මාධ්‍යවේදීන් ඉලක්ක කර මාලිමාවේ නායකයන් සිදුකරන ෆැසිස්ට් පන්නයේ ප්‍රකාශ දැඩි පිළිකුලෙන් හෙළා දකිනවා – ජානිපෙ දේශපාලන මණ්ඩලය
Posted on July 23rd, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

ජාතික ජන බලවේගයේ ඇතැම් නායකයන්, මාධ්‍යවේදීන් අරභයා සිදුකරනු ලබන “ෆැසිස්ට් පන්නයේ ප්‍රකාශ” දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය පවසයි. 

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මෙසේ ද සඳහන් කරයි,

“ඉදිරි මැතිවරණයකදී බලය තමුන් සතුවේ යැයි සිතා ජාතික ජන බලවේගයේ ඇතැම් නායකයන්, මාධ්‍යවේදීන් අරභයා සිදුකරනු ලබන “ෆැසිස්ට් පන්නයේ ප්‍රකාශ” ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය ලෙස දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු.

උදේට රූපවාහිනී නාලිකාවල “පත්තර කියවන හඩ්ඩලාට” ඉදිරි මැතිවරණයෙන් පසු රට පැනීමට ඉඩ නොතබන බවත් රට පැන්න ද එම රටවල සිටින මාලිමාවේ පිරිස් ඔවුන් ගැන බලාගනු ඇති බවත් පවසමින් චමුදිත සමරවික්‍රම සහ හඩ්සන් සමරසිංහ යන මාධ්‍යවේදීන් ඉලක්ක කොට ගනිමින් මුලින්ම මෙසේ ෆැසිස්ට් පන්නයේ ප්‍රකාශයක් සිදු කරනු ලබන්නේ ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතාය.

එසේම තමන් සිදු කරනු ලබන ප්‍රකාශ සම්බන්ධයෙන් චමුදිත සමරවික්‍රම මහතාට ඉදිරියේදී ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට අනතුරු අඟවන්නේ ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, ජාජබ විධායක සභික කේ. ඩී. ලාල්කාන්ත මහතාය.

ජාතික ජන බලවේගයේ පමණක් නොව ඕනෑම දේශපාලන පක්ෂයක නායකයන් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් හෝ ඔවුන්ගේ ඇතැම් ක්‍රියාකාරකම් පිළිබඳව හෝ  ප්‍රජාතන්ත්‍රවාදීව ප්‍රශ්න කිරීම, ඒ ප්‍රකාශ පිළිබඳව පොදු ජනතාව දැනුම්වත් කිරීම, සමාජය තුළ ඒ පිළිබඳව පුළුල් සංවාදයක් මතු කිරීම මාධ්‍යවේදීන් සතු අයිතියකි. එහෙයින් ජාතික ජන බලවේගයේ නායකයන් මෙසේ කුපිත වීම, මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම හා ඔවුන්ගේ ජීවිත අවදානමට පත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන කිසිවෙකුටත් අනුමත කළ නොහැක. ජාතික ජන බලවේගයේ නායකයන්ගේ  “මාධ්‍යවේදීන් අරභයා වන ෆැසිස්ට් පන්නයේ ප්‍රකාශ” යළි යළිත් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර මෙකී මාධ්‍යවේදීන්  බියගැන්වීමේ නින්දිත ක්‍රියාදාමය ලත් තැනම ලොප් කිරීමට පෙරමුණ ගන්නා ලෙස ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු ජනකොටස් වෙතින් ඉල්ලා සිටින්නෙමු.”

දේශපාලන මණ්ඩලය,
ජාතික නිදහස් පෙරමුණ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress