ධම්ම කරුනු – පස්වන කොටස මුළු විශ්වයේම පවතින නන්දියක් නැති ස්වභාවය ශුන්‍යතාවයයි-ස්කන්ධ පරාසය – spectrum of five aggregates
Posted on July 25th, 2024
තිස්ස ගුණතිලක
මගේ ලෝකය හෙවත් සංඛතය සකස්වන හැටිබලමු. මගේ ලෝකය සකස්වන්නේ මූලිකවම ස්වභාවධර්ම නියාමන දෙකක් නිසයි. එකක් කම්ම නියාමය. එනම් ඇස ඇරිය වහාම භාහිර ලෝකය තුලින් එන වර්ණ රූපය ඇස හා ගැටෙයි – පටිච්චවෙයි. කණ ඇරිය වහාම භාහිරයේ පවතින ශබ්ධ රූපය කන්බෙරය මත පතිත වෙයි. කන වැසූවිට එය නොවෙයි. ඇස ඇරීම හෝ වැසීම, කණ ඇරීම හෝ වැසීම නිසා අදාල රූපය අදාල ඉංද්‍රිය හා ස්පර්ශවීම හෝ නොවීම ස්වභාවධර්ම නියාමයක් වන ‘කම්ම නියාමය’ට අනුව සිඳුවෙයි. ශරීරයේ නිර්වින්දනය වී ඇති ප්‍රදේශයට සීතල, උනුසුම, තදගතිය නොදැනෙයි. නිර්වින්දනය නැතිවුන වහාම පොට්ඨබ්බ වේදනාව – feeling දැනෙයි.
එලියෙ තියෙන තවත් කතාවක් තමයි (මේවට ධර්ම කියලා කීවහම ඒක සත්‍යධර්මයට කරන අගෟරවයක් ඒකයි මම කතන්දර කියල කිව්වෙ) මේ ස්පර්ශය සිද්ධවෙන්නෙ පෙර කල ක්‍රියාවක විපාකයක් හැටියට කියලා. මේක නොකියපු දේශකයෙක් නැතිතරම්. ඔය ස්පර්ශය ඒ කියන්නේ භාහිර රූපයක අංශු තරංග අදාල පංචේන්ද්‍රියේ ගැටෙන්නෙ විපාකයක් හින්ද නෙමෙයි, ඒක සිද්ධවෙන්නෙ ස්වභාවධර්ම නියාමයක්වන ‘කම්ම නියාමයට’ අනුවයි. මෙතන කම්ම කියන්නෙ කර්මය නෙමෙයි. ස්වභාවික ක්‍රියාවයි.
එසේ පටිච්චවන භාහිර රූපය ස්කන්ධ–පටිච්චසමුප්පාද ක්‍රියාවට භාජනය වෙලා විඤ්ඤාණ වේගය ඇතිකරන අතර එම වේගය තුල ආශ්වාද ජනක ‘මගේ ලෝකය’ සකස්කරයි. මෙය ස්වභාවධර්ම නියාමයක් වන ‘චිත්‍ත නියාමයට’ අනුව සිඳුවෙයි.
බුදුන්වහන්සේ ‘චක්ඛුංච පටිච්ච රෑපේච චක්ඛුවිඤ්ඤාණං‘ යනුවෙන් දේශනාකලේ මෙම කම්ම හා චිත්ත නියාම අනුව සිඳුවන ස්වභාවධර්ම ක්‍රියාවලියයි.
කොම්පියුටරය ක්‍රියාත්මක වන්නේ 0 සහ 1 වල වෙනස්වීම නිසයි. එවගේ සිත ක්‍රියාත්මකවන්නේ සංඥා විපරිනාමය නිසයි. කොම්පියුටයේ language එක 0 සහ 1යි. ඒ වගේ චිත්තයේ චෛතසිකයේ language එක සංඥාවයි.
එසේනම් මගේ ලෝකය නැමති මායාව – delusional world සකස්කරන ක්‍රියාවලියද ස්‍වභාවධර්මයටම අයත් ස්වභාවධර්ම ක්‍රියාවලියකි. භාහිර ලෝකයේ පවතින ආශ්වාද රහිත ශුන්‍ය ස්වභාවය මෙන්ම කරන්නෙක් නැති අනත්ත ස්වභාවයද ස්වභාවධර්මයේ ලාක්ෂණිකයකි characteristic.
මෙම ස්පර්ශය හේතුවෙන් එක ස්කන්ධයක් නොව ස්කන්ධ පරාසයක් ඇතිවන අතර එක මොහොතක සිහියට හසුවන්නේ එම පරාසය තුල පවතින එක ස්කන්ධ වේගයක් පමනි.
ඔබ සහ මම අපිදෙදෙනාම සිටින්නේ භවය සකස්කරන එනම් භාහිර රූපය නන්දියකින් (ආශ්වාදයකින් හො ගැටීමකින්) ග්‍රහනය කරමිනි. ඒ නිසා මෙම ස්කන්ධ පරාසයෙන් අපදෙදෙනාටම සිහියට හසුවන්නේ එකම එක ස්කන්ධයක්වන සත්වයා නැතහොත් ‘මම’ ඇතිකරන ‘සමුදය හෙවත් උදය’ ස්කන්ධයයි. අපදෙදෙනාගෙන් ඒක් අයෙක් හෝ ගතකරන දිවිපෙවත වෙනස්කොට භවයසකස් නොවන එනම් භාහිර රූපය නන්දියකින් නොගන්නාලෙස තුන් දොර (කාය,වචී හා මනෝ සංකාරය) හසුරවාගත්තේ යයිද විපස්සනාවට පිලිපන්නේ යයිද (භාහිරයේ විෂයවන රූපයේ නන්දියක්, ගින්නක් නැතිසේ ග්‍රහනය කිරීමට ක්‍රමයෙන් ඉගෙනගන්නේ යයිද) සිතමු. එවිට ඒ තැනැත්තාගේ සිහියට හසුවන ස්කන්ධ ස්වභාවය සමුදය ස්කන්ධයට වඩා වෙනස් සමුදය ස්කන්ධයෙන් මිදුන වැඩිදියුනු වුන එම ස්කන්ධපරාසය තුලම පවතින වඩා නිරෝධ ස්කන්ධය දෙසට විහිදුන ස්කන්ධ වේගයකි.
එක මොහොතක පවතින්නේ එක ස්කන්ධ වේගයකි.එම ස්කන්ධ වේගය ඒමොහොතේ පවතින සත්වයා නිරූපනය කරයි. සත්වයා වෙනස්වනවිට පමනි ස්කන්ධය (ස්කන්ධ වේගය) වෙනසවන්නේ. සත්වයා වෙනස්‍වන්නේ ඔහුගේ හෝ ඇයගේ දිවිපෙවත හා ප්‍රතිපදාව වෙනස්වන විට පමනි. දිවිපෙවත භවය සකස්නොකරන එනම් විෂයවන භාහිර රූපය නන්දියකින් නොගන්නා දිවිපෙවතක් නම් හා විපස්සනාගත ප්‍රතිපදාවක සිටින්නේ නම් යම් මොහොතක පවතින ස්කන්ධය තුල හමුවන්නේ සමුදය ස්කන්ධයට වඩා දියුනු දුක තුනීවූ සත්වයෙකි, එනම් දියුනු ස්කන්ධ ස්වභාවයකි.
භවය සකස් නොකරන දිවිපෙවතක දිගින් දිගටම ගතකරන ඔබ සෝවාන් තත්වය උදාකරගත්තේ යයි සිතමු. දැන් ඔබ විපස්සනාවට අවතීර්න වී සෑම මොහොතකම එන සිතුවිල්ලේ නන්දියක් නැති ස්වභාවය අවබෝධ කලේයයි සිතමු.
‘පච්චුප්පන්නඤ්ච යො ධම්මං, තත්ථ තත්ථ විපස්සති’ – භද්දේකරත්න සූත්‍රය
දැන් ඔබට ස්කන්ධ පරාසය තුල සිහියට හසුවන්නේ ‘නිරෝධ ස්කන්ධය’යි. එනම් නිවනයි.
දැන් ඔබට ස්කන්ධ පරාසය ස්කන්ධ spectrum එක විමර්ශනය කරන ආකාරය පැහැදිලිවිය යුතුය.
ස්කන්ධ–පට්ච්චසමුප්පාදයේ මූලික කරුන
මගේ ලෝකය මායාවක්වන කොට සත්‍යවශයෙන්ම භෞතිකව පවතින්නේ එකම එක ලෝකයයි. ඒ ස්වභාවධර්මය වන අසංඛතයයි. අපි සියළුදෙනාම භෞතිකව ජීවත්වන්නේ මේ අසංඛතවූ සත්‍ය භාහිර භ්‍යෙතික ලෝකය reality තුලයි. එම ලෝකයේ ඇති සියළුම දේ ආශ්වාදයක් (හෝ වෛරයක්) නැති ස්වභාවයේ පවතින අතර ඒවා තුල කිසිම නන්දියක් හෝ ගින්නක් නැත. එනම් මුළු අසංඛතයම ශුන්‍යතාවයක පවතියි. ශුන්‍යතාවය යනු කිසිවක් නැතිබව නොව පවතින කිසිවක ආශ්වාදයක් නැති බවයි.
භාහිර පවතින රූපයකින් නිකුත්වන අංශු තරංග අපේ අදාල පංචේද්‍රියේ ස්පර්ශවීමෙන් ඇතිවන ප්‍රසාදය හරහා ඇතිකරන ස්‍කන්ධ-පටිච්චසමුප්පාද ක්‍රියාවලිය නිසා භාහිරයේ විෂයවන රූපය ආශ්වාදයක් (හෝ ගැටීමක්) ඇතිකරන ස්වභාවයකින් අපට ග්‍රහනය වෙයි. භවය සකස්වීම යනු මෙම සංසිද්ධියයි. ‘උපාදාන පච්චයා භව’.
ආශ්වාදයකින් ග්‍රහනය කිරීම තමයි උපාදානය කියන්නෙ. ආශ්වාදයකින් ග්‍රහනය වීම (උපාදාන ක්‍රියාවලියේ ඵලය) තමයි භවය කියන්නෙ. භවය සකස්වීම කියන්නෙ මෙතැනයි.
(ආශ්වාද විඳින) මම ඉන්නවා වගේ දැනෙනවා.
මේ නිසා ‘මම’ ඇතිසේ දැනේ. සක්කාය හෙවත් සත්ව-පුද්ගල දෘශ්ටිය ඇතිවීම යනු මෙම සංසිද්ධියයි. සත්වයා උපදින – දුක සමුදයවන – උදයවන තැන මෙයයි. ‘භව පච්චයා ජාති’.
ධර්මය තුල පහසුවෙන් සැරිසැරීම
අප මෙතෙක් පැහැදිලිකල ස්කන්ධ-පටිච්චසමුප්පාද ක්‍රියාවලිය ඔබ තේරුම්ගත්තේ නම් හා භාවිතාකල වචනවල අර්ථය චිත්‍රයකට නගාගත්තේ නම් මින් ඉදිරියට කතාකරන සියළුම කාරනා ස්කන්ධ-පටිච්චසමුප්පාදය හා ගැලපීමට ඔබ සමතෙක් වෙයි. කොතනින් ධර්ම කරුනක් ගත්තත් එය වහාම ස්කන්ධ-පටිච්ච සමුප්පාදයට බහා සිහියට ගන්න ඔබ සමතෙක් වෙයි. එනම් ධර්මය තුල නිදහසේ සැරිසැරීමට ඔබට හැකිවෙයි. මම මේ කතාකරන්නේ සත්‍ය ඥාණය-දැනුම ඔබට ‘පත්තියම්‍වීම’ ගැනයි
මෙම ලිපියේ අඩංගු කරුනු හා එම කරුනුවල දිගුවකට ඔබට ‘සෑම සිතකම පවතින බුද්ධ ස්වභාවය‘ නැමති YouTube ධර්ම සාකච්ඡාව තුලින් සවන්දිය හැකිය. එයට පිවිසීමට පහත සඳහන් link එක භාවිතා කරන්න.
ඔබට තෙරුවන් සරණයි
තිස්ස ගුණතිලක
2024 ජූලි මස 26 වනදා