රනිල්ගේ සියලු සැලසුම් අද-මැදුරේ-හෙට-පැදුරේ ක්‍රමයටයි
Posted on August 22nd, 2024

Dilrook Kannangara

රනිල් අවුරුදු 47ක් දේශපාලනයේ සිටියි. ඔහුගේ ක්‍රියාමාර්ග විමර්ශනය කිරීමෙන් පැහැදිලි වන කරුණක් නම් ඔහුගේ සියලු සැලසුම් ඉතා කෙටි කාලීන බවයි. මේවා දිගු කාලීන ව්‍යසනයන්ය.

1982 චන්දය ඔහුගේ පළමු අද-මැදුරේ-හෙට-පැදුරේ සැලසුමයි. තම මාමාගේ චන්ද වැඩපිළිවෙලට MK සුනිල් පෙරේරා (ගෝනවල සුනිල්) අත්‍යාවශ්‍ය බව පවසා එකල ජනාධිපති ලවා ඔහුට වැලිකඩ බන්ධනාගාරයෙන් සමාව ලබා දුන්නේය. කැලණිය රජමහා විහාරයේ නර්ථන ශිල්පීන් සහ අලි ඇතුන් ඇතුලත් පෙරහැරකින් සුනිල්ව වැලිකඩ සිට බියගමට කැන්දාගෙන ගිය රනිල් වෙනුවෙන් ඉතා විනාශකාරී දේශපාලනයක නිරත වූ සුනිල් අනිත් තරගකරුවන් සහ ආධාර කරුවන් බියගන්වා චන්දය දිනන තැනට කටයුතු කෙළේය. එහෙත් 1982 චන්දෙන් පසුව ඔහුගේ ප්‍රචණ්ඩ ක්‍රියා දරුණු විය. 1983 වැලිකඩ, 1984 සපුගස්කන්ද, 1986 බියගම සහ අනෙකුත් ස්ථාන වල මහා අපරාධ රැල්ලක් සිදු කෙරිණි.

1985 අන්තර්ජාතික තරුණ වර්ෂය ලෙස පිළිගැනීමත් සමග එකල ජනාධිපති විසින් රනිල් එම කාර්යය සඳහා අනුයුක්ත කරනු ලැබීය. ජාතික තරුණ සේවා සභාවට විශාල මුදලක් ඒ සමගම දෙනු ලැබීය. එහෙත් එහි අරමුණු කිසිවක් ඉටු නොවීය. සංගීතකාරයන් කිහිප දෙනෙකු බිහිකිරීම හැරුණු කොට අන්තර්ජාතික තරුණ වර්ෂය රටට දායාද කල දෙයක් නැත. අනෙක් රටවල නම් ඒ සඳහා විශාල ආයෝජන – තරුණ ඵලදායීතාවය, රැකියාකරණය, හැකියාකරණය ඉහළ නැංවීම, තරුණ ගැටළු විසඳීම, තරුණ ව්‍යාවසායකත්වයට අත හිත දීම වැනි වටිනා ව්‍යාපෘති රාශියක් සිදු කෙරුණි. රනිල්ගේ ලංකාවේ සැලසුම් කෙටිකාලීන “ආතල්” සඳහා පමණක් සීමා විය. තරුණ වසර ගෙවී ගොස් ගතවුනේ වසර දෙකකි, දින 500කි. 1987 වනවිට තරුණ ප්‍රශ්ණ රටේ ඉහවහා යන්නට විය. 1987 සිට 1989 දක්වා සිදුවූ තරුණ අසහනය ප්‍රචණ්ඩත්වය දක්වා තල්ලු විය. 1985 අන්තර්ජාතික තරුණ වර්ෂය නියමාකාරයෙන් යොදා ගත්තානම් මෙම ව්‍යසනය වළක්වා ගත හැකිව තිබුණි.

1993 ප්‍රේමදාස ජනාධිපතිගේ ඝාතනයෙන් පසු රනිල් අගමැති විය. ඔහුගේ කෙටිකාලීන සැලසුම් කෙතරම් විනාශකාරීද යත් වසර එකහමාරක් තුල ඔහුගේ පක්ෂය විශාල පරාජයකට ලක්විය. රාජ්‍ය යාන්ත්‍රණය සහ රාජ්‍ය මුදල් ඉතා විනාශකාරී ලෙස දේශපාලන කටයුතු වලට නාස්ති කලත් ජනතා කැමැත්ත ලබා ගත නොහැකි විය. දේශප්‍රේමී නායකයන් වූ ලලිත්, ගාමිණි, ජානක, ලකී සිටියානම් රනිල්ට තැනක් නැත.   

2001 යලිත් අගමැති වූ රනිල් යලිත් ඉතා කෙටිකාලීන වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කළේය. දින සීය, නැගිටිමු ශ්‍රී ලංකා, මහා පරිමාණ රාජ්‍ය ආයතන කුණු කොල්ලයට විකිණීම (PERC මගඩිය) සහ වඩාත්ම විනාශකාරී සටන් විරාම ගිවිසුම මේ අතර කැපී පෙනෙයි. සමස්ත ලෝකයම ත්‍රස්තවාදයට එරෙහිව යුධ ප්‍රකාශ කර ඇති අවධියක කොටි ත්‍රස්තවාදීන්ට හුස්ම පොදක් දී උන් ශක්තිමත් කරන්නට රනිල් කටයුතු කෙළේය. රාජ්‍ය බුද්ධි අංශ පාවාදුන් රනිල්ගේ අන්තනෝමතික ක්‍රියා නිසා රණ විරුවන් 186 දෙනෙකු නිරපරාදේ කොටි ත්‍රස්තවාදීන් අතින් මැරුම් කෑහ. රට කෙතරම් වැනසුනේදයත් දෙහිවල පොලිසිය තුල වූ ත්‍රස්ත විමර්ෂණ අංශය ඇතුලේම කෘතහස්ත ත්‍රස්ත විරෝධී ක්‍රියාකරුවෙකු වූ සුනිල් තාබ්රු මරා දමා කොටි ත්‍රස්තවාදීන් යහතින් පැන යන්නට විය. රනිල්ගේ විනාශය තවත් ඉවසාගත නොහී ලක්ෂමන් කදිරගාමර් මහතා පුළුල් දේශපාලන සන්ධානයක් සාදා රනිල්ගේ ආණ්ඩුව 2004න් නිමා කළේය. එහෙත් රනිල්ගේ කොටි ගිවිසුම් (CFA සහ MOU) නිසා මරාගෙන මැරෙන කොටි දහස් ගණනක් රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම ව්‍යාප්ත විය. රනිල්ගේ අන්තනෝමතික ක්‍රියා නිසා 2005 බලයට පැමිණි රාජපක්ෂ ආණ්ඩුවට ජනතාව බේරා ගැනීමට සහ යුද්ධය ජයග්‍රහණය කිරීමට ඉතා විශාල වෙහෙසක් දැරීමට සිදු විය. රටේ ආරක්ෂාවට සහයෝගය දෙනු විනා රනිල් කලේ ඒවාට උසුළු විසිළු කිරීම පමණි. ත්‍රස්තයන් දස දහසක් සැඟවී සිටි තොප්පිගල කොටි තිප්පොල නිකම්ම නිකම් කැලයක් කියා, අලිමංකඩට පාමංකඩ කිව්වේ රනිල් සහ ඔහුගේ සගයන්ය. රනිල්ගේ කොටි ගිවිසුම් (CFA සහ MOU) ඉතා තාවකාලික සාමයක් ගෙනාවේ දිගු කාලීන සාමය නැති කරමිනි.

2015 යලිත් සිරිසේන සමග අටවාගත් දීගයකින් අගමැති වූ රනිල් යළිත් දින සීය වැනි සෝඩා බෝතල් ව්‍යාපාර වලින් ජනතාව රවටන්නට විය. ඒ අතර හොර බැඳුම්කර මගින් මහ බැංකුව දෙවතාවක් කොල්ලකෑ පිරිවර සමග රනිල් ආර්ථික අහේනියකට රට ගෙන ගියේය. මේවා කෙටිකාලීන “සොමි” වූවත් දිගුකාලීන ආර්ථික විනාශයන්ය. 2015 සිට 2019 දක්වා ස්වෛරී බැඳුම්කර (ISBs) ඩොලර් බිලියන 12.5ක් ණයට ගත්තත් කාණු බෝක්කුවක්වත් සාදන්නට නොහැකි විය. මෙම ISB ණය වසර පහකින් කල් ඉකුත්වී ගෙවීමට සිදුවිය. ඒ 2020 (2015 ට 5ක් එකතුකලවිට 2020) සිට 2024 කාලයයි. ඒසා විශාල නාස්තිකල ඩොලර් ණය ගෙවීමට ලංකාවට පමණක් නොව ඉන්දියාවටද නොහැක. රට බංකොලොත් වුයේ ඒ නිසාය.

2022 ජනතාව ප්‍රතික්ෂේප කලත් පස්සා දොරින් ජනාධිපති වී රනිල් කලේ ණය නොගෙවා සිටීම සහ තව ණය ගැනීම පමණි. ආර්ථිකය හැදුවේ නැත. ආයෝජන නැත. අලුත් ව්‍යාපාර නැත. ජාතික ව්‍යාපෘති නැත. 2022 ජූලි මස ඩොලර් බිලියන 83ක් වූ සමස්ත ණය අද වනවිට ඩොලර් බිලියන 102 ඉක්මවා ගොස්ය. මෙය දියුණුවක්ද පරිහානියක්ද? 2025 මාර්තු සිට ණය පොලී වාරික නැවත ගෙවීම ආරම්භ වනවාත් සමගම යලිත් පෝලිම් ඇතිවේ, ජනතාව නොසන්සුන් වේ, රජය බංකොලොත් වේ. පෝලිම් නැති කලා කීම හුදෙක් ඇස් බැන්දුමක් පමණි. එය ඉතා කෙටිකාලීන සොමියක් සඳහා දිගුකාලීන විනාශයකට රට උකස් කිරීමකි. 2025 ජුනි මස සිට රාජ්‍ය දේපළ සහ ලාභ ලබන රාජ්‍ය ආයතන විදේශ සමාගම් වලට කෑලි කර විකිණීම ඇරඹේ. ඉන්දියාවේ අණසකට ලංකාව නතුවී ලාංකිකයන් සතු සියලු වෙළෙඳ සහ වෘත්තීය අවස්ථා ඉන්දියානුවන් අතට පත්වේ. මෙය පරිහානිය මිස දියුණුව නොවේ.

වසර 47ක් පුරාවට කල සියලු සැලසුම් වැඩිම උනොත් මාස 27ක ආතල් සඳහා පමණි; ඒවා දිගුකාලීන ව්‍යසනයන්ය. සෝඩා බෝතල් දේශපාලන චන්ද ගුණ්ඩු වලට නොරැවටී ජනතාව සිහි බුද්ධියෙන් චන්දය භාවිතා කල යුතුය. නොඑසේ නම් යළිත් 1982ක් පෙරහැරකින් කැන්දා ගෙන ඒම නොවැලැක්විය හැකිය. ඉන්පසු යළිත් ආර්ථික ව්‍යසනයන් සහ ජීවිත විනාශයන් සිදුවනු ඇත. ඉතිහාසයෙන් පාඩම් උගෙන නොගන්නා අයට එම වරද කිහිප ගුණයකින් ගෙවීමට සිදුවේ. අද රනිල් පොදුජන පෙරමුණේ පාලනයට නතුය. එහෙත් බැරිවෙලාවත් ජනාධිපතිවරණය දිනුවොත් ඔහුගේ අතිකල් මිතුරන් වන 2015 මහ බැංකු සංසදයත් 1982/1989 සුනිල් කල්ලි දෙකත් යලිත් රජවනු නොඅනුමානය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress