මැතිවරණ තුල මාධ්‍ය හැසිරීම නිරීක්ෂණ මධ්‍යස්ථානය
Posted on August 30th, 2024

මැතිවරණ මාධ්‍ය නිරීක්ෂණ සහ ඡන්දදායකයන් දැනුවත් කිරීමේ මධ්‍යස්ථානය

කීර්තිමත් මාධ්‍ය විශේෂඥයන් පිරිසක් විසින් මාධ්‍ය වෘත්තීය භාවය ඉහළ නැංවීම සහ මැතිවරණයට අදාළ මාධ්‍ය  ආවරණයේ දී මාධ්‍ය ආචාර ධර්ම සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වලට අනුගත වීම සහතික කිරීම සඳහා මැතිවරණ මාධ්‍ය නිරීක්ෂණ සහ ඡන්දදායකයන් දැනුවත් කිරීමේ මධ්‍යස්ථානයක් පිහිටුවා ඇත.

මැතිවරණ මාධ්‍ය නිරීක්ෂණ සහ ඡන්දදායකයන් දැනුවත් කිරීමේ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වන්නේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතාය. විෂය ප්‍රාමාණික විද්වතුන් සහ ජේෂ්ඨ මාධ්‍යවේදීන්ගෙන් සමන්විත මැතිවරණ මාධ්‍ය නිරීක්ෂණ සහ ඡන්දදායකයන් දැනුවත් කිරීමේ මධ්‍යස්ථානය , වත්මන් ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ මාධ්‍ය නිරීක්ෂණයට අදාළ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මේ සතියේ මැතිවරණ කොමිෂන් සභාව හමුවීමට නියමිතය.ඔවුන් අනෙකුත් ප්‍රදේශීය මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් සහ යුරෝපා සංගමය සමඟ ද අදහස් හුවමාරු කර ගනු ඇත.

  ජනමාධ්‍ය  මගින් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණවල තීරණාත්මක කාර්යභාරයක්  ඉටු කෙරෙන බව හඳුනාගෙන ඇත.මේ අනුව, මැතිවරණ පරිපාලකයන් ලෙස ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව ඉදිරි ජනාධිපතිවරණ කාලය තුළ යහපත් පරිචය පිළිබඳ  මාධ්‍ය වෙත මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

මෙම තත්ත්වයන් තුළ මැතිවරණ සමයේ දී මාධ්‍ය හැසිරීම් සියල්ල නිරීක්ෂණය කිරීම සහ සමාලෝචනය කිරීම අවශ්‍ය වන අතර මාධ්‍යවල සදාචාරාත්මක හා සදාචාර විරෝධී හැසිරීම් පිළිබඳ ව මැතිවරණ කොමිෂන් සභාව සහ රටේ ජනතාව දැනුවත් කිරීම අවශ්‍ය වේ. ‘මැතිවරණ මාධ්‍ය නිරීක්ෂණ සහ ඡන්දදායකයින් දැනුවත් කිරීම’ ලෙස නම් කෙරුණු මෙම මධ්‍යස්ථානය එකී අරමුණින් පිහිටුවා ඇත.

එහි අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ශක්තිමත් කිරීම සඳහා සදාචාරාත්මක සහ වෘත්තීය මාධ්‍ය ප්‍රමිතීන්ට අනුගත වන්නා වූ වඩා යහපත් ජන මාධ්‍ය ක්‍රියාකාරිත්වයක් සඳහා වන විනයගරුක දේශපාලන සංස්කෘතියක් සහතික කිරීම වේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress