ධම්ම කරුනු – තෙවන කොටස-සිත, සිහිය සහ මතකය. භවය සකස්වන හා භවය සකස් නොවන විඤ්ඤාණය
Posted on July 3rd, 2024

තිස්ස ගුණතිලක

භාහිර රූපයෙන් උත්පාදවන අංශු තරංග යම්කිසි වේගයකින් පැමින අදාල පංචේන්ද්‍රිය සමඟ ස්පර්ශවෙයි. අදාල පංචේන්‍ද්‍රියන් සකස්වී ඇති අංශුද පවතින්නේ ඇතිවන පවතින නැතිවන (උප්පාද තිථි භංග) විපරිනාම වේගයකය. මේ වේගයන් එකිනෙකට වෙනස් තිව්‍රතාවයන් ගෙන් යුතු වේග දෙකකි. භාහිරව පවතින මෙම භෞතික අංශු එකිනෙක හා ගැටෙන වේග දෙක නිසා චෛතසිකය (පරමාර්ථය) තුල ‘ස්කන්ධය’ක් උපදින අතර එය තවත් වේගයකි. වේග දෙකක සංකලනයකින් ඇතිවන්නේ තවත් වේගයක්ම බැවින් ‘ස්කන්ධය’ යනුද වේගයකි. චෛතසිකයේ ඇතිවන ස්කන්ධ වේගය තුල ඇතිවන්නේ සංඥා ස්වභාවයයි. චෛතසිකය තුල ඇතිවන සංඥාවේ වේගය යනු සිතයි, අරමුනයි නැතහොත් සංඥා විපරිනාමයට භාජනය වන විඤ්ඤාණයයි.

විඤ්ඤාණ වේගයේ ක්‍රියාවලිය සද්ධර්මය තුල පැහැදිලි වන්නේ ස්කන්ධයෙන් ආරම්භවන පටිච්චසමුප්පාද (ස්කන්ධ-පටිච්චසමුප්පාද) ක්‍රියාවලිය ලෙසයි. 

පටිච්චසමුප්පාද ක්‍රියාවලිය යනු විඤ්ඤාණ වේගයයි. මෙම වේගයේ අගය චිත්තක්ෂනයකි. එනම් තත්පරයට කෝටියක පමන වේගයකි. ස්වභාවධර්ම ක්‍රියාවලියක්වන මෙම වේගය තුල පාලනයක් හෝ දමනයක් කලහැකි ජගතෙක් නැත. අලාර කාලාම, උද්දකාරම පුත්‍ර, පස්වග මහනුන් හා බුද්ධත්වයට පෙර සිද්ධාර්ථ තවුසා මෙන්ම බුද්ධකාලයට පෙර විසූ ශඬ් ශාස්තෘන්ද උත්සාහ කලේ සිත හෙවත් විඤ්ඤාණය පාලනය කිරීමෙන් නිරෝධය උදාකරගැනීමටයි. සය වසරක් සමත භාවනාව තුල සිත පාලනයකට උත්සාහ කර දුක නැතිකරන නිරෝධ මාර්ගය එය නොවන බව අවබෝධ කල සිදුහත්‍ තවුසා පසුව ස්වොත්සාහයෙන් නිවන අවබෝධකල සේක.

භාහිර රූපයක ස්පර්ශයෙන් පටන්ගන්නා විඤ්ඤාණ වේගය පටිච්චසමුප්පාද ක්‍රියාවලිය හරහා දිවෙන අතර එය බුදුන්වහන්සේගේ න්‍යාය අනුව අවස්ථා (nodes) දොලහක් හරහා ක්‍රියත්මකයි. නිතරම භාහිර රූපය උපාදාන කරනා සිත (බැසගන්නා සිත) භාහිර රූපය ආශ්වාදයකින්‍ (රාගයෙන් හෝ ද්වේශයෙන් හෝ) ග්‍රහනය කරයි. භවය සකස්වීම යනු මෙම සංසිද්ධියයි. එසේ ග්‍රහනය කරනා භාහිර රූපය විඳිනා කෙනෙක් (මම) සිටිනාබවක් දැනෙයි (සක්කාය දෘශ්ඨිය). භව පච්චයා ජාති යනු මෙම සංසිද්ධියයි. මෙවැනි දුකට හේතුවන මම ඇතිකරනා විඤ්ඤාණ වේගය ‘භවය සකස් කරනා විඤ්ඤාණය’යි. අප සියළු දෙනාම සෑම මොහොතකම පසුවන්නේ මෙම විඤ්ඤාණය තුලයි. එනම් භවය සකස් කිරිමකට තුඩුදෙන සමුදය ස්කන්ධ ස්වභාවය තුලයි. ඔබගේ මේ මොහොතේ සත්ව ස්වභාවය මෙයයි, එය භවය සකස් කරයි. අකුසලය යනු මෙම භවය සකස් කරනා ක්‍රියාවයි. සබ්බ පාපස්ස අකරණං – සියළුම භවය සකස්කරනා ක්‍රියා අකරණීයයි – නොකල යුතු ක්‍රියා ලෙස බුදුන්වහන්සේ හැඳින්වූ සේක.

සිහිය – යෝනිසෝ අයොනිසෝ මනසිකාරය

කෙසේ වෙතත් ඉහත සඳහන්:

  1. භාහිරය ආශ්වාද කිරීම (රාග) හෝ භාහිරයට වෛර කිරීම (ද්වේශ) (සුඛ හො දුඛ වේදනාව),
  2. ඒ නිසා භාහිරය බැසගැනීම නැතහොත් උපාදාන වීම නැතහොත් භාහිර වස්තුවට අගයක් එකතුවීම, නන්දිරාග සහගතව ගැනීම,
  3. ඒ නිසා මම ඇතිබවක් දැනීම (ජාතිය පහලවීම, ඉත්ථභාවය, අස්මිමානය, සක්කාය පහලවීම), 

ආදි පටිච්චසමුප්පාද ක්‍රියාවලියේ අවස්ථාවේ ප්‍රතිඵල ‘සිහියට’ හසුවෙයි.

එමෙන්ම පටිච්චසමුප්පාද ක්‍රියාවලියේ ඉහත ප්‍රතිඵල 3 හරහා හසුවන අවසන් ප්‍රතිඵලය (end result) වන ‘භවය සකස්වූවාද නැද්ද’ හෙවත් ‘මම හෙවත් සක්කාය ඇති වූ බව හෝ ඇතිනොවූ බව’ යන්න ‘සිහියට’ හසුවෙයි. 

‘සිහිය’ යනු විඤ්ඤාණයට (සිත, සිතුවිල්ල හෝ අරමුනට) සමගාමිව පවතින වෙනස් සංසිද්ධියකි. සිහිය තුල හමුවන්නේ පටිච්චසමුප්පාද ක්‍රියාවලියේ එක් එක් අවස්ථාවල ඇතිවන ප්‍රතිපලයයි.

‘සිහිය’ පටිච්චසමුප්පාද ක්‍රියාවලියේ ප්‍රතිඵල වන භාහිරයේ ආශ්වාදය, භාහිරය දෙයක් යමක් කෙනෙක්වන මායාකාරි ස්වභාවය හෙවත් භවය සකස්වීම හා මම ඉන්නාබව දැනෙනන ස්වභාවය සිහියට හසුවේනම් ඔබගේ සිහිය ‘යෝනිසො මනසිකාර’ යයිද, එසේ හසුනොවන සිහිය ‘අයෝනිසො මනසිකාරය’ යයිද හදුන්වමු.

භවය  සකස්වනවාද නැද්ද යන්න (එනම් මම ඉන්න බව දැනෙන හෝ නොදැනෙන ස්වභාවය) හඳුනාගන්නා චෙතසික මෙවලම (tool) ‘සිහියයි. සිත තුල පවතින සියළුම ස්වභාවයන් යෝනිසෝ මනසිකාර සිහියට හසුවිය යුතුය.

මතකය

පටිච්චසමුප්පාද ක්‍රියාවලියේ අවසන් ප්‍රතිපලය වන:

  1. ප්‍රසාද වූ භාහිර රූපය ආශ්වාදයක් දෙන සේ (දෙයක් යමක් කෙනෙක් ඇති සේ) ග්‍රහනය වූයේද, ආශ්වාදයක් නොදෙන සේ ග්‍රහනය වූයේද?, අවිද්‍යා සහගතව ග්‍රහනය වූයේද නැතහොත් ‘විද්‍යා සහගතව’ ග්‍රහනය වූයේද,
  2. එනම් ප්‍රසාදවූ භාහිර රූපය භවය සකස්වීමට උපකාරිවූ භාහිර රූපයක්ද නැද්ද’? ,
  3. ප්‍රසාද වූ භාහිර රූපය තුල එය විඳිනා මමසිටීද නැද්ද?,
  4. ප්‍රසාදවන භාහිර රූපය තුල ඇති මාන‘ (characters) මොනවාද 

යන්න ‘අනුශය තන්හාව’ ලෙස මතකයේ තැන්පත් වෙයි. 

නැවත වරක් එම භාහිර රූපයම සංකාර වනවිට විතක්ක විචාර වන්නේ පෙර අනුශය තන්හාව ලෙස මතකයේ තැන්පත්වන රූපයේ ස්වභාවයයි, එනම් එහි ගැබ්ව ඇති අවිද්‍යාව, භවය සකස් කරනා, ‘මමඇතිවන අත්ථ ස්වභාවයයි. මෙම ක්‍රියාදාමය චක්‍රීයව දිගින් දිගටම සිදුවන අතර ඒ නිසා සත්වයා (ඔබත් මමත්) දුක ඇතිකරන ‘සමුදය – උදය’ phase එකේ සිරවී සිටියි. ‘නිරෝධ – වය’ phase එක හමුනොවෙයි. 

note: මතකය යනු භෞතික සංසිද්ධියකි. එය මොලය හා සම්බන්දව පවතියි. රිය අනතුරක් වැනි අනතුරකට පත්වූවෙකුගේ මොලයේ අදාල ප්‍රදේශයට හානි වූ විටක. මතකය නැතිවී ගොස් විතක්ක විචාර කිරීමේ හැකියාව සහ සංකාරවීම අඩාල වෙයි. එවිට පෙර මතකය කැදවීමට (recall) නොහැකි වෙයි.

තුන් දොර

පටිච්චසමුප්පාද ක්‍රියාවලිය ස්වභාවික සංසිද්ධියකි. එය ස්වභාවධර්මයේ චිත්ත නියාමය අනුව සිඳුවෙයි. එම ක්‍රියාවලියට බාදා (interfere, interject) කලහැකි ජගතෙක් මෙලොව නැත.

නමුත් පටිච්චසමුප්පාද ක්‍රියාවලියේ end result එක වන ඉහත සඳහන් අනුශය තන්හාව මෙන්ම එහි output (ප්‍රතිදානය) එකක්ද ඇත. 

පටිච්චසමුප්පාදයෙන් භාහිරට විද්‍යාමාන (manifestation) වන output වන්නේ ‘තුන් සංකාරයයි – කාය (bodily function), වාචි (verbal function) හා මනෝ (mental function) සංකාරයයි. තුන් දොර ලෙස සද්ධර්මය තුල හමුවන්නේ මේ සංකාර තුනයි.

භාහිර ඇති රස ආහාරයක් ප්‍රසාදවන විට ඇතිවන ආශ්වාදය, භවය සකස් වීම හා මම – සක්කාය පහලවීම නිසා එය අනුභව කිරීමට මනෝ සංකාරයක්  ඇති වෙයි. එම ආහාරය පහසුවෙන් ලබාගත හැකිනම් කාය (ක්‍රියාව) සංකාරයෙන් එය ලබාගෙන අනුභව කරයි. තමා අසල සිටිනා අය සමඟ එහි ඇති රසය බෙදාගනියි (වචී සංකාරය). රස ආහාරයක් පටිච්චසමුප්පාදවී (අරමුනක් වී) ඉහත සඳහන් තුන් සංකාර ක්‍රියාවලිය ප්‍රතිදානයක් (output) සේ පහසුවෙන් සිදූවෙයි.

එම රස ආහාරය ලබාගැනීම කුමන හෝ හේතුවක් නිසා අපහසු යයි සිතමු. එවිට එම ආහාරය කෙරෙහි ඇති ආශාව මනෝ සංකාරයෙන් අතහරියි. කලින් එම ආහාරය අනුභව කලා වෙනුවට දැන් කාය සංකාරයෙන් අනුභව නොකර සිටිමට උත්සාහකරයි. ආහාරය ලබාගැනීමට සීමාවන් පැනවී ඇති බැවින් අසල සිටින්නන් සමඟ තමාට එම ආහාරය ගැන බෙදාගැනීමට හෝ වර්ණනා කිරීමට හෝ දෙයක් නැත. එනම් වචී සංකාරයට සීමාවන් පැනවී ඇත. මෙසේ තුන් දොර තුල එනම් කාය වචී හා මනෝ සංකාර පාලනය කල හැකි අතර ඒවා ‘ආශ්වාදයක් නොදෙන’ (භවය සකස් නොවන සේ) පිලිවෙතක පවත්වා ගැනීම ‘අනාර්ය අටපිලිවෙතින් මිදීම’ හෙවත් ‘ආර්ය අට පිලිවෙතට අනුගත වීම’ නැතහොත් පටිසෝතගාමය යි. ‘සීලබ්බත පරාමාස’ යෙන් මිදීම යනුද මෙසේ ‘භවය සකස් නොවන, මම ඇති නොවන’ දිවි පෙවතකට (අට පිලිවෙතකට-අශ්ඨාංගික මාර්ගයකට) අනුගත වීමයි.

පටිච්චසමුප්පාදය තුල ඇතිවන සිත නොහොත් විඤ්ඤාණය පාලනය කල නොහැකි වුවත් එහි ප්‍රතිදානය (output) වන තුන් දොර හෙවත් කාය, වචී හා මනෝ සංකාර හරහා එම සිතුවිලි ප්‍රවාහය වක්‍රව (indirectly) පාලනය කල හැකිය. විපස්සනාව යනු මෙම ක්‍රියාවලියේම දිගුවකි.

රස ආහාරයක රසයක් ඇති බව මිස එහි ආශ්වාදයක් හෝ එය දැනෙන මමක් නැතිබව ඔබට මනෝසංකාර කල හැකිනම් ඔබ භවය සකස් නොකරයි. බුදුන්වහන්සේ බාහිය දාරුචීරට දුන් උපදෙස මෙයයි. ‘මුතෙ මුතමත්තං භවිස්සති – රසයක් මිස රසරාගයක් හෝ රසවිදින්නෙක් නැත’.

ආහාරයේ රසය ඔබ වර්ණනා නොකරයි නම් ඔබ වචී සංකාරය පාලනය කලේ වෙයි. එවිට ඔබ භවය සකස් නොකරයි.

රසය පිලිබඳව රාගයක් දිවට නොදැනී ඔබ ආහාරය වලඳයි නම් ඔබගේ කාය සංකාරයද භවය සකස් නොකරනා පරිදි පාලනය කලේ වෙයි.

මෙසේ ඔබට භවය සකස් කරනා විඤ්ඤාණය භවය සකස් නොකරනා විඤ්ඤාණයකට තුන් දොර (තුන් සංකාර) හරහා පරිවර්තනය කල හැකියි. 

දැන් ඔබට එම ආහාරයම (භාහිර රූපය) නැවත හමුවනවිට පටිච්චසමුප්පාද වන්නේ රස රාගයෙන් තොර භවය සකස් නොවනා ආහාරයකි.

සති දෙකකට වරක් whatsapp හරහා ඉරිදා දින ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදේ 9 සිට 10.30 දක්වා පැවැත්වෙන ධර්ම සාකච්චාවට ඔබටත් සහභාගිවිය හැකියි. ඊලඟ ධර්ම සාකච්චාව ජූලි 07වන ඉරිදා පැවැත්වෙයි. ඒ සඳහා ඔබගේ whatsapp අංකය පහත සඳහන් ඉමේල් ලිපිනයට යොමුකරන්න.

ඔබට තෙරුවන් සරණයි

තිස්ස ගුණතිලක

tgunite@tpg.com.au

2024 ජූලි මස 04 වනදා

Sent from Tissa’s Phone

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress