ත්‍රිපිටකාචාර්ය බොරැල්ලේ අතුල ස්වාමීන් වහන්සේට  ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ, අමරපුර සිරි සද්ධම්මවංස පාර්ශ්වයෙන් ස්ව නිකායේ අනුනායක පදවියේ අක්කපත්‍ර පිරිනැමෙ
Posted on July 29th, 2024

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

කොළඹ, බෞද්ධාලෝක මාවත, අතුළ දස්සන බෞද්ධ මධ්‍යස්ථානයේ සහ බොරැල්ල ඥාණාලංකාර භික්ෂු ගිලන් මධ්‍යස්ථාන විහාර ගණයේ ආධිපත්‍යය හොබවන ත්‍රිපිටකාචාර්ය බොරැල්ලේ අතුල ස්වාමීන් වහන්සේට  ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ, අමරපුර සිරි සද්ධම්මවංස පාර්ශ්වයෙන් ස්ව නිකායේ අනුනායක පදවියේ අක්කපත්‍ර පිරිනැමීම අග්‍රාමාත්‍ය දිනේෂ්  ගුණවර්ධන මහතා අතින් 2024.07.27 දින බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී සිදුකෙරිණි.
1984 දී බොරැල්ලේ අතුල ස්වාමීන් වහන්සේ විසින් ආරම්භ කරන ලද වාර්ෂික නෙළුම් මල් පූජාව මෙරට විවිධ ප්‍රදේශවල ඓතිහාසික විහාරස්ථානවලදී දැනුදු සිදු කෙරේ. එමෙන්ම මැදින් මහේ පෝදා බෞද්ධාලෝක මාවත අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින්  පුරා හතළිස් වසක් මුළුල්ලෙහි දස පාරමිතා පෙරහර පවත්වාගෙන යාමටද උන්වහන්සේ මූලිකත්වය ගෙන කටයුතු කළහ.
පෙර අපර දෙදිග රටවල් රැසකට වැඩම කර  ධර්මදූත මෙහෙවරෙහි යෙදී ඇති බොරැල්ලේ අතුල හිමි  අමරපුර සිරිසද්ධම්මවංස පාර්ශ්වයේ සල්පිටි, හේවාගම්, රයිගම් කෝරලත්‍රයේ ප්‍රධාන සංඝනායක පදවියට තලල්ලේ ශ්‍රී ධම්මානන්ද නාහිමි යුගයේදී පත්වූහ. බළන්ගොඩ සුධම්මවංස මහා නාහිමි යුගයේදී කාරක සභික ධුරයකින් සහ කොළඹ පළාතේ ප්‍රධාන සංඝනායක ධුරයෙන්ද පිදුම් ලැබූහ.
ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ වැඩ බලන උත්තරීතර මහා සංඝනායක, අධ්‍යාපනපති,  පූජ්‍ය ආචාර්ය කරගොඩ, උයන්ගොඩ, මෛත්‍රී මූර්ති මහනාහිමි, අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ,    මහානායක පූජ්‍ය  අහුංගල්ලේ සිරි සීලවිසුද්ධි හිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ  මහානායක, ශාස්ත්‍රපති පූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල හිමි, සියම් මහානිකායේ ශ්‍රී කල්‍යාණී සමග්‍රී සංඟ සභාවේ මහනායක, පූජ්‍ය මල්වානේ පඤ්ඤාසාර හිමි, කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, විද්‍යෝදය පරිවෙණාධීපති, රාජකීය පණ්ඩිත, දර්ශනපති,  පූජ්‍ය බලංගොඩ සෝභිත නා හිමි, ඇතුළු මහා සංඝරත්නය සහ දායකකාරකාදීන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
 
 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress