ජනපති ක්‍රමය නිසා පාර්ලිමේන්තු බලය දුර්වල විය යුතු ද?
Posted on August 25th, 2024
මතුගම සෙනෙවිරුවන්
ලංකාවේ නව වන ජනපතිවරයා තෝරාපත් කර ගැනීම පිණිස ජනපතිවරණය ආරම්භ වී ඇති අවස්ථාවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය වැදගත් තීන්දුවක් දී ඇත.2023 පළාත් පාලන චන්දය නොපැත්වීම නිසා ජනධිපතිවරයා වශයෙනුත් මුදල් ඇමතිවරයා වශයෙනුත් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බව එම තීන්දුවෙන් ප්‍රකාශයට පත් කර තිබේ.ලංකාව පුරා සිටින චන්ද දායකයන්ගේ බහුතර චන්දයෙන් පත්වන ජනාධිපතිවරයෙකු ජනතා පරමාධිපත්‍ය නොසලකා හැරීම බරපතල කරුණකි.නමුත් තමන් ඒ ගැන කණගාටු නොවන බව ජනාධිපතිවරයා පවසා ඇත.
ජනපතිවරණය සඳහා .අපේක්ෂකයන් තිස් නව දෙනෙකු මේ අවස්ථාවේ දී චන්ද ප්රචාරක රැස්වීම් පවත්වමින් ජනතාවට කරුණු පැහැදිලි කරමින් සිටීන අතර ජනපතිවරණය සඳහා වියදම් කළ යුතු උපරිම මුදල පිළිබඳ මැතිවරණ කොමිසම විසින් ගැසට්ටුවක් පළ කර තිබුණද මේ වන විට කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වියදම් කරමින් ඇතැම් අපේක්ෂකයන් සිය ප්රචාරක රැළි පවත්වමීන් සිටී.මෙවර ජනපතිවරණ ප්රචාරක ව්‍යාපාරය පක්ෂ වල සාමාජිකයන්ගෙන් බැහැරව පොස්ටර් මුද්‍රණය කරන අලවන සහ කූඩාරම් සවි කරන කොන්ත්‍රාත්කරුවන් සතු වූ බවක් දක්නට ලැබේ.ඒ නිසා කොයි තාක් දුරට ජනපතිවරන වියදම් නියාමනය වේ දැයි සැකයක් ඇතිව තිබේ. මන්ද සියලුම් වියදම් ලේඛන ඉදිරිපත් කිරිමට නියම කර තිබෙන්නේ ජනපතිවරණය අවසන් වී නව ජනපතිවරයෙකු පත් වී වීමෙන් පසුව වීමයි. එවිට මැතිවරණ කොමිසමේ බලය ද අවසන් වී ඇත.
ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් අතරින් බොහෝ දෙනෙකු ගේ ප්‍රකාශ දෙස බලන කල්හි අපට වැටහෙනුයේ පත්වන පුද්ගලයා විසින් රට සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට මූලිකත්වය ගන්නා බවයි. දූෂණය නැති කිරීම., ආර්ථිකය ශක්තිමත් කිරීම, නීති සම්මත කර ගැනීම,.මත්ද්‍රව්‍ය පාලනය, සමූපාකාර ව්‍යාපාරය ශක්තිමත් කිරීම, අධ්‍යාපනයට පහසුකම් වෙන් කිරිම, බදු අඩු කිරීම, පඩි වැඩි කිරීම, ව්‍යවසායකත්ව රාජ්‍යය ආදී දහසකුත් කාරණා තමන් ගේ මූලිකත්වයෙන් සිදු කරන ආකාරය ප්රකාශනය වන බව පෙනේ. පසුගිය කාලයේ රට කරවූ රජයයන් විසින් අනුගමනය කරන ලද වැරදි ප්‍රතිපත්ති නිසා රට බංකොලොත් භාවයට පත් වීම මෙන්ම ණය ගැති භාවයට පත් වීම ආදී කරුණු නිසා රට තුළ ඇති වූ ව්‍යකූලත්වය පිළිබඳව සියලුම දෙන හට අවබෝධයක් තිබේ.ඒ සියලු කාරණා වලට මූලික වූයේ සොරකම් සහ විධායක ජනපතික්‍රමය යයි යන මතය බොහෝ පිරිසක් විසින් සමාජ ගත කරති. විද්‍යුත් මාධ්‍යන් තුළ මේ මතය පට්ටා ගසන අයුරු අපට පෙනේ.මෙලෙස මේ කරුණු එක් තැනකට පමණක් ඌණනය කිරිම කෙතරම් සාධාරණ වන්නේ ද යන්න අප සාකච්ඡා කල යුතුයි. ජනපතිවරයෙකු පත් වූ පසු ව්‍යවස්ථාදායකයෙන් සහ අධිකරණයෙන් ප්‍රයෝජනයක් නැති බව ගම්‍ය වන ප්‍රකාශ කිරීම භයානකය.ජනපතිවරණයෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ගරු කරමින් පළාත් පාලන චන්දය පැවැත්විය යුතු බැවින් පවතින පාර්ලිමේන්තුව මත කටයුතු කිරීමට අභිනව ජනාධිපතිවරයා සිදු වන නිසා ඒ තත්වය තවත් භයානකය.
අතීතයේ දී මෙරට පාලනය කරලීම පිණිස ලිඛිත ව්‍යවස්ථාවක් නොතිබුණු බව දේශපාලන විද්‍යාවේ දී උගන්වයි. එය අර්ධ සත්‍යයකි. රටේ පාලනය පිළිබඳ යම් යම් කරුණු ශිලාලේඛන වල සටහන් කොට ආඥාවන් වශයෙන් ප්‍රකාශ කිරීම පෙර සිරිත විය.රජු බෝධිසත්ව ගුණයෙන් හෙබිව කටයුතු කළ යුතු බවට එලෙස ව්‍යවස්ථා කොට ඇත. ආදායම සතර කොටසකට බෙදා අයවැය සමබර කරගන්නා ආකාරය ගැන මිහින්තලේ ශිලා ලේඛනයකින් ආදර්ශ පෙන්වා ඇත.රජතුමා අමාත්‍ය මණ්ඩලය සහ ශික්ෂු සංස්ථාව අතර පැවතිය යුතු සංවරණය හා තුලනය ගැන මල්වතු විහාර කාරක සංඝ සභාව ලන්දේසි ආණ්ඩුකාර ෆැල්ක්ට ප්‍රකාශ කර ඇති ආකාරය(Some Institutions And Popular Rights ) නම් ලියැවිල්ලේ දක්නට ඇත.ඒ නිසා රජුට දඩයක් නියම කිරීමට පවා අමාත්‍ය මණ්ඩලයට හැකියාවක් තිබුණි.ප්රජාතන්ත්රවාදී සමාජයක් නොතිබුනා යැයි කිවූවද ගැමියෙකුට වූ අසාධාරණයකට විරුද්ධව රජුට සැළ කර සිටීමට අයිතියක් තිබුණි.පෙර සිරිත මත සියල්ල සිදු වූ බව ශිලා ලේඛනයන්හි කොටවා ඇත.
1815 දී ලංකාව පවරා දුන් රාජ්‍යයක් (Ceded Colony ) විය.නමුත් පසුව ඉංග්‍රීසින් කටයුතු කරන ලද්දේ ලංකාව යටත් විජිතයක් ලෙසටය. ඒ අනුව විසිවන සියවසේ මුල් භාගයේ දී රැජිනට වග කියන රාජ්‍ය මන්ත්‍රණ සභාවක් බිහි කර ඉන් අනතුරුව සෝල්බරි ව්‍යවස්ථාව යටතේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සමන්විත පාර්ලිමේන්තුවක් ඇති කරන ලද්දේය.මේ ව්‍යවස්ථාව තුළ මන්ත්‍රීවරුන් තෝරන ක්‍රමයක් තිබුණද ඒ මන්ත්‍රී වරුන් පත් වූ පසු මන්ත්‍රණ සභාවේ කටයුතු වලට ඇඟිලි ගැසීමට වැසියන්ට අවස්ථාවක් ලැබුණේ ඉතා සීමිතවයි.සෝල්බරි ව්‍යවස්ථාවේ තිබූ එක් වැදගත් ප්රතිපාදනයක් නම් රජයේ විගණක වරයා සෘජුව පාර්ලිමේන්තුවට සිය විගණන වාර්තා ඉදිරිපත් කිරිමට තිබූ හැකියාවයි.එය සොල්බරි ව්‍යවස්ථාවේ 71 වගන්තියේ සඳහන්ය. මේ ප්රතිපාදනය ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා සම්පාදානය කරන ලද 1972 ව්‍යවස්ථාවේ 90 වන වගන්තියෙන් වෙනස් කර අමාත්‍යවරයා වෙත පවරා ඇත. එසේම යම් සංවර්ධන කටයුත්කදී කළයුතු විගණනයන් බාහිර විගණක වරයෙකු ලවා කරවා ගෙන ඉදිරිපත් කිරීමට හැකිවන පරිදි නීති සම්පාදනය විය.එයම 1978 ව්‍යවස්ථාවටත් ඇතලත් වී ඇත. මෙයින් සිදුව තිබෙන්නේ විගණකාධිපතිවරයාට ලබා දී තිබූ ස්වාධීන බලය අහෝසි කිරීමයි.සංවර්ධන කටයුතු වලදී වංචනික ක්‍රියා සිදු කිරීමට මෙයින් අනුබල ලැබුණි.
සොල්බරි ව්‍යවස්ථාවේ දක්වන තවත් වැදගත් වගන්තියක් වූයේ පාර්ලිමේන්තුවට නුසුදුස්සකු වුවහොත් දඬුවමක් පනවන ආකාරයයි. යම් කිසි මන්ත්‍රීවරයෙකු යම් නීතියකින් වැරදිකරුවකු වූ විට ඔහු හෝ ඇය දිගින් දිගටම පාර්ලිමේන්තුව නියෝජනය කරයිද ඒ එක් දිනකට රුපියල් පන්සීයක දඩයකට ඔහු යටත් විය යුතු බව එහි දක්වා ඇත. විධායකය හෝ ව්‍යවස්ථාදායකය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු කරන ලද එවැනි වැරැද්දකට විරුද්ධව පුරවැසියෙකුට දිසා අධිකරණයට යෑමේ හැකියාව තිබුණි. මෙම ප්රතිපාදනය ද 1972 ව්‍යවස්ථාවෙන් වෙනස් කරන ලද අතර පුරවැසියාට තිබූ අයිතිය නීතිපතිවරයා වෙත පවරා දෙන ලද්දේය.මෙයින් සිදු වූයේ සිවිල් හෝ අපරාධ දඬුවම් ලැබූ පුද්ගලයන්ට පවා පාර්ලිමේන්තුව තුළ රැඳීසිටීමට අවස්ථාව සැලසීමයි. 1978 ව්‍යවස්ථාවෙන් එයට තව තවත් පලිප්පු දමා ඇත.අබේරත්න පිලපිටිය මන්ත්‍රීවරයාගේ සිට වර්තමාන ප්‍රසන්න රණතුංග සහ කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා දක්වා නසුදුස්සන්ට තම බලය පවත්වාගෙන යෑමට ඒ ප්රතිපාදනයන් ඉවහල් වී ඇත.සැබවින්ම මේ තත්වය ජනපති ක්රමයේ ප්‍රශ්ණයක් නොවේ.
නියෝජිත ප්රජාතන්ත්රවාදය බ්‍රිතාන්‍යයන්ගෙන් අපට හිමිවූ දෙයකි. රැජිනගේ ආණ්ඩුවේ වරප්‍රසාද භුක්ති විඳි මන්ත්‍රීවරු අදටත් ඒ හිමිකම් ලබා ගනිති.ජනතාවට එයට එරෙහිව යෑමට තිබෙන්නේ සීමිත අවකාශයක් පමණි. එනම් මූලික අයිතිවාසිකම් නඩුවකදී නැතිනම් ජනමතවිචාරණයකදී හෝ මැතිවරණයකදී පමණි.ජනතා පරමාධිපත්‍ය යනුවෙන් වචනයක් මුද්‍රණය වී තිබුණද සෝලබරි ව්‍යවස්ථාවේ තිබූ බලයද නැති කර දමා ඇත. මේ රට මේ තරම් පස්සට ඇද දැමීමට හේතු කාරණා ගොඩනැගුණේ පාර්ලිමේන්තු පරමාධිකාරී බලය ඒකාධිපතිත්වයකින් යුක්තව ක්‍රියාත්මක වීමෙනි.රටට අහිතකර පනත්, සදාචාරයට අහිතකර සමලිංගික ක්‍රියා පිළිබඳ පනත්, රාජ්‍ය දේපළ විකුණන පනත්, මෙන්ම රටේ නායකත්වයට අනවශ්‍ය බලය ලබාදෙන පනත් සම්මත වූයේ ජනතාව දැනුම්වත් වීමෙන් නොවේ. වර්තමාන ජනපතිවරයා සිය බලය අව භාවිත කරමින් මුදල් ඇමති වරයා වශයෙන් පළාත් පාලන මැතිවරණයට මුදල් නොදීම ජනතා පරමාධිකාරී බලය නොසලකා හැරීමකි.එම තීරණයට ව්‍යවස්ථාදායකයද හවුල් වී තිබේ.පාර්ලිමෙන්තුව ජනතාවට ගරු කලේ නම් විධායකයේ තීරණයට එරෙහිව යෝජනාවක් සම්මත කර ගැනීමට හැකියාව තිබුණි.එසේම මෙම ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ද සිය ප්‍රතිපත්ති වලදී සියලුම රාජ්‍ය යුතුකම් ජනපතිවරයා වශයෙන් ඉටු කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි දැන්වීමම වැරැද්දකි. ස්විස්ටර්ලන්තයේ මෙන් සෘජු සංවරන හා තුලනය සහිත ව්‍යවස්ථාවක විධායකය ,ව්‍යවස්ථාදායකය ,අධිකරණය මෙන්ම පුරවැසියාගේ පරමාධිකාරී බලය ද පෙර සිරිත අනුව යමින් ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලා අනුදැන වදාරන ආකාරයට ධර්ම මාර්ගයේ යෑමද සිදු වන්නේ නම් ජන සම්මතවාදය යථාර්තයක් කළ හැකි වන බව පැවසිය හැකිය.එහෙත් ඛේදනීය කරුණ වන්නේමේ චන්ද ව්‍යාපාරය තුළ සාකච්ඡා වන්නේ ව්‍යවස්ථා අක්මුල් උදුරා රට ආරාජික කිරීම සඳහා වන ගමන් මාර්ගයකි.ජනතා පරමාධිකාරී බලය යනු කුමක් දැයි නොදන්නා ජනතාවක් සිටින රටක බොරුව ඇත්ත කිරීම මහ කජ්ජක් නොවේ.
මතුගම සෙනෙවිරුවන්