පොහොට්ටුව වෙනම ඉල්ලන එක ඉතාම සුබයි.. දැන් රනිල් එක්ක සාකච්චා කරන්න පුළුවන්..
Posted on July 31st, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

මෙවර ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් රට බංකොලොත් කරපු අපේක්ෂකයෙකු තනිවම ඉදිරිපත් කිරීමට ගනු ලැබූ තීරණය ඉතාමත් හොඳ බවත් ඒ අනුව එම අපේක්ෂකයාට ජනතාව මේ මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදීව සැලකිය යුතු බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් මේ මොහොතේ තවදුරටත් රාජපක්ෂ පවුලට ගැතිකම් කරමින් සිටිනවාද යන්න පිළිබඳවත් දෙවරක් සිතා බැලිය යුතු බව රණවක මහතා සඳහන් කරන ලදී.

ඒ මහතා මේ බව පවසා සිටියේ ඊයේ (30) දින එක්සත් ජනරජ පෙරමුණේ පන්නිපිටිය ඇරැවුවල ප්‍රදේශයේ පවත්වනු ලැබූ ජනහමුවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.

එක්සත් ජනරජ පෙරමුණේ සාමාජික දිල්ශාන් මුතුකුමාරණ මහතා විසින් මෙම ජනහමුව සංවිධානය කර තිබූ අතර ඒ සඳහා එක්සත් ජනරජ පෙරමුණේ සභාපති වෛද්‍ය අජිත් අමරසිංහ, උපසභාපතිවරුන් වන මේජර් ජෙනරාල් (විශ්‍රාමික) තිලක් උභයවර්ධන හා තීක්ෂණ ගම්මන්පිල යන මහත්වරුන්ද සම්බන්ධ විය.

එහිදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් දැක්වූ අදහස්;

ප්‍රශ්නය: ඔබතුමාට ප්‍රශ්නයක් තියෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉන්න මන්ත්‍රීවරුත් එක්ක ද?, එහෙම නැත්නම් අර ඔබතුමා කියන යම්කිසි කණ්ඩායමක් එක්ක විතරද?

පිළිතුර: ඇත්තටම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉන්න මන්ත්‍රිලත් එක්ක අපිට ලොකු ප්‍රශ්නයක් නැහැ. මොකද ඒගොල්ලෝ ජනතාවගේ නියෝජිතයෝ සහ ඒගොල්ලෝ මේ රට වෙනුවෙන් යම් වැඩ කොටසක් කරපු පිරිසක් බව. හැබැයි ඉතින් රට බංකොලොත් කිරීමට වගකිව යුතුයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරපු පිරිසක් තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයේ ඉන්නේ. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා, ගෝඨාභය රාජපක්ෂ මහත්තයා, බැසිල් රාජපක්ෂ මහත්තයා මූලික වශයෙන්. එතකොට ඒගොල්ලෝ විසින් නායකත්වය දෙන දේශපාලන ව්‍යාපාරය එක්ක අපි හිටගන්නවා කියන්නේ, මේ රට බංකොලොත් වීමට වගකිවයුතු පිරිසක් එක්ක අපි හිට ගන්නවා කියන එකයි. අපි හැමදාම දේශපාලනය තේරුවේ, රටේ බරපතලම ප්‍රශ්නයට සාපේක්ෂව. එතකොට ඒ බරපතලම ප්‍රශ්නයේ වගඋත්තරකරුවොත් එක්ක අපිට හිටගන්න බැහැ. නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු එක්ක අපි වැඩ කරගෙන යනවා. වැඩ කරලා තියෙනවා. අපේ පාර්ලිමේන්තු කමිටුවල වැඩ කරලා තියෙනවා. අපට ඒ අය පිළිබඳ දේශපාලන වශයෙන් විශාල ප්‍රශ්නයක් නැහැ.

ප්‍රශ්නය: දැන් මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ මහත්මයාට සහය දෙනවා. අනිත් කණ්ඩායම පොදුජන පෙරමුණේ ඉන්නවා. ඔබතුමා මොකක්ද මේ ගැන හිතන්නේ?

පිළිතුර: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන් තනියෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ගත්ත තීරණය අතිශය නිර්භීත වගේම ඉතාම වැදගත් තීරණයක්. රට බංකොලොත් කරන්න දායක වෙච්ච මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂගේ අපේක්ෂකයෙක් දැන් ඉන්නවා. ඒ අපේක්ෂකයාට කොහොමද ප්‍රජාතන්ත්‍රවාදී විදියට සලකන්නෙ කියන එක රටේ ජනතාවට තීරණය කරන්න පුළුවන්.

ප්‍රශ්නය: ඔබතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයට සහාය දෙනවද? මොකද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමකුත් එතන ඉන්නවා.?

පිළිතුර: අපි ඒ ගැන තාම තීරණයක් කරලා නෑ. අපි සමගි ජන බලවේගය එක්කත් පසුගිය පෙබරවාරි 14 වෙනිදා ඉදිරිපත් කරපු වැඩපිළිවෙලත් එක්ක සාකච්ඡා ක්‍රියාදාමයකට ගියා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් සමඟ අපි සාකච්ඡාවකට ගියා. ඉතින් තවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහත්තයා වගේ අයත් ඡන්දෙට ඉදිරිපත් වෙන බව ප්‍රකාශ කරලා තියෙනවා. ඒ නිසා ඉදිරි දින කිහිපය ඇතුළත අපි මේක තීරණය කරනවා. මොකද මේ රටේ මූලික ප්‍රශ්නය, රට බංකොලොත්. ඒ බංකොලොත්භාවයෙන් රට තාම මිදිලා නැහැ. මේ තියෙන්නේ තාවකාලික සහනයක්. ඒ වගේම බංකොලොත් භාවයෙන් මිදීම සඳහා ආණ්ඩුව අනුගමනය කරපු ක්‍රියාමාර්ග වල ලොකුම බර වැටිලා තියෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවට. ඒ බර නිවාදැමීම සඳහා මධ්‍යකාලීන වැඩපිළිවෙලක් ඒ වගේම දිගු කාලීන වශයෙන් රටේ ණය ගෙවන්න පුළුවන් වැඩපිළිවලක් ඉදිරිපත් කරන්න ඕන. විශේෂයෙන්ම මතක තියාගන්න ඕන 2028 ඉඳන් අපට එකවර ණය ගෙවන්න තියෙනවා. බලයට පත්වෙන කවර ජනාධිපතිට වුණත් ඒ අභියෝගය තියෙනවා. අන්න ඒ ක්‍රියාවලිය කරන්න පුළුවන් විදිහේ ආණ්ඩුවක් පිළිබඳව ජනතාව දැනුවත් කරලා එවැනි ආණ්ඩුවක් පිහිටුවීම තමයි අපේ අරමුණ.

ප්‍රශ්නය: එතෙන්දි ඔබතුමා සෘජුවම කියන්නේ නැද්ද රනිල් වික්‍රමසිංහ මහත්තයාට සහාය දෙන්නේ නෑ කියන කතාව?

පිළිතුර: රනිල් වික්‍රමසිංහ මහත්මයා, මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වයෙන් ආවා නම් අපි කිසිසේත් සහයෝගය දෙන්නේ නැහැ. නමුත් අපි දැන් ඒ සම්බන්ධයෙන් විවෘතයි. ඒක අපි දිගටම හිටපු ස්ථාවරය. රනිල් වික්‍රමසිංහ මහත්තයා පසුගිය කාලේ ගත්ත ඇතැම් පියවර පිළිබඳව අපේ කිසිම සතුටක් නැහැ. විශේෂයෙන්ම මෑතදී පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ගත්ත පියවර වුණත්. නමුත් මේ රටේ මූලික ප්‍රශ්නය වෙච්ච, රට බංකොලොත් භාවයෙන් ඉදිරියට ගෙන යාම කියන ප්‍රශ්නයේදී අපි හිතනවා ඒ පිළිබඳව සාකච්ඡා කරලා එකඟතාවයන් ඇතිකර ගත යුතුයි. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක නෙවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉන්න මන්ත්‍රීලත් එක්ක. ඒ වගේම සමගි ජන බලවේගය එක්කත් අපි ඒ පිළිබඳව සාකච්ඡා කරගෙන යනවා. අපේ තීරණය අපි ඉදිරි දින කිහිපය තුළ කියනවා.

ප්‍රශ්නය: ඔබතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවද?

පිළිතුර: ඒ පිළිබඳව වුණත් තීරණය අපි ඉදිරි දින කිහිපයේදී කියනවා.

ප්‍රශ්නය: ඒ කියන්නේ එහෙම නෑ කියලා කියන්නේ?

පිළිතුර: එහෙම නෑ කියලා අපි කියන්නෑ. ඒ පිළිබඳව අපි අපේ මන්ත්‍රිතුමන්ලා සහ වෙනත් පිරිස් එක්ක සාකච්ඡාවක් කරනවා. ඒ සාකච්ඡාවල තීරණය කළොත් මට ඉදිරිපත් වෙන්න කියලා මම ඉදිරිපත් වෙනවා. එසේ නැත්නම් අදාළ සුදුසු අපේක්ෂකයෙකුට අපි අපේ සහයෝගය දෙනවා. අපි තනියෙන් තීරණ ගන්නේ නැහැ. පක්ෂයක් හැටියටත්, අපිත් එක්ක සන්ධාන ගතවෙලා ඉන්න අයත් එක්කත් ඇති කරගන්නා සාකච්ඡා සම්මුතියක ප්‍රතිඵලයක් හැටියට තමයි අපි ජනාධිපතිවරණය දකින්නේ. මොකද මේක පුද්ගල අපේක්ෂා, අභිලාෂයන් ඉෂ්ට කරගන්න අවස්ථාවක් නෙවෙයි. මේක රට වෙනුවෙන් තීරණ ගත යුතු, අපේ දරුවන් වෙනුවෙන් තීරණ ගත යුතු අවස්ථාවක්.

ප්‍රශ්නය: දැන් මේ මොහොත වෙනකොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඔබට සහාය දිය හැකි අපේක්ෂකයෙක් ඉදිරිපත් කලොත් ඔබ කැමතිද සහය වන්න?

පිළිතුර: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා මහින්ද රාජපක්ෂනේ. ඒ පක්ෂය එතුමන්ලා හිතන්නේ ඒගොල්ලන්ගේ පවුලේ බූදලයක් හැටියට. හරි කණගාටුදායකයි. ඒ නිසාම තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාට මේ රටේ විරාජමානව ජීවත් වෙන්න තිබිච්ච තත්වය නැති කර ගත්තේ 2015 දී සහ 2019 යේදී. හැටනම ලක්ෂයක් මිනිස්සු රවට්ටලා කරපු ඒ අපරාධයේ ප්‍රතිඵලයක් හැටියටනේ අද මේ රටේ ලක්ෂ දෙසිය විස්සක් අනාථ වෙලා ඉන්නේ. ඒ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එවැනි තත්වයකට අපි එකඟ වෙන්නේ නැහැ. හැබැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දෙ දීපු අය හා ඒක නියෝජනය කරන මන්ත්‍රීවරු වෙනම මගක් ගන්නවා නං ඒ පිළිබඳව අපි ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න සූදානම් සහ සාකච්ඡා කරමින් ඉන්නවා.

ප්‍රශ්නය: දැන් මේ මොහොතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන ඔබතුමා මොකද හිතන්නේ?

පිළිතුර: මම හිතන්නේ ඒගොල්ලෝ දැන් තීරණයක් ගත යුතුයි තවදුරටත් මේ රාජපක්ෂ පවුලට බැඳිලා ඉන්නවද? එහෙම නැත්නම් රට වෙනුවෙන් ස්වාධීන මගක යනවද කියලා. ඒක පහුගිය 2022 මැයි 09 වෙනිදා තීරණය කරන්න බැරි වුණා නම්, දැන් ඒකට ඓතිහාසික මොහොත ඒ සඳහා චිත්ත ධෛර්යය ඔවුන්ට ලැබෙන්නෙයි කියලා අපි ප්‍රර්ථනා කරනවා.

– Media unit

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress