ඉන්දීය සිනමා තරුව ශ්‍රී ලංකාවේ බෞද්ධ වන්දනා ගමන් අරඹයි.
Posted on September 5th, 2024

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටයේ සිද්ධාර්ථ කුමරුගේ චරිතයට පණ පොවමින් ඉන්දීය ජනාදරයට පත් සිනමා නළු ගගන් මලික් ඉන්දියාවේ මහාරාෂට්‍ර, මධ්‍ය ප්‍රදේශ් සහ තෙලිංගානා යන ප්‍රදේශවල බෞද්ධ වන්දනාකරුවන් 65 දෙනෙකු සමඟ 2024.09.04 දින කොළඹ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු විය.

ඉන්දීය බෞද්ධයන් සමඟ ශ්‍රී ලංකාවේ වන්දනා ගමනක් අතරතුර සිනමා නළු ගගන් මලික් අග්‍රාමාත්‍යවරයා හමුවිය.  

බෞද්ධ වන්දනා නඩය පිළිගනිමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මෑත කාලයේ දී ශ්‍රී ලංකාවට පැමිණි විශාලතම බෞද්ධ වන්දනා කණ්ඩායම මෙය බැවින් ඔවුන් හමු වීමට තමන් තීරණය කළ බව යි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ම බැඳීම බුදුදහම වන අතර බුදුන් වහන්සේගේ ඉගැන්වීමේ ශ්‍රේෂ්ඨතම දායාදය අපට ලබාදුන් ඉන්දීය අශෝක අධිරාජ්‍යයාට සහ ඔහුගේ පුත් මිහිඳු මහරහතන් වහන්සේට අපි සදාකාලික ව ම කෘතඥ වෙනවා,” යි අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

රංගන ශිල්පී ගගන් මලික් පැවසුවේ බුදුදහම ප්‍රචාරය කිරීමටත් ශ්‍රී ලංකාව ඉන්දියාව සහ ලෝකය තුළ ප්‍රචලිත කිරීමටත් තමන් පූර්ණ කැපවීමෙන් කටයුතු කරන බව යි. තමන් මෙම විශාල වන්දනා නඩය ශ්‍රී ලංකාවට කැඳවාගෙන පැමිණියේ ඒ නිසා බව ද ඔහු වැඩි දුරටත් පැවසී ය. ඉන්දියාවේ මිලියන ගණනක් බෞද්ධයන් සිටින බැවින් බෞද්ධ වන්දනා චාරිකා සඳහා විශාල විභවයක් පවතින බව ඔහු පෙන්වා දුන්නේය. 

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අනීතා ප්‍රමෝද් නම් වන්දනාකාරිය පැවසුවේ දළදා මාලිගාවේ බුදුන් ගේ පූජනීය ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමේ තම ආශාව ඉටුකර ගැනීමට හැකි වීම ගැන තමා අතිශයින් සතුටට පත් වන බව යි. අපි සුන්දර කඳුකරයේ අගනුවර වන මහනුවර නගරයේ විහාරස්ථාන වලට ගිය අතර එය අමතක නොවන අත්දැකීමක්,” යි ඇය පැවසුවා ය. 


අනුරාධපුරයේ දී අපි විශාල චෛත්‍යයන් දැකගත් අතර පූජනීය ශ්‍රීමහාබෝධිය වන්දනා කළා” යැ යි මධ්‍ය ප්‍රදේශ්හි ඉන්ඩෝර්හි සිට පැමිණි ශෂිකාන්ත් වන්කාඩේ පැවසී ය. මෙම ස්ථාන නැරඹීමට පැමිණෙන ලෙස තම හිතවතුන්ගෙන් සහ ඥාතීන්ගෙන් ද ඉල්ලා සිටින බව ද ඔහු සඳහන් කළේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන සහ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ නිෂ්පාදක නවීන් ගුණරත්න ද මෙම අවස්ථාවට එක් ව සිටිය හ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress