“වැඩි වී ඇති රාජ්‍ය අංශයේ වැඩ වර්ජන අවම කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්”
Posted on August 22nd, 2024

පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය

පෞද්ගලික අංශයේ ලක්ෂ 35ක රැකියා සුරක්ෂිත කළ ත්‍රෛපාර්ශවික එකඟතාවය” පිළිබඳ කෘතිය වැඩලෝකයට මහඟු සම්පතක්”

–          කම්කරු අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහින්ද මඩිහහේවා මහතා

ශ්‍රී ලංකාව මුහුණ දුන් දැවැන්තම අභියෝගය පැවති කොරෝනා සමයේ පෞද්ගලික අංශයේ 35න් ලක්ෂයක රැකියා සුරක්ෂිත කරදීමේ ඓතිහාසික, අග්‍රගන්‍ය කාර්යභාරය පිළිබඳව ලියැවුණු, තිස්පන් ලක්ෂයක රැකියා සුරැකි, ත්‍රෛපාර්ශවික එකඟතාව” කෘතිය කම්කරු ඉතිහාසය අධ්‍යයනය කරන්නන්ට මෙන්ම, වැඩ ලෝකයේ සියලු හවුල්කරුවන්ට මහඟු සම්පතක් බව, කම්කරු අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහින්ද  මඩිහහේවා මහතා ප්‍රකාශ කළේය. මේ වන විට පෞද්ගලික අංශයේ වැඩ වර්ජන නොමැති වුවත්, වැඩි වී ඇති රාජ්‍ය අංශයේ වැඩ වර්ජනවලට විසදුමක් අවශ්‍ය බවද, ඒ සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය හරහා වැඩපිළිවෙළක් සකස් කර ඇති බවද  ඔහු පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ රචිත, දෙසරැස ප්‍රකාශනයක් වන අදාළ කෘතිය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ශ්‍රවණාගාරයේදී 2024.08.21 දින ජනගත කිරීමේ අවස්ථාවේ ප්‍රධාන දේශනය පවත්වමිනි. මෙම කෘතියට පාදක වූ සමයේ මෙරට කම්කරු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට එහි පළමු පිටපත කතුවරයා විසින් එහිදී පිළිගන්වනු ලැබීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහින්ද මඩිහහේවා මහතා පැවසූවේ, කොරෝනා සමයේ අහිමි වීමට ගිය පෞද්ගලික අංශයේ රැකියා සියල්ල ආරක්ෂා කර ගනිමින්, වෘත්තීය සමිති, හාම්පුතුන් සහ කම්කරු අමාත්‍යාංශය සාර්ථකව සම්බන්ධ කර ගනිමින් ජාතික කම්කරු උපදේශක සභාවෙන් උපරිම ප්‍රයෝජනයක් ලබා ගත්තේ 2020 සමයේ මෙරට කම්කරු අමාත්‍යවරයා වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බවයි. එකල එම ත්‍රෛපාර්ශවයන් අතර ඓතිහාසික ගිවිසුමකින් පෞද්ගලික අංශයේ රැකියා ආරක්ෂා කරගත් ක්‍රියාදාමයට නොදෙවෙනි ලෙස රාජ්‍ය අංශයේ කාර්මික සාමය පවත්වාගෙන යාමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ, අග්‍රාමාත්‍යවරයා නව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව ද ඔහු පැවසීය. රාජ්‍ය අංශයේ කළමනාකරුවන් සහ සේවක පාර්ශවය අතර, ද්වීපාර්ශවීය එඟතාවන් ඇති කරගෙන වැඩවර්ජන අවම කිරීම සඳහා එහි නියමු ව්‍යාපෘතිය සොඛ්‍ය සහ ප්‍රවාහන අමාත්‍යාංශවල දැනටමත් ආරම්භ කර ඇති බව මඩිහහේවා මහතා කියා සිටියේය.

මේ වන විට පෞද්ගලික අංශයේ වැඩවර්ජන අවම වුවත්, ජනතාව වැඩිපුරම සේවා ලබා ගන්නා රාජ්‍ය අංශයේ වැඩවර්ජන විශාල ප්‍රමාණයක් පවතින බවත්, එහෙත් අහිමි වන මිනිස් පැය ගණන පිළිබඳ දත්ත පද්ධතියක් නොමැති බවත් පැවසූ ඔහු, මෙම නව වැඩපිළිවෙළින් එම අඩුපාඩුව ද සැපිරෙන බව සඳහන් කළේය.

මෙම උත්සවයට එක්වූ නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාර්කස් මහතා පැවසුවේ, මෙම කෘතියට පාදක වන ත්‍රෛපාර්ශවිය ගිවිසුම හරහා පෞද්ගලික අංශයේ රැකියා සුරක්ෂිත කර දීමට හැකි වූ පළමු රට ශ්‍රී ලංකාව බවය. වෘත්තීය සමිති නායකයෙකු ලෙස දිනේෂ් ගුණවර්ධන මහතාට තිබූ පරිණතභාවය ඊට ප්‍රධාන ලෙස උපයෝගී වූ බවද ඔහු කියා සිටියේය.

ලංකා සේව්‍ය සම්මේලනයේ (හාම්පුතුන්ගේ සම්මේලනය) එකල හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජ්‍යෙෂ්ඨ නීතීඥ කනිෂ්ක වීරසිංහ මහතා කියා සිටියේ ලෝක කම්කරු සංවිධානයක්, එක්සත් ජාතීන්ගේ සංවිධානයත්, මෙම ඓතිහාසික එකඟතාවය ජාත්‍යන්තර වශයෙන් නිර්දේශ කළ ඇති ආදර්ශයක් බව ප්‍රකාශ කළ හැකි බවයි. කොරෝනා සමයේ රැකියා ආරක්ෂා කර ගැනීමටත්, ව්‍යාපාර ආරක්ෂා කර ගැනීමටත් මෙම ගිවිසුම හරහා එකල කම්කරු ඇමතිවරයා කළ සාධනීය මැදිහත්වීම අගය කරන බව ද ඔහු පැවසීය.

 තිස්පන් ලක්ෂයක රැකියා සුරැකි, ත්‍රෛපාර්ශවික එකඟතාවය” කෘතියේ කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ මහතා පැවසූවේ, සැඟව ගිය මෙම ඓතිහාසික අවස්ථාව එළ දැක්වීම සහ වර්තමාන ලෝකයට එය ප්‍රායෝගික භාවිතය සඳහා මඟ පෙන්වීමේ අරමුණින් මෙම පොත සම්පාදනය කළ බවයි. එය ප්‍රකාශයට පත්කළ දෙසරැස සංවිධානයට ද ඔහු ස්තූතිය පළ කළේය.

කෘතිය ජනගත කිරීමේ අවස්ථාවට කම්කරු රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ්, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ.එච්.එම්.ෆවුසි, යදාමිණී ගුණවර්ධන යන මහත්වරු මෙන්ම රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ඩබ්ලිව්.එච්. පියදාස මහතා ඇතුළු වෘත්තීය සමිති නායකයන් මෙන්ම, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, ශ්‍රී ලංකා පොදුජන ප්‍රවාහන සේවා සංගමය, සමාජවාදී ලංකා කම්කරු සමිතිය, සමස්ථ ලංකා හාබර් හා ඩොක් කම්කරු සමිතිය, සමස්ත ලංකා මෝටර් සේවක සමිතිය, දුම්රිය පොදු සේවා සමිතිය, ලංකා කම්කරු සමිති මධ්‍ය මණ්ඩලය, සමස්ත ලංකා මාණ්ඩලික නොවන පළාත් පාලන සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති විශාල ප්‍රමාණයක නියෝජිතයෝ එක් වූහ. එමෙන්ම, කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීහු, ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ ප්‍රධාන ලේකම් යොහාන් ලෝරන්ස් මහතා මෙන්ම ලංකා සේව්‍ය සම්මේලනයේ නිලධාරීහු, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් ඇතුළු මාධ්‍ය ආයතන නියෝජිතයෝ, සණස නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙනිය, මහාචාර්ය නන්ද ධර්මරත්න, ඇතුළු විද්වත්හු මෙන්ම විශාල පිරිසක් මෙම අවස්ථාවක එක්ව සිටියහ.

————-

කම්කරු අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ උපදේශක මහින්ද මඩිහහේවා මහතා……

මා වෙත පැවරිලා තියෙන්නේ තිස්පන් ලක්ෂයක රැකියා සුරැකි, ත්‍රෛපාර්ශවික එකඟතාවය” කියන මේ පොත් පිංච පිළිබඳව විග්‍රහයක් කිරීමයි. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ මහතා විසින් රචිත තිස්පන් ලක්ෂයක රැකියා සුරැකි, ත්‍රෛපාර්ශවික එකඟතාවය” නමැති පොත් පිංච දොරට වැඩම කිරීම සිදු කරන මෙම අවස්ථාවේ මෙම සාමූහික ගිවිසුමට පාර්ශවකරුවන් වූ සේවක සම්මේලනය හා වෘත්තීය සමිති නියෝජිතයින් සහභාගි වී සිටීම සතුටට කරුණක්. කාර්මික සාමය කඩවීම පිළිබඳ බොහෝ සාකච්ඡා, විමර්ශන සිදුවී ඇති අසීරු අවස්ථාවල කාර්මික සාමය ආරක්ෂා කිරීම පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කළ අවස්ථාව විරලයි. එවන් අවස්ථාවක ලියවුනු මෙම වටිනා පොත් පිංච පිළිබඳව ඇගයීමක් කිරීමට මට ආරාධනය කිරීම පිළිබඳව මම විශේෂයෙන්ම කෘතඥතාවය පළකර සිටිනවා, ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ මැතිතුමාට.

ශ්‍රී ලංකාවේ කම්කරු සම්බන්ධතා සේවය තුළ ලියැවී ඇති මේ පොත් ඉතාම විරලයි. මෙතෙක් අත්දැකිය නොහැකි වූ අභියෝගාත්මක අවස්ථාවක් එළැඹි අග්‍රගන්‍ය ඓතිහාසික සාමූහික ගිවිසුමක් පාදක කරගෙන පරිච්ඡේද හතරකින් සමන්විත මෙම පොත් පිංච දොරට වැඩම කිරීම වෙනුවෙන්, මෙහි කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ මහතාට අප කාගේත් ස්තූතිය හිමි විය යුතුයි.

2020-22 කාලය ගෝලීය වශයෙන් මෙන්ම දේශීය වශයෙන් අප සියලු දෙනාටම මුහුණ පෑමට සිදුවූ අභියෝගාත්මක කාලවකවානුවක් බව අවවාදයෙන් පිළිගත යුතුය. මෙරට ගම් දනව් පැතිර යාමත් 2020 මාර්තු 16 වන දින මුළු රටම lockdown කිරීමත්, ඒ වගේම හදිසි නීතිය පැනවීමත් නිසා රට බලපතල අර්බුදකාරී තත්ත්වයකට පත්වුණා. මේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය සෞඛ්‍ය අර්බුදයකට වඩා ආර්ථික අර්බුදයක් බවට පත්වුනා. අපි දන්නවා ඒ අවස්ථාවේ ගරා අග්‍රාමාත්‍යතුමා එවකට හිටපු කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යතුමා ඒ අවස්ථාවේ විශේෂ කාර්යසාධක බලකායක්, ත්‍රෛපාර්ශවීය නියෝජනය තියෙන කාර්යසාධක බලකායක් පත් කරලා, විශේෂයෙන්ම NLAC (ජාතික කම්කරු උපදේශක සභාව) අපේ කම්කරු අමාත්‍යංශය යටතේ ත්‍රෛපාර්ශවීයව නියෝජනය වන එකම වැදගත්ම සාකච්ඡා මණ්ඩපය.

අපේ කතුවරයා විශේෂයෙන්ම මේ අවස්ථාවේ ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව දත්තවලට අනුව 2020 දෙවන කාර්තුව වන විට මෙරට දළ දේශීය නිෂ්පාදනය 16.5% කින් පහළ ගියා. ඒ වගේම රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තයට 44.2% කින් පසුබෑමට ලක්වුණා. සේවා අංශය හා ආහාර සැපයුම් අංශය 63% කින්ම අඩුවුණා. සංචාරක කර්මාන්තය මුළුමනින්ම බිඳ වැටුණා. ඒ වගේම 2020 මාර්තු 1 වෙනි වසංගත රැල්ලේ දී 45% ක් සේවයට වාර්තා කරේ නෑ. කතුවරයා එහි බැරෑරුම්කම සංඛ්‍යාලේඛනවලින් ඉතාමත්ම  හොඳින් ඒක පැහැදිලි කරල තියෙනවා.

සේවකයින්ට වැඩට පැමිණීමට නොහැකි වීම මත හාම්පුතුන්ට තම ආයතනය පවත්වා ගැනීම දුෂ්කර වුණා. ව්‍යාපාර හා කර්මාන්ත කරගෙන යාමට නොහැකි තත්ත්වයක් වාර්තා වුණා. ජාත්‍යන්තර හා දේශීය වෙළඳපොළ කඩා වැටුණා. මේ හේතුවෙන් සේවක වැටුපෙන් අඩක්වත් ගෙවීමට නොහැකි බවත්, ඔවුන්ට ප්‍රකාශ කර සිටියා. මේ අනුව 2020 මැයි වන විට සේවකයින් 65%ක් පමණ සේවය අහිමි වීමේ තර්ජනයකට මුහුණ දුන්නා. ගෝලීය තත්ත්වය සලකා බලන විට 85% ක් පමණ සේවකය ස්ථාන සම්පූර්ණ වශයෙන්ම හෝ අර්ධ වශයෙන් වැසී ගියා. 2020 මැද භාගය වන විට අසල්වැසි ඉන්දියාවේ ව්‍යාපාර 50% කට වඩා වැඩි ප්‍රමාණයක් වසා දැමීමට සිදු වුණා. විරැකියාව 20% කින් වුණා. වසර 40ක් තුළ දකුණු ආසියානු කලාපයේ ඇතිවූ දරුණුතම ආර්ථික අවපාතයට මෙම රටවල් මුහුණ දුන්නා. ගත් කතුවරයා මේ තත්ත්වය දේශීය වශයෙන් මෙන්ම ගෝලීය වශයෙන් ද අධ්‍යයනය කර මනාව විග්‍රහයක් කරලා තියෙනවා.

මෙම අර්බුදය 1923 කම්කරු දෙපාර්තමේන්තුව ආරම්භ කරලා දශක 10ක් වෙනවා. වසර 100ක් වෙනවා. මේ කාලය තුළ කිසිම අමාත්‍යවරයෙකුට මුහුණ දීමට නොවූ තරම් දැවැන්ත අභියෝගයකට මුහුණ දුන්නේ එවකට කම්කරු ඇමතිතුමා හැටියට ගරු දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා. මේ අර්බුදය සාකච්ඡා කිරීමට ගරු ඇමතිතුමා ත්‍රෛපාර්ශවික නියෝජනයක් ඇති ජාතික කම්කරු උපදේශක සභාව 2020 මාර්තු 11 වැනි දින රැස්කළා. මම හිතන්නේ 1923 කම්කරු දෙපාර්තමේන්තුව ආරම්භ කරලා 2023 ට වසර 100 ක් ගත වුණා. මේ 100 කාලය තුළ මම හිතන්නේ වැඩි කාලයක් මම කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු නිලධාරියෙක් හැටියටත්, සහකාර කම්කරු කොමසාරිස්වරයෙක් හැටියටත්, නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු හැටියටත්, කම්කරු අතිරේක කොමසාරිස් ජෙනරාල්වරයෙක් හැටියටත්, කම්කරු කොමසාරිස්වරයෙක් හැටියටත් සේවය කළා. ඒ කාලය තුළ මම හිතන්නේ මේ අත්දකින්න අවස්ථාවක් හමුවන්නේ නෑ. මම විශේෂයෙන් කියන්නේ අපිට වඩිවේල් සුරේෂ් මැතිතුමා අපේ අභිනව කම්කරු රාජ්‍ය ඇමතිතුමා ඉන්නවා. මේ වැවිලි ක්ෂේත්‍රයේ සාමූහික වෙනස සාකච්ඡා කිරීමේදී ඇතිවන ගැටලු සහගත තත්ත්වයන් තමයි අපිට හුඟාක් මුහුණ දෙන්න සිදුවෙන්නේ. මොකද ඒක සාමූහික ගිවිසුමක්. විශේෂයෙන්ම මේ සාමූහික ගිවිසුම් රාශියක්ම ඇති වුණේ අපේ ලංකා සේව්‍ය සම්මේලනය සහ අපේ බාලාතම්පෝ මැතිතුමා සමග CMU එකේ.

වැඩිම සාමූහික ගිවිසුම් රාශියක්ම අත්සන් කරන්න කම්කරු දෙපාර්තමේන්තුව මේවා ගැසට් කරනවා. ගැසට් කරයින් පස්සේ එක නීතියක් බවට පත්වෙනවා. ඒ නිසා වැඩිම ප්‍රමාණයක් ඒ අවස්ථාවේ ඇති වුණේ අපේ බාලාතම්පෝ මහත්තයා. මට මේ වෙලාවේ ඉතාම ආදරයෙන් සිහිපත් කරන්න ඕනේ අවුරුදු 65 ක්ම CMU සමිතියේ ලේකම්වරයක් හැටියට මම හිතන්නේ වාර්තාවක් පිහිටෙව්වා ශ්‍රී ලංකාවේ ඉතාමත්ම අවංක, දක්ෂ ඒ වගේම ඉතාම වැදගත් වෘත්තීය සමිති නායකයෙක් තමයි බාලාතම්පෝ මැතිතුමා. එතුමා තමයි වැඩිම සාමූහික ගිවිසුම් රාශියක් ශ්‍රී ලංකාවේ අත්සන් කළේ.

මේ අවස්ථාවේ ජාතික කම්කරු උපදේශක සභාව පිළිබඳ වචන කීපයක් ප්‍රකාශ කිරීමට මම කැමතියි. මීට වසර 35 කට ප්‍රථම 1989 තමයි කම්කරු අමාත්‍යාංශය සහ කම්කරු දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින් වෙනත් රටවල ඇති සමාන වෙනත් අනු ආයතන පිළිබඳ අධ්‍යයනය කරලා මේ යෝජනාවලට අනුව 1989 දී තමයි ස්ථාපිත කළේ. මේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ තාක්ෂණික උපදෙස් අරගෙන ඒ වගේම අනිත් රටවල්වල මහින්ද සමරසිංහ මැතිතුමා කම්කරු ඇමතිතුමා කාලයේ අපි විවිධ රටවල්වලට තියෙන NLAC මේ වගේ ජාත්‍යන්තර උපදේශක සභාව පිළිබඳ අධ්‍යනය කරලා මේ මේ පිළිබඳ විශේෂ නැවතත් ඒක restructuring process එකකට ගියා මේ NLAC එක. එය ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අපිට නොයෙකුත් විදියේ තාක්ෂණික සහාය ලබා දුන්නා මේ NLAC එක පිහිටුවීමේදී. විශේෂයෙන්ම නව වැටුප් මේ යාන්ත්‍රණය ඇතිකිරීමේදී මට මතක් වෙනවා සාමූහික කේවල් කිරීම හොඳම තෝතැන්නක් තමයි NLAC එක. ඒක හොඳම මණ්ඩපයක් හැටියට එතෙන්දී සේව්‍ය පක්ෂය ඉන්නවා, පහුගිය කාලයේ වෘත්තීය සමිති 17 ක් පමණ හිටියා. ඒ වගේම ලංකා සේව්‍ය සම්මේලනයේ, වාණිජ මණ්ඩල, ඒවගේම BOI වගේ ආයතන, ඒ වගේම සියලුම රාජ්‍ය නිලධාරීන් එකතු වෙලා තමයි මේ මණ්ඩපය වෙන්නේ.

මේ මණ්ඩපය උපරිම විදියට ප්‍රයෝජනයට ගත්තේ ගරු අග්‍රාමාත්‍යතුමා කම්කරු අමාත්‍යතුමා හැටියට මේ කෝවිඩ් සමයේ ඇතිකරගත්ත ගිවිසුම. මම හිතන්නේ ඒක ඓතිහාසික ඒ වගේම ඉතාමත්ම වැදගත් ගිවිසුමක් හැටියට අපිට අගය කරන්න පුළුවන් අවස්ථාවක්. කොරෝනා සමයේ මේ හාම්පුතුන් තම ව්‍යාපාර කර්මාන්ත අර්බුදයට පත්ව ඇති හෙයින් 1971 අංක 45 දරන සේවය අවසන් කිරීමේ පනත යටතේ සේවකයන් සේවයෙන් ඉවත් කිරීමට ඉල්ලුම් කර සිටියා. මේවගේ අවස්ථාවක් වුනාම සේව්‍යාගේ පාලනයෙන් තොරව වෙනවා නම් අපිට කම්කරු අමාත්‍යංශ කොමසාරිස්තුමාට ඉල්ලීම් කරන්න පුළුවන් සේවය අවසන් කිරීමේ අංශය ඒ පිළිබඳ පරීක්ෂණයක් කරලා ඒ වෙලාවේදී ඒක සාධාරණ නම් ඒ පිළිබඳ අධ්‍යයනය කරල සේවකයින්ට අසාධාරණයක් නොවෙන්න වන්දි ලබා දීලා ඒවගේ කරනවා.

නමුත් ගරු අග්‍රාමාත්‍යතුමා මේ ලක්ෂ 37ක ඒ වෙනකොට මම හිතන්නේ පෞද්ගලික අංශය ලක්ෂ තිස්හතක ප්‍රමාණයක් සේවා නියුක්තියට කිසිම හානියක් නොවන ලෙස ඒ වගේ කම්කරු දෙපාර්තමේන්තුවේ මේ ඉල්ලුම් පත්‍ර භාර ගන්න එපා කියලා කම්කරු අමාත්‍යවරයා හැටියට ගරු අග්‍රාමාත්‍යතුමා ඒ වෙලාවේ උපදෙස් දීලා තිබ්බා.

මම හිතන්නේ මේ වූ තිස්පන් ලක්ෂයක කම්කරුවන්ගෙන් යැපෙන තවත් පවුල් බිලියන 10 කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. මම හිතන්නේ ජීවනෝපාය ඉතාමත්ම අසීරු තත්ත්වය තියෙන අවස්ථාවක කම්කරු දෙපාර්තමේන්තුව උපදෙස් දීලා මේ සේවකයන් ඉවත් කරන්න එපා කියන නියෝගය ලබා දුන්නා. මෙවැනි අවස්ථාවක සමථයකට ගැනීම ප්‍රමාණවත් නීති පද්ධතියක් මෙරට හෝ අසල්වැසි රටවල හෝ ස්ථාපනය වී නෑ. එවන් පසුබිමක ජාත්‍යන්තර කම්කරු ප්‍රඥප්තිය හා විවිධ රටවල් භාවිතයන් අධ්‍යයනය කරමින් මේ අර්බුදයට පිළියම් සෙවීමට ගරු කම්කරු ඇමතිතුමා කටයුතු කරා. ඉන් ප්‍රධානම උපාය මාර්ගය ලෙස එතුමා තෝරා ගත්තේ සාමූහික කේවල් කිරීම උඩ තමයි මේ සියල්ලම කළේ ගරු අග්‍රාමාත්‍යතුමා.

ඒ සඳහා තමන් වසර 50ක අධික කාලයක් වෘත්තීය සමිති ක්‍රියාකාරී නායකයකු ලෙසත්, වාමවාදී අදහසුත්, ඒවාගේම එතුමාගේ තියෙන පරිචය, ඒ වගේම පරිණත බව සහ දූරදර්ශීභාවය පදනම් කරගෙන මේ අවස්ථාවේ මේ අර්බුදය විසඳීමට දැඩි උනන්දුවක් දැක්වූවා, කැපවීමක් දැක්වූවා. මම හිතන්නේ අපේ ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ ගත්කතුවරයා ඒක ඉතාමත්ම හොඳින් පැහැදිලි කරලා තියෙනවා. මෙහිදී කම්කරු ඇමතිතුමා මැදිහත්ව ගරු ජනාධිපතිතුමා සමග අදහස් හුවමාරු කර ගැනීමට සේව්‍ය, සේවක දෙපක්ෂයට අවස්ථාව සලසා දුන්නා. තමන් සභාපතීත්වය දරණ ජාතික කම්කරු උපදේශක සභාවේ එකඟත්වය මත ත්‍රෛපාර්ශවීය කාර්ය සාධක බලකායකුත් පිහිටුවලා ඒ පිළිබඳව කටයුතු කළා. සතිපතා මෙන්ම ඇඳිරි නීතිය තිබෙද්දිත් මේ බලකාය රැස්වූවා. අමාත්‍යතුමා ජාත්‍යන්තර කම්කරු සංවිධානය ද සාර්ක් රටවල කම්කරු අමාත්‍යංශ ද සමඟ සාකච්ඡා කරමින් කාර්මික සම්බන්ධතාවය බිඳ වැටීමට ඉඩ නොදී කාර්මික සාමය පවත්වාගෙන යාමට බලවත් පරශ්‍රමයක් දැරුවා.

මෙම කාර්යසාධක බලකාය විසි වතාවක් සාකච්ඡාවට කැඳවලා කම්කරු අමාත්‍යාංශයේදී ජාතික කම්කරු උපදේශ සභාවේදී සාකච්ඡා කළා. මම හිතන්නේ ඉතාමත්ම ලැබැඳියාවෙන් කම්කරුවන්ට තියෙන ඒවගේම ඔවුන්ගේ ජීවිත, ඔවුන්ගේ පවුල්වල රැකෙන්නන් ගැන කම්කරුවන් සමඟ තියෙන සබඳතාව, ඔවුන්ගේ හද ගැස්ම, ඔවුන්ගේ කඳුලු පිස දාන්නට ගරු කම්කරු ඇමතිතුමා හැටියට අග්‍රාමාත්‍යතුමාට පුළුවන් වුණා.

මෙම කේවල් කිරීමේ ප්‍රතිඵල ලෙස 2020 මැයි මාසයේ 05 වැනි දින ඓතිහාසික සිමූහික ගිවසුමා අත්සන් කරනු ලැබුවා. සේව්‍ය සම්මේලනය වෘත්තීය සමිති අතර එලැඹි මෙම සාමූහික ගිවිසුමට එළැඹි එකඟතා කිහිපයක් තියෙනවා. සේවක කප්පාදුවකින් තොරව ආයතන පවත්වා ගැනීමට හාම්පුතුන්  පොළඹවා ගැනීමට පුළුවන් වුණා. ඒ වගේම වැඩට එන සේවකයන්ට සම්පූර්ණ වැටුප ගෙවීම, සේව්‍යයන්ගේ අවම වැටුමෙන් හරි අඩක් හෝ රුපියල් 14500 යන අගයන්ගෙන් වැඩි අගය ගෙවීම. ඒ වෙලාවෙ තිබුණේ ජාතික අවම වේතනය රුපියල් 13500 යි. ඒකේ 3500 Budgetary relief allowance අයවැය සහන දීමනාව. එතකොට 13500 යි තිබ්බේ ඒකට තවත් රුපියල් 1000ක් එකතු කරලා සේවකයන්ට අසාධාරණයක් නොවෙන විදිහට 14500 කට ගෙනාවා.

සේවකයන්ට නිවෙස්වල සිට වැඩ කරන්නේ නම් ඔවුන්ට 50% ක වැටුපක් ගෙව්වා. මේකෙන් මේ නිවසේ වැඩ කරන සංකල්පය ආරම්භ වන්නේ මෙතන ඉඳලා ශ්‍රී ලංකාවේත්. සේවකයන් ඔවුන්ගේ ජීවනෝපාය කරගෙන යාමට කිසිම අඩුපාඩුවක් නැතිවෙන විදියට ඉතාමත්ම සුරක්ෂිතව මේ අවස්ථාව අපිට හඳුන්වා දෙන්න පුළුවන්. මේ කාර්මික ගිවිසුම කම්කරු කම්කරු ඉතිහාසයේ අද්වතීය ස්ථානයක් හිමි කරගන්නේ එවන් බැරෑරුම් ආර්ථික අවපාතයකදී පවා 37 ලක්ෂයක රැකියා සුරක්ෂා කරමින් සේවක අයිතීන් රැක දීමට එය සමත් වූ බැවිනි.

2008 ලෝක ආර්ථික අවපාතයක් වුණත් මේ වගේ අමාරු තත්ත්වයක් ඇති වුණේ නෑ ශ්‍රී ලංකාව. මේ කෝවිඩ් වසංගතයත් ඒ වගේම, රට මුහුණ දුන්නු ආර්ථික අහේනියත් නිසා ඉතාමත්ම අමාරු තත්ත්වයක් තියෙන අවස්ථාවක ගරු අග්‍රාමාත්‍යතුමාගේ තියෙන පරිණත බුද්ධියත්, ඒවගේම වාමවාදී සංකල්පයත් කම්කරුවන් කෙරෙහි තියෙන ඔවුන් ආරක්ෂා කිරීමේ දැඩි උවමනාවත් නිසා සියලුම සේව්‍යයන් මේකට එකඟ කරගන්න පුළුවන් වුණා. සාමාන්‍යයෙන් බොහොම  NLAC (ජාතික කම්කරු උපදේශක සභාවේ) එකේ තියෙන අත්දැකීම් තමයි සේව්‍ය පක්ෂය ඒ වගේ එකඟ කර ගන්න ටිකක් අසීරුයි. මොකද ඒ අයගේ ව්‍යපාර. ව්‍යපාරයත් ආරක්ෂා වෙන්න ඕනේ ඒ වගේම සේවක පක්ෂයත් ආරක්ෂා වෙන්න ඕනේ.  එහෙම අතරමැදි මාවතක් දිගේ මේ කාර්යය කිරීම ගරු අගමැතිතුමා ගරු කම්කරු ඇමතිතුමා හැටියට එතුමා ඉතාමත්ම සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරනු ලැබුවා.

දැනට මේ වගේම තව අවස්ථාවක් තියෙනවා දැනට පෞද්ගලික අංශයේ වැඩ වර්ජන නොමැති තත්ත්වයක් වගේ. එහෙත් රාජ්‍ය අංශය ගත්තම වැඩ වර්ජන, පිකෙටින්, සෙමින් වැඩ, සේවක ලෙඩ නිවාඩු, සිට් ඩවුන් ස්ට්‍රයික් මේ වගේ නොයෙක් විදිහේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නවා. මේ නිසා රාජ්‍ය අංශය අද ඉතාමත්ම අසීරු තත්ත්වය තියෙනවා. ජන ජීවිතය ඉතාමත් සේවකයන්ට විශේෂයෙන්ම වැඩියෙන්ම මහජනතාවත් එක්ක සේවය ලබාගන්න සෞඛ්‍ය, අධ්‍යාපන, ප්‍රවාහන මේ අංශයක් දිහා බැලුවම වැඩ වර්ජන වැඩිම සංඛ්‍යාවක් තියෙනවා. පෞද්ගලික අංශයේ ඒ වගේ වැඩ වර්ජන නෑ. ඒ වගේම තමයි මේ රාජ්‍ය අංශයේ මෙච්චර වැඩ වර්ජන වෙද්දීත් කිසිම දත්ත පද්ධතියක් නෑ. මෙකද විශ්ලේෂණය කරලා කොච්චර මිනිස් දින ගානක් අහිම වෙනවද, කොච්චර ආර්ථිකයට බලපෑමක් තියෙනවද කියල ගණනය කරන්න ක්‍රමවේදයක් නෑ. මේ නිසා අපේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ Decent work policy, සුනිසි මෙහෙවර ප්‍රතිපත්තිය යටතේ ගරු අග්‍රාමාත්‍යතුමා රාජ්‍ය පරිපාලන ඇමතිතුමා හැටියට දැන් අලුතෙන්ම වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. අර කෝවිඩ් සමයේ අත්සන් කළ සාමූහික ගිවිසුමට නොදෙවෙනි අද්විතීය වැඩසටහනක් දැන් ආරම්භ කරලා තියෙනවා රාජ්‍ය සේවයට.

විශේෂයෙන්ම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ තාක්ෂණික හා මූල්‍ය සහය ලබාගෙන අපි එකේ නියමු වැඩසටහන පටන් ගත්තා සෞඛ්‍ය අමාත්‍යංශය හා ප්‍රවාහන අමාත්‍යාංශයේ. එවයේ වෙනමම මේ සඳහා ඕස්ට්‍රේලියාවෙනුත් ඒ වගේම නව දිල්ලියෙනුත් විශේෂඥයින් ඇවිල්ලා වෙනම වැඩසටහනක් ආරම්භ කරලා මේ වැඩපළවළ සංසද පිහිටෙව්වා. ඒක තියෙන්නේ දිවි පාර්ශවීය නියෝජනයක්. මොකද කළමනාකරිත්වය හා සේවකයන් අතර දුරස්ථ භාවය වැඩියි. කිසිම ගැටලුවක් ප්‍රශ්නයක් තිබුණත් සාකච්ඡා කරන්න මණ්ඩපයක් ණෑ. ඒ සඳහා අපි සංසද පිහිටෙව්වා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෝමාගම රෝහලත්, ඒ වගේම අපේ කළුබෝවිල රෝහලේත් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සංසද පටන් ගත්තා. ඒ වගේම පටන් ගත්තා අපි ප්‍රවාහන අමාත්‍යාංශයේ රත්මලාන අංගනයේත්, ඒ වගේම මාලිගාවත්ත අංගනයේත්. ඒවා ඉතාමත්ම සාර්ථක ප්‍රතිඵල තියෙනවා.

ගරු අග්‍රාමාත්‍යතුමනි, ඔබතුමා මේ ආරම්භ කළ මේකෙන් පුද්ගලික අංශය වගේම රාජ්‍ය අංශයෙත් වැඩ වර්ජනය අවම කරගන්න අපිට හැකිවෙනවා. මොකද 70% ක්ම සේවකයන් නියෝජනය වෙන්නේ සෞඛ්‍යය, අධ්‍යාපන, ප්‍රවාහන ඒ වගේම බලශක්ති  අමාත්‍යංශවල මේ අමාත්‍යාංශවල මේ තියෙන වැඩවර්ජන සංඛ්‍යාව වැඩිවීම නිසා මහජනතාවට ජන ජීවිතයට ඉතාමත්ම අහිතකර බලපෑමක් තියෙනවා. ඒ නිසා මේ තත්ත්වය නැතිකර ගැනීමට ඔබතුමාගේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන මේ පිළිගත්ත Social dialog and work plays corporation සමාජ කතිකාවත හා වැඩබිම සේවා ස්ථාන සහයෝගීතා ව්‍යාපෘතිය තුළින් මම හිතන්නේ ඉදිරියේදී විශාල මෙහෙයක් ඉටු කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා රාජ්‍ය අංශයේ.

ඒවගේම මේ පොත් පිංච අතීත සිදුවීම් මාලාවක වාර්තාවක් පමණක් නොව වැඩ ලෝකයේ සියළුම හවුල්කරුවන්ට මහඟු සම්පතක්. එය කාර්මික සම්බන්ධතාවයේ යහපත් භාවිතයන්හි සාරයෙන් ග්‍රහණය කර ඇත. ඒවගේම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ මහතා බොහෝ දෙනකුගේ ඇස නොගැටෙන විෂයක් අධ්‍යයනය සඳහා බඳුන් කොට මේ අසීරු කාර්යභාරය මැනවින් සවිස්තරාත්මකව පෙළගස්වලා තියෙනවා. එය අගය කළ යුතු කරුණක් වගේම අධ්‍යයනය කරන පාර්ශවයන්ට මේ පොත ඉතාමත්ම මහොපාකාරී ග්‍රන්ථයක් වනු ඇතැයි කියලා මා විශ්වාස කරනවා.”

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සංගමයේ සම ලේකම් ඇන්ටන් මාර්කස් මහතා….

මම හිතන්නේ අපි කෝවිඩ් කාලයේ  මුහුණ දුන්නු ප්‍රධාන ප්‍රශ්න තුනක් තිබෙනවා. එකක් තමයි අපේ සාමාජිකයින්ගේ නැත්නම් සේවකයින් කොහොමද  කෝවිඩ් උවදුරින් ආරක්ෂා කර ගන්නේ. දෙවෙනි එක තමයි ඔවුන්ගේ රැකියාවල් සුරක්ෂිත කරගන්නේ කොහොමද? තුන්වෙනි එක තමයි ඔවුන්ගේ ආදායම් සහතික කරගන්නේ කොහොමද කියන එක.

 මේ පිළිබඳව අපි දීර්ඝ විදියට සාකච්ඡා කෙරුවා. අපි දන්නවා ආයතනවලින් යෝජනා කෙරුවා, මොකද ආණ්ඩුව කිව්වම සමාජ දුරස්ථභාවය රැකීම සඳහා 50% යි සේවකයන්ව සේවයට කැඳවන්න ඕනෙ කියලා. ඉතුරු 50%ට සේවයට නොකැඳවන සේවකයින්ට මොකද වෙන්නේ කියන බරපතළ ප්‍රශ්නයට අපි මුහුණ දුන්නා. ඒ අවස්ථාවේදී ගරු අග්‍රාමාත්‍ය, එවකට හිටපු කම්කරු අමාත්‍යතුමා සමඟ අපි  වෘත්තිය සමිති ඒ වගේම සේවා යෝජකයින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තමයි අපි එකඟ වුණේ 50%ක් සේවයට කැඳවනවා නම් අපි මාරුවෙන් මාරුවට සේවකයන් සේවයට කැඳවන ක්‍රමයට අපි එකඟ වුණා. ඒ අනුව සති දෙකක් සේවයට කැඳවද්දි ඉතුරු සති දෙක ගෙවල්වල ඉන්නවා.

එතකොට ඒ ගෙවල්වල ඉන්න සති දෙක තුළ තමයි අවම වැටුපෙන් 50%ක් හෝ රුපියල් 14,500න් අඩක් ගෙවන්න ඕන කියලා තීරණය වුණේ. ඒ අනුව ඇත්ත වශයෙන්ම ගෙදර හිටියත් සේවකයින්ට රැකියාවක් සුරක්ෂිත කර ගනිමින් 75%ක ආදායමක් සහතික කරන්න අපිට හැකියාව ලැබුණා.

 ඉතින් මම හිතන්නේ එදා ඒ ගිවිසුමට, අවබෝධයට අපිට එන්න බැරුව ගියා නම් විශාල පිරිසකගේ රැකියා අහිමිවීමේ අභියෝගයක්, තර්ජනයක් අපට තිබුණා. ඉතින් ඒ අනුව අපි හිතුවා සමාජ වගකීමක් තියෙනවා වෘත්තීය සමිති හැටියට. ඒ සමාජමය වගකීම ඉටු කිරීම සඳහා තමයි ඒකට එකඟ වුණේ. ඔව් අපි දන්නවා අපිට බරපතල චෝදනාවලට අපිව ලක්කෙරුවා සමහර වෘත්තිය සමිති. අපිට කිව්වා අපි පාවලා දුන්නා කියලා වෘත්තිය සමිති. නමුත් අපි දන්නවා අපි කරපු දේ හරි ඒක නිවැරදි බව අදත් ඔප්පු වෙනවා.”

ලංකා සේව්‍ය සම්මේලනයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජ්‍යෙෂ්ඨ නීතීඥ කණිෂ්ක වීරසිංහ මහතා…

ගරු අග්‍රාමාත්‍යතුමනි, විශේෂ ආරාධිත අමුත්තනි , මගේ මිත්‍ර ඇන්ටන් මාර්කස් මහතා කිව්වා වගේ ඒ කෝවිඩ් අවධිය අපි හිටපු අවස්ථාව ඉතාම අවදානම් තත්ත්වයක තිබුණේ, රටේ ආර්ථිකයයි   මුළු රටමයි. ඉතින් ඒ අවස්ථාවේදී ගරු අග්‍රාමාත්‍යතුමාගේ මැදිහත්වීමෙන් අපිට ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමකට එළඹිලා සේවකයනුත්,  ඒ වගේම ව්‍යාපරත් රැක ගැනීමට හැකිවීම ඉතාම ලොකු කර්තව්‍යයක් වුණා.

 ඒ අවස්ථාවේදී පරිණත දේශපාලනඥයෙක් විදියට එතුමා දන්නවා, අග්‍රාමාත්‍යතුමා දන්නවා කම්කරුවන්ගේ ප්‍රශ්න. ඒ වගේම ව්‍යාපාරවල ප්‍රශ්න. ඒ අවස්ථාවලදී එතුමා අපිට මගපෙන්වලා දුන්නා කොහොමද මේක, අපි මේක ඇත්ත වශයෙන්ම කළේ Out of the box කියලා අපි කියනවා. කවදාවත් ලෝකයේ තිබ්බ දෙයක් නෙමෙයි මෙවැනි Agreement  එකක්.

ඒ වගේම මම කියන්න ඕනේ සමහර අය නොදන්නා දෙයක්. ඒ තමයි ලංකා සේව්‍ය සංමේලනයට, මාර්කස් මහතා වගේ වෘත්තීය සිමිති නායකයන්ට  ඒගොල්ලන්ගේ වෘත්තීය සමිතිවලින් චෝදනා එල්ල වුනා වගේ ගොඩක් දෙනෙක් අපිට චෝදනා එල්ල කළා, ඇයි නීතිය මත ගිය නැත්තේ? Law of frustration මත ගියේ නැත්තේ කියලා මට ජ්‍යෙෂ්ඨ   නීතිඥයින්ගෙන් සහ ව්‍යාපාර ක්ෂේත්‍රයෙන් අපි සෑහෙන්න බැනුම් ඇහුවා. නමුත් අපිට අමතක කරන්න බැරි තත්ත්වයක් තිබුණේ.

අපි ඒ පියවර අරගෙන සේවා යෝජකයින් හැටියට නියෝජනය කරන නියෝජිතයින් හැටියට අපි ඒ පියවර අරගෙන සමාජය ගැන හිතලා, රට ගැන හිතලා කටයුතු කරන්න ඕනේ කියන එක සේවායෝජකයින් අපි නියෝජනය කරන සේවා නියෝජිකයින් සියලු දෙනාම එක හඬින් කිව්වා. ඒ වගේම මාත් එක්ක මෙතන ඉන්නවා ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ (JAAF) ප්‍රධාන ලේකම් යොහාන් ලෝරන්ස් මහත්මයා. එතුමා සහ තවත් ව්‍යාපාර ක්ෂේත්‍රය නියෝජනය කරන ගොඩක් අය හිටියා ඒ අවස්ථාවේදී. වැවිලි ක්ෂේත්‍රය  නියෝජනය කරන අය හිටියා. ඒ ඔක්කොම එක හඬින් කිව්වා ගරු අග්‍රාමාත්‍යතුමා, එවකට  කම්කරු ඇමැතිතුමා කරපු යෝජනාව පිළිගෙන අපේ රට ගොඩ නගමු කියලා. ඒ අවස්ථාවේදී අපිට Direction  එක නැත්නම් ඒ යොමු කිරීම මහඟු කර්තව්‍යක් වුණා, ගරු අග්‍රාමාත්‍යතුමා කරපු ඒ කර්තව්‍ය.”

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ මහතා කොරෝනා අවධියේ මමත් පෞද්ගලික අංශයේ මාධ්‍ය ආයතනයක සේවය කළේ. පෞද්ගලික අංශයේ ලක්ෂ 35ක රැකියා තර්ජනයට ලක් වුණා ඒ වෙලාවේ. විශේෂයෙන් ඇඟලුම් ක්ෂේත්‍රයේ. ඒ වෙලාවේ වෘත්තීය සමිති, හාම්පුතුන්, රජය අතර ඇති වුණු මේ සුවිශේෂී  ඓතිහාසික ගිවිසුම ගැන පර්යේෂණයක් කරලා, මේ කෘතිය සම්පාදනය කළේ මෙහි ඇති ප්‍රායෝගිකත්වය අද දවසටත් ඉතා වැදගත් නිසා. ජාතික ආර්ථිකයට හානි නොකර, ජාතික දේපොළවලට හානි නොකර, සාකච්ඡාවෙන් කාර්මික සාමය ඇති කර ගත් මේ අවස්ථාව ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම පළමු අවස්ථාව. එකල කම්කරු ඇමතිවරයා වූ  අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම කාර්යයේ නායකත්වය ගත්තා. මෙම කෘතිය ප්‍රකාශයට පත් කිරීමට භාර ගත් දෙසරැස, දේශීය සම්පත් රැක ගැනීමේ සංවිධානයට විශේෂ ස්තූතිය පිරි නමනවා.  ඡායාරූප සොයා ගැනීමට උපකාර කළ යදාමිණී ගුණවර්ධන මන්ත්‍රීතුමාටත් ස්තූතිය පිරිනමනවා.”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress