අපේ රට අද  වෙනකොට යළිත් ලෝකය සමඟ ගනුදෙනු කරන්න පුළුවන් රටක් බවට පත් කරල තියෙනවා…-අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
Posted on July 29th, 2024

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

කැස්බෑව ආසනයේ, පැලැන්වත්ත බටහිර හා මහායායවත්ත ප්‍රජාශාලා  අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත වෙන් කෙරෙන විමධ්‍යගත අරමුදලින් නවීකරණය කොට භාරදීම 2024.07.28 දින සිදු කෙරිණි.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා –
හැම දෙයක්ම රජයේ දෙපාර්තමේන්තුවලට පමණක් කරන්න බැහැ. යම්කිසි වැඩ කොටසක් මහජනයා හවුල් වෙලා රජයේ නිලධාරීන් සමඟ සිදු කළ යුතුයි. ලංකාවේ හැම ගමකම එවැනි ප්‍රජා කටයුතු  මහජනයාගේ සතුට වගේම ජීවිතවල දියුණුවට පරිවර්තනය කරන්න පුළුවන්. අපේ රට ඉදිරියට ගෙනයාම සඳහා එවැනි සහෝදරත්වයක් අවශ්‍යයි. ගම් මට්ටමේ සිට ඉහල දක්වා ඒ සහෝදරත්වය ඇතිවුණොත් රටට විශාල ශක්තියක්. මිනිස් බලයට මහ පෙරළී ඇති කළ හැකියි. එක්සත්කමින් රටේ දියුණුව ඇති කිරීම සඳහා වැඩකරන්න.
පසුගිය වසර වල අපේ රටේ ඇතැම් දිස්ත්‍රික්කවල කෘෂිකර්මාන්ත  ක්ෂේත්‍රයේ අතිරික්තයක් ඇතිකරන්න ගොවියෝ සමත් වුණා. එමගින් අපිට මුහුණ දෙන්න සිදුවූ  අමාරු අභියෝග රැසක් හරහා ගමන් කරන්න පුළුවන්කම ඇති වුණා.
අපිට හොඳට වතුර තියෙන රටක්. ඒ වතුර ටික රැකගෙන විදුලි බලය   නිෂ්පාදනය වැඩි කරගන්න  කටයුතු කිරිමට සෑම රජයක්ම පියවර ගත්තා. උමා ඔය ආරම්භ කළාම කොයිතරම් ප්‍රශ්න ඇති කළාද. විරෝධතා ව්‍යාපාර දියත් කළා. උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කළා. දැඩි අභියෝග මැද රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා  අපි තේ දෙන්නම්  ඒ වෙනුවට අපිට මේ උමා ඔය ව්‍යාපෘතිය ඉවර කරලා දෙන්න කියලා ඒ රටෙන් ඉල්ලීමක් කලා. අන්තිමට විරෝධතා ව්‍යාපාර වලින් කියපු අවින්ශචිත භාවයක් කොහෙත්ම තිබුණේ නැහැ.අක්කර දහස් ගණනක් අද අලුතෙන් අස්වද්දනවා. විදුලි බලය මේලවොට්120 ක්විදුලි බල පද්ධතියට එකතු වුණා.
සංවර්ධන වැඩ ගමට පවරන ක්‍රියාවලියේදී  ග්‍රාම සංවර්ධන සමිති බොහොම සක්‍රීය ආයතන. රාජ්‍ය මන්ත්‍රණ සභාව කාලේ  ඉඳලා ග්‍රාම සංවර්ධන සමිති කෙරෙහි විශ්වාසය තියලා රජයන් කටයුතු කළා. එමගින් මිනිස් ගුණධර්ම රැකගෙන මිනිස් සමාජයේ සහෝදරත්වයෙන් යුක්ත අතිරේක බලයක් නිර්මාණය කරනවා.
පසුගිය කාලේ ලෝකෙ රටවල් අපි එක්ක ගනුදෙනු නොකර නැවතුනා. අපිට අලුත් ආණ්ඩුවක් පිහිටවන්න වුණා. අද මේ වෙනකොට යළිත් ලෝකය සමඟ ගනුදෙනු කරන්න පුළුවන් රටක් බවට පත් කරල තියෙනවා. ජපානය විසින් අත්හිටුවා තිබූ ණය හා ආධාර නැවත ලබාදීමට හැකි ගිවිසුම ගිය සතියේ අත්සන් කරනු ලැබූවා. ඒ අනුව ඉදිරි කාලයේදී  නවත්වපු වැඩ පටන් ගන්න පුළුවන් වෙනවා.
පැලැන්වත්ත සත්බුදු විහාරාධිකාරී ශාස්ත්‍රපති පැලැන්වත්තේ සෝභිත හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී ලොකුගේ, යදාමිණි  ගුණවර්ධන මෙම අවස්ථාවට සහභාගී වූහ.
 
 අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress