ධම්ම කරුනු – සිව්වන කොටස අපට හසුවන ලෝක දෙක
Posted on July 9th, 2024

තිස්ස ගුණතිලක

අප සියළු දෙනාම ලෝක දෙකක ජීවත් වෙමු.

1. භාහිරව භෞතිකව පවතින ලෝකය හෙවත් ස්වභාවධර්මය හා

2. ඉහත සඳහන් භාහිර ලෝකය විෂය කරගෙන විඤ්ඤාණමායාව තුල අපි එකිනෙකා වෙනවෙන තමතමන්ට ආවේනික ලෙස සකස්කරගත් ‘මගේ’ ලෝකයයි. සංඛාර හරහා පෙරමතකය විමසීමෙන් (විතක්ක විචාර කර) සකස්කර ගන්නා මගේ ලෝකයට ‘සංඛතය’ හෙවත් having been ‘formed’ ලෝකය ‘මගේ ලෝකය’ ලෙසද හඳුන්වමු. 

කෙසේ වෙතත් භෞතිකව පවතින්නේ එකම එක ලෝකයකි. ස්වභාවධර්මය යනු එම ලෝකයයි. එයට ‘අසංඛතය – අසංඛත ධාතුව’ (not having been formed – මනසතුල සංකාර ලෙස සකස් නොවූ යන අර්ථය මෙහි වෙයි) යයි තවත් හදින්වීමක් සද්ධර්මය තුල හමුවෙයි. අපි දැනට එය භාහිර ලෝකය නැතහොත් ස්වභාවධර්මය ලෙස හඳුන්වමු. එම භාහිර ලෝකය අපෙන් ස්වයත්තව පවතී. අප එම භාහිර ලෝකය තුල සිටිනා ‘තවත්’ ජීවියෙක් පමනි. එම භාහිර ලෝකයේ සීමාව ප්‍රසාරනය හෝ සංකොචනයට යටත්ව පවතින විශ්වයයි. එය තමා ඇති එකම reality එක නැතහොත් යථාභූත ස්වභාවය වන්නේ. අප කිසිදාක දැක හෝ විඳ නැති මෙම භාහිර ලෝකය නැතහොත් ස්වභාවධර්මය, reality යථාභූත ලෝකය විදින්නේ පංචේන්ද්‍රියන් හරහා විඤ්ඤාණමායාවට හසුකරගෙන මගේ ලෝකය ලෙසයි. එනම් භාහිර ලෝකයේ ස්වභාවය යයි අප එකිනෙකා දකින්නේ එකම භාහිරය නොවේ. ඒ නිසා අප කිසිවෙක් භාහිරව පවතින යථාභූත ලෝකය හෙවත් reality එක හෙවත් ස්වභාවධර්මය කිසිදාක දැක හෝ විඳ හෝ නැත. 

නිවන පවතින්නේ කොහේද?

‘නිවන’ යන ස්වභාවය පවතින්නේ මෙම භාහිර ලෝකය නැතහොත් ස්වභාවධර්මය (reality) තුලයි. නිවන යන්න චෛතසිකය හෙවත් සිත හෙවත් මගේ ලෝකය තුල පවතින්නක් නොවෙයි. නිවන යනු සිතතුල පවතින අවස්ථාවක් නම් එය එකිනෙකාට අනුව වෙනස්විය යුතුය. නිවන, අවබෝධකරගත් සියළුම දෙනාගේ සිහියට  නිවන දැනෙනනේ එකම ආකාරයක ස්වභාවයක් ලෙසයි. එහෙම නම් එය චෛතසිකය තුල පවතින්නක් විය නොහැකි අතර පැවතිය හැකි අනෙක් හා එකම තැන ස්වභාවධර්මය යන යථාභූත reality එක තුලයි.

නිවන අවබෝධ කරගැනීමට නම් ස්වභාවධර්මය තේරුම්ගත යුතුය. කිසිදා දැක හෝ විඳ හෝ නැති ස්වභාවධර්මය තේරුම්ගන්නේ කෙසේද?

බුදුන් දුටු නිවනේ ස්වභාවය

ස්වභාවධර්මය තේරැම්ගතහැකි එකම හා පහසුම විදිහ නිවන අත්දුටු රහතන්වහන්සේ කෙනෙකුගෙන් හෝ බුදුන්වහන්සේ දේශනාකල සද්ධර්මය ඇසුරෙන් පමනි. නිවන් අවබෝධය තුල ප්‍රතිලාභ රුසකි. එක් ප්‍රතිලාභයක් තමයි මේ ස්වභාවධර්මය හා එය ක්‍රියාකරන අන්දම මනාව පසක්කර සහශුද්ධ ලෙස දැකීම. මම ඇති සේ දැනීම හෙවත් සක්කාය මුළුමනින්ම ප්‍රහානය කලවිට ස්වභාවධර්මය සුවිශද්ධ ලෙස දකී. බුදුන්වහන්සේ ‘සුවිසුද්ධං’ ලෙස හැදින්වූයේ මෙම ස්වභාවයයි. බුදුන්වහන්සේ දේශනාකල සද්ධර්මය තුල ස්වභාවධර්මය මොනවට පැහැදිලිකර ඇත. 

ස්වභාවධර්මය තේරුම් ගන්නගන්න ඔබ නිවනට ලාඟාවෙයි. මක්නිසාදයත් නිවන යනු ස්වභාවධර්මයම බැවිනි. එසේනම් නිවනට කිට්ටු වීමට සද්ධර්මය තුල අන්තර්ගත ස්වභාවධර්මය පිලිබඳ ඇති කරුනු එකිනෙක හැදෑරිය යුතුය. 

සද්ධර්මය තුල බුදුන්වහන්සේ විවිධ අර්ථ දැක්වීම් (definitions) ඉදිරිපත්කර ඇත. උදාහරනයක් ලෙස බුදුන්වහන්සේ සද්ධර්මය තුල ‘සත්වයා’ හඳුන්වන්නේ ‘ස්කන්ධය’ ලෙසයි. එක් මොහොතක හටගන්නා ස්කන්ධය ඒ මොහොතේ පවතින සත්ව ස්වභාවය පැහැදිලිකරයි. 

අංගුලිමාල සූත්‍රය මෙයට ඇති හොදම උදාහරනයයි. අංගුලිමාල තෙරනුව දිනක් පිඬුසිඟා වඩිනා කල තරුණියක් ප්‍රසව වේදනාවෙන් සිටිනු දැක ඇයව එම වේදනාවෙන් ගලවාගනු සිත් ඇතිව බුදුන්වහන්සේ හමුවට පැමින කුමක් කල යුතු දැයි විමසනවා. එවිට බුදුන්වහන්සේ අංගුලිමාලට ඇය අසලට ගොස් සත්‍යයක් ක්‍රියාවක් කරන ලෙස පවසනවා. ඇයට කියන්න ‘මම උපන් තැන් පටන් දැන දැන සතෙකුගේ දිවි තොර නොකලෙමි. ඒ සත්‍යයේ බලයෙන් ඔබට සෙත්වේවා, දරුගැබට සෙත්වේවා’. 

යතෝහං භගිනි ජාතෝ, නභිජානාමි සඤ්චිච්ච පණං ජීවිතා වොරොපෙතා

තෙන සචේචන සොත්ථි තෙ හොතු, සොත්ථි ගබ්භස්සා’ති.

භගිනි – නැඟණිය, 

යතෝහං ජාතෝ – උපන්තැන් පටන්

පණං ජීවිතා වොරොපෙතා – දිවි තොර කිරීමක්

නභිජානාමි සඤ්චිච්ච – දැන දැන නොකෙලෙමි.

තෙන සචේචන – එම සත්‍යය හේතු කොට ගෙන

සොත්ථි තෙ හොතු – ඔබට සෙත් වේවා

ස්වාමිනි මම එය මුසාවාදයක් කිමක් බව දනිමි. ‘සම්පජාන මුසාවාදො භවිස්සති’. මා විසින් බොහෝ ප්‍රාණගාත කලබව දනිමි. ඒ නිසා එය මට කලනොහැක.

එසේනම් එම ස්ත්‍රියට මෙසේ කියව. ‘ මා ආර්ය ජාතියේ උපන්නාට පසුව (පැවිද්ද ලැබ සෝතාපන්නයට පිවිසුන පසු) කිසිවෙකුගේ දිවි තොර නොකලෙමි. එම සත්‍යය හේතු කොට ගෙන ඔබට සෙත් වේවා. මෙම වදන ගැබිනියට පැවසූ පසුව ඇයගේ ප්‍රසව වේදනාව පහවගිය බව ධර්ම ග්‍රන්ථවල සඳහන්වෙනවා.

බුදුන්වහන්සේ අංගුලිමාලට පෙරවදන පැවසුවේ ඔහු මිනිමැරූ බව නොදැනද? සත්වයෙකුගේ දිවිතොර කරනාවිට තිබූ ස්කන්ධය ඊලග මොහොතේ නොපවතියි. ඊලඟ මොහොතේ පවතින්නේ පෙර පැවති සත්වයා හෝ පෙරපැවති ස්කන්ධය හෝ නොවේ. කෙසේ වෙතත් දැන් බුදුන්වහන්සේ හමුවේ සිටින්නේ අංගුලිමාල නම්වූ ‘තෙරණු ස්කන්ධය’ මිස කලකට පෙර මිනීමැරූ සත්වයා හෝ මොහොතකට පෙර සිටි සත්වයාද ස්කන්ධයද නොවෙයි. ඒ නිසා මේ මොහොතේ සිටිනා සත්වයා ‘පෙර නොතිබීම’ හටගත් ස්කන්ධයකි. එම ස්කන්ධය පෙර ක්‍රියාවන්ට සම්බන්ද නැති නව ස්කන්ධයකි (brandnew). බුදුන්වහන්සේ පෙරවදන එනම් ප්‍රාණගාතයක් නොකල සත්‍ය ක්‍රියාව පවසන්නේ මෙම සත්වයා අර්ථදක්වන ස්කන්ධයේ අර්ථයෙනි.

පසුදිනක ඉහත සඳහන් ස්කන්ධයේ වෙනස්වීම හා මේ මොහොතේ පවතින්නේ පෙර නොපැවති ස්කන්ධයක්ය යන ධර්මතාවය අවබෝධ කරගත්‍ සෝතාපන්නව සිටි අංගුලිමාල ස්තිවිරයන් අර්හත්තයට පත්විය.

පසුකලෙක මෙම සංවාදය පසුපස පවතින ස්කන්ධ ස්වභාවය (පෙර නොතිබීම ගටගත් ස්කන්ධය) සවනට වැටීමෙන්,  දැනගැනීමෙන් හා මෙනෙහි කිරීමෙන් (සත්‍යක්‍රියාව තුල ඇති අදෘශමාන බලයකින් නොවේ) ගර්භිනී මාතාවකගේ සිත තුල යම්කිසි සැහැල්ලුවක් ඇතිවිය හැකිබැවින් එය ගැබිනි මාතාවන් වෙනුවෙන් දේශනාකරන සූත්‍රදේශනාවක් බවට පත්විය.

බුදුන්වහන්සේ සත්වයා හැදින්වූයේ (defined) ස්කන්ධයක්‍ ලෙසය.

බුදුන්වහනසේ දේශනාකල සද්ධර්මය තුල විවිධ අර්ථ දැක්වීම් ඇති බවට උදාහරනයක් ලෙසයි ඉහත සඳහන් අංගුලිමාල දේශනාව ඉදිරිපත් කලේ.

ඒ වගේම බුද්ධදේශනාව තුල ස්වභාවධර්මය පිලිබඳ තවත් අර්ථ දැක්වීම් කිපයක්ම හමුවෙයි. 

ස්වභාවධර්මය පිලිබද ප්‍රභලම අර්ථ දැක්වීම තිලක්ෂණය හා ස්වභාවධර්මය හසුරවන නියාම පහයි.

සබ්බේ සංඛාරා අනිච්චාති

සබ්බේ සංඛාරා දුකිඛාති

සබ්බේ ධම්මා අනත්තාති

මෙහි හමුවන ‘සංඛාරා’ හා ස්කන්ධය තුල හමුවන ‘සංඛාර’ එකිනෙකට විරුද්ධ අර්ථ ඇතිබව පමනක් සිතටගන්න. සංඛාරා යනු ‘අසංඛතය’ හෙවත් ස්වභාවධර්මය තුල පවතින සියළුම දේ හැඳන්වීමට යෙදෙයි. මේවා ‘මගේ ලෝකය’ හෙවත් සියල්ල ‘සංඛාර’ කර මනසේ සාදාගන්නා නාම ධර්ම වලින් වෙනස්වු එලියේ පවතින ‘මෙලෝ රසයක් නැති’ යථාභූත (reality) ස්වභාවයයි.

බුදුන්වහන්සේගේ අර්ථදැක්වීමට අනුව ස්වභාවධර්මය ‘සබ්බේ සංඛාරා අනිච්චාති’ ය. සියළුම අසංඛතයන් (සබ්බේ සංඛාරා) නන්දියක් නැති ආශ්වාදයක් (හෝ වෛරයක්, ගැටීමක්) නැති ස්වභාවයක පවතියි (අනිච්චාති). භාහිර විෂයවන අසංඛත වස්තුවක නන්දියක් හෝ ආශ්වාදයක් ඇතිවන්නේ විඤ්ඤාණ මායාව තුල සකස්වන (having been formed) සිත හෙවත් විඤ්ඤාණය තුලයි. දූරියන් ගෙඩියක ආශ්වාදය එම දූරියන් ගෙඩිය තුල නොපවතින අතර එහි ආශ්වාදය කෙනෙක්‍ තම විඤ්ඤාණය තුල සකස්කර ගනී (formed – පෙරමතකය හා සංඛාරකර විඤ්ඤාණය තුල සකස්වෙයි). තවත් කෙනෙක් දූරියන් ගෙඩියට වෛර කරයි. එම වෛරී ස්වභාවය දූරියන් ගෙඩිය තුල නොපවතින අතර එම ස්වභාවය තම සිත තුල පෙරමතකය නිසා සකස්කර ගනී (formed).

සබ්බේ සංඛාරා අනිච්චාති යනු දූරියන් ගෙඩියතුල ආශ්වාදයක් හෝ වෛරී ස්වභාවයක් (රාග ද්වේශ සහගත ස්වභාවයක් හෙවත් නන්දියක්) නොපවතින බවයි – බුදුන්වහන්සේගේ ස්වභාවධර්ම අර්ථ දැක්වීම අංක 1.

දූරියන් ගෙඩිය තුල ආශ්වාදයක් හෝ වෛරී ස්වභාවයක් නොපවතින බැවින් එහි ගතයුත්තක් නැතැයිද එය හිස්, ශුන්‍ය ස්වභාවයක පවතිනබව දෙවන ස්වභාවධර්ම අර්ථ දැක්වීමයි – සබ්බේ සංඛාරා දුක්ඛාති. ‘දුක්ඛ’ යනු අනිච්චතාවය තුල පවතින හිස් ශුන්‍ය බවයි.

යමක් අනිච්ච නම් (ආශ්වාදයක් හෝ වෛරී බවක් ගෙන නොදේනම්) එහි පවතින්නේ ගතයුත්තක් නැති ශුන්‍යතාවයකි. එසේ නම් ශුන්‍යවූ එවැන්නක් ‘මම මගේ යයි’ ගැනීමට සුදුසුද? මේ බුදුන්වහන්සේගේ තෙවන ස්වභාවධර්මය පිලිබඳ අර්ථ දැක්වීමයි. ‘සබ්බේ ධම්මා අනත්තාති’. මේ කියන්නේ ‘මම’ හෙවත් සක්කාය ප්‍රහීන කරනා දැක්ම නොවේද?

රූපං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ’’. 

‘‘යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’’ති? ‘‘දුක්ඛං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං ……. ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’.

ස්වභාවධර්මය දැනගන්න දැනගන්න අපි ස්වභාවධර්මයට කිට්ටුවෙමු. එනම් නිවනට කිට්ටුවෙමු. හරියට අපට හමුවන කෙනෙක් ගැන ඔහුගේ හෝ ඇයගේ ස්වභාවය දැනගන්න දැනගන්න ඔහුට හෝ ඇයට කිට්ටුවීමට ඇති හැකියාව ඇතිවනවා වගේ. ස්වභාවධර්මය ගැන දැනගන්න බුදුන්වහන්සේගේ දේශනාව හැර වෙනත් ක්‍රමයක් නැත.

ස්වභාවධර්මය හසුරවය නියාමන 5

තවද බුදුන්වහන්සේ ස්වභාවධර්මය හැසිරෙන ආකාරය (behavior) නියාමන පහකික් පැහැදිලි කලා. 

1 සෘතු නියාමය

2 බීජ නියාමය

3 කම්ම (ක්‍රියාව) නියාමය (උදා: ඇස ඇරීමේ, කණ ඇරීමේ ක්‍රියා නිසා දිට්ඨ, සුත වෙයි).

4 චිත්ත නියාමය (කම්ම නියාමය හේතුව වී චිත්තය හෙවත් පටිච්චසමුප්පාද ක්‍රියාවලිය හෙවත් සිත/විඤ්ඤාණය හටගනි).

5 ධම්ම නියාමය (සියළුම ධර්මතාවයන් උදා සුලඟ හැමීම, ජලය ගැලීම ආදිය) මෙම නියාමයට යටත්ව සිඳුවෙයි.

ඉහත සඳහන් අර්ථ දැක්වීම් තුන (තිලක්ෂණය) හා පහ (නියාමන පස) තුලින් ස්වභාවධර්මයේ යථා ස්වභාවය අපට හසුකරගත හැකිය.

තවදුරටත් ස්වභාවධර්මයතුල ජීවියාගේ විකාශණයද බුදුන්වහන්සේ ‘වත්ථුනානත්ත ඤාණ නිද්දේසය’ තුල අර්ථ දක්වා ඇත්තේ මෙසේය:

අහුත්වා(නං) සම්භුතා හුත්වා න භවිස්සති. 

අහුත්වා – from non existance

සම්භුතා – arisen

යමක් (ජීවියා, ශාකයක්) පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතිවම නිරුද්ධ වෙයි.

මව් කුසෙන් ඉපදෙන ජීවියා පෙර නොතිබීම මව සහ පියාගේ එකතුවීම ප්‍රත්‍ය කොටගෙන පමනක් හටගත්තකි. යම් දිනක එම ජීවියා කිසිවක් ඉතුරු නොකොට සතරමහා භූත සමඟ එකතුවෙයි. 

පැලෑටියක් එම පැලෑටිය අයත් බීජයකින් හා පොලවේ උචිත තෙතමනය, ලවන හා වාතාශය හිරු එලිය ආදී ප්‍රත්‍යයන්ගෙන් පෙර නොතිබීම හටගත්තකි. එම පැලෑටිය මහා වෘක්ෂයක්වී කිසිවක් ඉතිරි නොකොට දිනෙක පොලවට නැතහොත් සතරමහා භූත ස්වභාවය හා එක්වෙයි. මෙම ධර්මතාවයයි බුදුන්වහන්සේ ‘අහුත්වා(නං) සම්භුතා හුත්වා න භවිස්සති’ යන අර්ථ දැක්වීමෙන් අපට කියාදෙන්නේ.

සම්මත ලෝකය

සම්මත ලෝකය යනු කිසිවක් භාහිරයේ හමුනොවෙයි. සම්මත ලෝකය හමුවන්නේ ‘අපේ ලොක’ අයත්වන චෛතසික තලයට භාහිරව පවතින තවත් චෛතසික තලයකය. එනම් යම්කිසි භාහිර රෑපයක ප්‍රතිබිම්භය සාදන පටිච්චසමුපාද ක්‍රියාවලිය ‘මවනා’ රූප එකිනෙකා සංකාර කරන්නේ තමතමන්ට ආවේනිකවූ පෙරමතකයේ සටහන්ව ඇති ආකාරයටයි. මේවා කෙනෙකුගන් තවත් කෙනෙකුට වෙනස්ය. නමුත් යම්කිසි පරාසයක් තුල (as a norm – සාමන්‍යකරනය) සෑම දෙනාම තුලම යම්කිසි භාහිර වස්තුවක් විෂයෙහි ඇතිවන රූප එක්තරා ස්වභාවයකට සාමාන්‍යකරනය කලහැකිය. එනම් එක්තරා පරාසයක් තුලට (එකම norm එකක් තුලට) ගොනුකල, ලඝුකල හැකිය. උදාහරනයක් ලෙස භාහිරව පවතින අඹගස එක් එක් කෙනාට සංකාරවන්නේ විවිධ අඹගස් ලෙස වුනත් ඒවා එක්තරා පරාසයක් තුල එකට ගොනුකර සැමටම එකඟවිය හැකි අඹ ගසක් නිර්මාණය කල හැකිය.

මෙසේ සැමට එකඟවිය හැකි පරිදි, පවතින සෑම වස්තුවක්ම අයත්වන්නේ “සම්මත ලෝකයටයි’. එවැනි සම්මත ලෝකයක් පවතින්නේ ‘මගේ ලෝකයට’ පරිභාහිරව වෙනත් චෛතසික තලයකයි.

සති දෙකකට වරක් whatsapp හරහා ඉරිදා දින ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදේ 9 සිට 10.30 දක්වා පැවැත්වෙන ධර්ම සාකච්චාවට ඔබටත් සහභාගිවිය හැකියි. ඊලඟ ධර්ම සාකච්චාව ජූලි 14වන ඉරිදා පැවැත්වෙයි. ඒ සඳහා ඔබගේ whatsapp අංකය පහත සඳහන් ඉමේල් ලිපිනයට යොමුකරන්න.

ඔබට තෙරුවන් සරණයි

තිස්ස ගුණතිලක

tgunite@tpg.com.au

2024 ජූලි මස 10 වනදා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress