ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් විදේශ විනිමය උපයන ආදායම් මාර්ගවලට යොමුවිය යුතුයි. ඒ සඳහා රජයේ වැඩි අවධානයක් යොමුව තිබෙනවා….-         අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
Posted on July 19th, 2024

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා නාමය ලොවට ගෙනයන අනාගත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කුසලතා ඔප් නංවන භූමියක් බවට නාවින්න පොදු ක්‍රීඩාංගනය නිසැකයෙන්ම පත්වනු ඇතැයි  අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ නාවින්න පොදු ක්‍රීඩාංගනයේ පේක්ෂකාගාරයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිණි.

පසුගිය කාලයේ ප්‍රදේශයේ අපද්‍රව්‍ය ඉවතලන ස්ථානයක් බවට පත්ව තිබූ මෙම භූමිය ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම මත ක්‍රීඩා පිටියක් බවට පත්කෙරුණේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ මග පෙන්වීම යටතේයී.

මහරගම විද්‍යාකර විද්‍යාලය, ජනාධිපති විද්‍යාලය, බුවනෙකබා විද්‍යාලය, මහරගම මධ්‍ය මහා විද්‍යාලය සහ ප්‍රදේශයේ යෞවන සමාජ, ක්‍රීඩා සමාජ ඇතුළු බොහෝ පිරිසක් ක්‍රීඩා කුසලතා ඔප් නංවා ගැනීම සඳහා මෙම ක්‍රීඩාපිටිය භාවිතා කළද ක්‍රීඩාංගනයට පේක්ෂාකාගාරයක් නොවීම මහත් අඩුපාඩුවක් විය.

ක්‍රීඩාංගනයේ පැවැති එම අඩුපාඩුව සපුරාලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස අග්‍රාමාත්‍යවරයාටත්, යදාමිණි ගුණවර්ධන මහතාටත් හිමි ප්‍රතිපාදන යොදවා පේක්ෂකාගාරය ඉදිකිරීම ඇරඹූ බවද මෙහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

අද ජාත්‍යන්තර ක්‍රීඩා පිටියක් බවට පරිවර්තනය වී ඇති සුගතදාස  ක්‍රීඩාංගනය ද කලක් මෙවැනිම අපද්‍රව්‍ය ඉවත ලූ ස්ථානයක් බව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ පියවරෙන් පියවර නිසි සැලසුමකට අනුව සුගතදාස ක්‍රීඩාංගනය සකස් කළ ආකාරයට නාවින්න පොදු ක්‍රීඩාංගණයද මහරගම ප්‍රදේශවාසීන්ගේ ක්‍රීඩා කෞශල්‍ය ඔප් නංවන භූමියක් බවට පත් කරන බවයි.

අනතුරුව තලවතුගොඩ බහුවිධ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වූ අග්‍රාමාත්‍යවරයා අඩු වියදමින් වැඩි නිශ්පාදනයක් කළ හැකි කෘෂිකාර්මික භාණ්ඩ විවිධත්වයකට පරිවර්තනය කර  අපනයනය කිරීම හරහා විදේශ විනිමය ඉපයීමේ වැඩපිළිවෙළ කෙරෙහි රජය වැඩි අවධානයක් යොමු කරන බව පැවසිය.  

බහුවිධ කාර්ය මධ්‍යස්ථානය ඉදිවීම හා විදේශ විනිමය ඉපයීමේ වැඩපිළිවෙළ අදියරෙන් අදියර සාර්ථකත්වයට පැමිණීමත් සමඟ නුදුරේදීම, තලවතුගොඩ නොනිදන නගරයක් බවට පත්වනු ඇතැයි විශ්වාස කරන බවද ඒ මහතා අවධාරණය කළේය.  

මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, මහරගම ප්‍රාදේශීය ලේකම්, මහරගම නාගරික ලේකම් ඇතුළු රාජ්‍ය  නිලධාරීන් සහභාගී වූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress