කාලයක් තිබුනෙ. ඒ විතරක් නොවෙයි අධිකරණයට වැඩිය පාර්ලිමේන්තුවටත් එවැනි ‘ක්වොන්ටම් ලීප්’ එකක් ලැබිල. ජනාධිපතිතුමයි අධිකරණ ඇමතිතුමයි දෙන්නම හිටු කියල අධිකරණයට චැලෙන්ජ් කරණව. බැලුවහම අදානිටත් ‘ක්වොන්ටම් ලීප්’ එකක් දීල තිබිල තියෙනව. ටෙන්ඩර් කරහම සුලං බලය ඩොලර් සත 4යි. ටෙන්ඩර් නැතිවම අදානිට ඩොලර් සත 8යි. තව මේ වගේ ‘ක්වොන්ටම් ලීප්’ කොපමණ ඇත්ද. මීට කලින් විශ්‍රාම යන සෙබළුන්ට ලැබෙන්න තිබුන ‘ක්වොන්ටම් ලීප්’ එක ඔය කියන යහපාලනය ප්‍රමුඛ ජවිපෙ මාලිමාව විසින් නැති කරා. විශ්‍රාම ගොස් ලබන රුපියල් 40-50 දාහට අමතරව ‘ඇවන්ගාර්ට්’ එකට බැඳිල ‍රුපියල් ලක්ෂ 5-6 ක වැටුපක් ගන්න තිබුන එක නැති කරා. පාස්කු ප්‍රහාරයේ ප්‍රහාරකයන්ගෙ පියා සහ ඒ පිළිබඳව විමර්ශණය කරපු බුද්ධි නිලධාරීන්ද මාලිමාවට ගොඩවීමත් ‘ක්වොන්ටම් ලීප්’ එකක් තමයි. සාමාන්‍යයෙන් ව්‍යවාහාරික කාරණයක් තමයි විද්‍යාඥ ගනයේ සිටින උගතුන් සහ විද්වතුන් දේශපාලනය පිළිබඳව වැඩිදුර හැදෑරීමක් නොමැති බව. එවන් අය හට යම්කිසි දේශපාලන දේශකයෙකුගෙ මැන්චෝසන් වර්ගයේ සුරංගනා කතා ඇසීමෙන් ලැබෙන උත්තේජනයත් එයාලට ලැබෙන ‘ක්වොන්ටම් ලීප්’ එකක් තමයි. සමහර කාලවල ‘ක්වොන්ටම් ලීප්’ එක දිරව ගන්නත් බැරි වෙනව. ඒ වගේ දිරව ගන්න බැරිඋන ‘ක්වොන්ටම් ලීප්’ තමයි බෝම්බ බියෙන් තොරව මහමඟ බස් රථවල දුම්රියේ ආදියේ ගමන් කිරීමට ලැබීමේ ආරක්ෂක තත්ත්වය, ආසියාවේ හොඳම වැඩිම චීනයට පමණක් දෙවැනිවූ ආර්ථික වර්ධනය ලැබීම, පැය පහක් හයක් ගතවූ මාතර කොළඹ ගමනාගමනය පැය එකහමාරකට දෙකකට අඩුවීම ආදිය. රටේ ආරක්ෂාව පිළිබඳව තිබුන තත්ත්වයටනම් 2019 පාස්කුවේදි ‘බිග් බෑන්ග්’ එක වැදුන. ජාත්‍යන්තර වශයෙන් IMF එකෙන් ‘ක්වොන්ටම් ලීප්’ එක හරියටම වැදුන ආර්ජන්ටිනාව සහ කෙන්යාව අද මහ පාරෙ උද්ඝෝෂණය කරනව IMF එකෙන් යන්න කියල. වඩා හොඳ ජීවන තත්ත්වයක් ගන්න ගිය ලිබියාවට, ඉරාකෙට, ඇෆ්ගනිස්ථානෙට ‘ක්වොන්ටම් ලීප්’ එක හොඳටම ලැබිල. ඔරේන්ජ් විපලවයක් කරපු යුක්‍රේනයට ‘ක්වොන්ටම් ලීප්’ එක හොඳටම ලැබෙමින් පවතිනව. ඒ රටවලට ඇමරිකන් සහයෙන් ‘ක්වොන්ටම් ලිප්’ එක ලැබුන කියල තමයි කියන්නෙ. ගෝල් ෆේස් අරගලයේ ‘ක්වොන්ටම් ලීප්’ එකත් පිටුපස ඉන්නෙ ඇමරිකාව කියල සඳහන් වෙනව. නමුත් හදිසියෙවත් ‘හොග් ගාල’ ඉන්ටර්නෙට් ගියත් එහි අඩංගු ඩේට වලට ‘ක්වොන්ටම් ඩීප්’ එකක් එන්නෙ නෑ කියන එක අදකාලෙ මොන්ටිසෝරි යන ළමය පවා දන්නව. මේ පැහැදිලි කිරීම් ‘ක්වොන්ටම් ලීප්’ එකක් කියන්නෙ මොනවගේද කියල හඳුනා ගන්න පහසු කරයි කියල හිතනව. ඒ වචනෙ තේරුම අපිට කෙතරම් සමීපද කියා දැන් වැටහෙනව ඇති.

නැවතත් අපි මාලිමාව බුද්ධිමය දේපොළ හොරකමකද යන මාතෘකාව දෙස අවධානය යොමුකළ හොත් ඒ පිළිබඳව යම්කිසි පැහැදිලි කිරීමක් ජා.ජ.බය කරනු ඇතැයි බලාපොරොත්තු වෙනව. එනම්, මහාචාර්‍ය ගෝමික ඇතුලු පිරිස මාලිමාව විසින් මාලිමාව සඳහා විද්‍යාව හා තාක්ෂණය පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදනය පිණිස පත්කරනු ලැබුවේද? නැතහොත් ස්වාධීන විද්‍යාඥයින් පිරිසක් විසින් සාදන ලද ප්‍රතිපත්ති ප්‍රකාෂණයක් ජනගත කිරීම සඳහා තමුන්ගේ වේදිකාවේ ඉඩ සළසා දෙනු ලැබුවේද?  

ඒ කෙසේ වුවත් මෙයින් පෙනීයන තවත් කරුණක් වන්නේ වෘතීයවේදීන් නැවත නැවතත් එකම වැරැද්ද කරණ බව. පහුගිය වාරයේ වියතුන් ‘වියත්මග’ කියා සංවිධානයක්ම හදාගෙන එක දේශපාලකයෙකුට විතරක් සේවය කරන්න ගියා. අන්තිමේදි සිදුවුනේ ඒ වියතුන්ගේ කරමතින් ගොස් ජනප්‍රියවී ඔටුන්න දාගන්න යන්නටත් පෙරම නැග්ග වියත්මගට පයින් ගැසීමයි. ඒ හදා දුන්න කිසිවක් අන්තිමේදී ක්‍රියාත්මක උනෙත් නෑ ජනතාව අතරට ගියෙත් නෑ. දැන් මේ සිදුවෙමින් පවතින්නේ ඊටත් වැඩිය ප්‍රාථමික සම්බන්ධයක් මත සිදුවෙන හුවමාරුවක්. මට සැකයි වියත්මගේ හිටිය වියත්තුත් මේ එදා සිදුකල වැරැද්දම මෙදාත් කිරීමට දායක වෙනවද කියල.

ඇත්ත වශයෙන්ම ගෝමික ඇතුලු විද්‍යාථීර්තයින්ට තිබුනෙ තමුන්ගෙ මතය ප්‍රසිධියේ පොදුවේ දේශපාලන ප්‍රවාහයට මුදා හැරීමයි. දැන් සිදුව ඇත්තේ පොදු කටයුත්තක් වෙනුවෙන් නිර්පාක්ශිකව තැනූ දෙයක් (?) පක්ෂයක් විසින් අවභාවිතා කිරීමට ඉඩ හැරීමයි.

වියත්මග පමණක් නොව ජාතික සංවිධානද ඒ වැරැද්ද පසුගිය වර සිදු කලා. වියත්මග කෙසේ වෙතත් ජාතික සංවිධානනම් නැවත එම වැරැද්ද කිරීමට සූදනම් නැහැ. එම නිසයි මෙවර අප අපේ ප්‍රශ්ණ මාලාව මහජනතාවට ඉදිරිපත් කරේ දේශපාලකයින්ට දැනුම් දීමට.

අවසාන වශයෙන් මහාචාර්‍යතුමා ඇතුලු අනෙකුත් විද්වතුන්ගෙන් ඉල්ලා සිටින්න කැමතියි වියත්මගේ හිටිය වියතුන් ගිය මග නොගිහින් තවත් ප්‍රමාද වීමට පෙර සියළු දේශපාලන පක්ෂ වලට ඔබලාගේ ප්‍රතිපත්ති මාලාව ඉදිරිපත් කරන ලෙස”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress