දිනේෂ්ගේ පෙරමුණ කොයිබටද ?
Posted on September 5th, 2024

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

පොදුජන එක්සත් නිදහස් පෙරමුණ, මෙරට බිහිවූ අලුත් ම දේශපාලන පෙරමුණයි. කුසලානය සිය ලකුණ කරගත් එම පෙරමුණේ සභාපතිත්වය සහ නායකත්වය දිනේෂ් ගුණවර්ධනටද, ලේකම් ධුරය වෛද්‍ය රමේෂ් පතිරණටද හිමිවී තිබේ. දිනේෂ් ගුණවර්ධන යනු මෙරට වර්තමාන අග්‍රාමාත්‍යවරයායි. ඔහු මහජන එක්සත් පෙරමුණේ නායකයාද වේ. පොහොට්ටුව හෙවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මෙවර ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කිරීමත් සමග ඊට එකඟ නොවූ, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග ආණ්ඩුව ගෙනගිය, පොහොට්ටුවේ මන්ත්‍රීවරු බහුතරය, ජනාධිපතිවරණයේදී ස්වාධීනව ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහට සහය දීමට තීරණය කළහ. එතෙක් පොහොට්ටුව සමග සිටි දිනේෂ් ප්‍රමුඛ ම.එ.පෙ.ද එම තීරණයේ සිටි අතර එහි ප්‍රතිඵලයක් ලෙස ‘කුසලානය’ නැතහොත් පොදුජන එක්සත් නිදහස් පෙරමුණ බිහි වී තිබේ.

මෙහි වැදගත් සිදුවීම් කිහිපයක් හඳුනාගත හැකිය. කුසලානය හෙවත් පොදුජන එක්සත් නිදහස් පෙරමුණ ඊළඟට එන ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට සිය ලකුණින් තරග වදින බව, එහි ලේකම් අමාත්‍ය රමේෂ් පතිරණ, පෙරමුණ බිහිවූ 2024.09.05 දින සිය කතාවේදී අනාවරණ කළේය. ඉන් අදහස් වන්නේ ජනාධිපතිවරණයෙන් පසු එන සියලු මැතිවරණ සඳහා කුසලානය වෙනම තරග වදින බවයි. ඒවගේම පොහොට්ටුව නියෝජනය කළ කිසිවෙකුත් අතරමං වීමට ඉඩ නොතබන බව නව පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන එහිදී අවධාරණය කළේය. අනෙක් පැත්තෙන් වැදගත් කාරණය වන්නේ,1983 අතුරු මැතිවරණයෙන් මහරගම ආසනය දිනා පාර්ලිමේන්තුවට පැමිණි දිනේෂ් ගුණවර්ධනට කුසලානයේ නායකත්වය සහ සභාපතිත්වය හිමිවන විට එම අතුරු මැතිවරණයෙන් ම අක්මීමන ආසනය දිනා පාර්ලිමේන්තුවට පැමිණි රිචඩ් පතිරණගේ පුතා එහි ලේකම්වීමය.

අන්ත දක්ෂිණාංශික හෝ අන්ත වාමාංශික හෝ නොවී, ජාතිකවාදය ඔස්සේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදිව, නොබැඳි විදෙස් ප්‍රතිපත්තිය ඔස්සේ මැද මාවතේ ගමන් කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවී 1956 මහජන එක්සත් පෙරමුණේ ආණ්ඩුවේ සිට වාමවාදී පෙරමුණේ ආණ්ඩුවල ලක්ෂණය විය. එදා එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, පිලිප් ගුණවර්ධන ඇතුළු එකතුවත්, එවැන්නක් විය. සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රමුඛ සභාග ආණ්ඩුවලද වමේ සහ ජාතිකවාදී පක්ෂ කටයුතු කළේ එවැනි පෙරමුණු ගොඩනගා ගෙනය. දිනේෂ් ගුණවර්ධනද අඛණ්ඩව සහය දුන්නේ ශ්‍රීලනිපය ප්‍රමුඛ එම පෙරමුණටය. මෙරට පළමු ජනාධිපතිවරණයට 1982 දී තරග කිරීමට ශ්‍රීලනිපයට ‘අත’ ලකුණ අහිමි වූ අවස්ථාවේ සිය පක්ෂය වූ ම.එ.පෙ. ලකුණ වන ‘රෝදය’ මැතිනිය වෙත පරිත්‍යාග කිරීමට දිනේෂ් ඉදිරිපත් විය. එමෙන්ම ඉතිහාසයේ පුළුල්තම ප්‍රගතිශීලි වාමාංශික දේශපාලන සන්ධානය වන 2004 දී ගොඩනැගුනු එක්සත් ජනතා නිදහස් සන්ධානය බිහි කිරීමට විශාල කැපකිරීමක් කර එහි ප්‍රථම උප සභාපතිවරයා වුයේද දිනේෂ් ගුණවර්ධනයි. මහින්ද රාජපක්ෂ පරාජය වූ 2015දී ඒකාබද්ධ විපක්ෂයේ නායකයා ලෙස දිනේෂ් ගුණවර්ධන විශාල කාර්යභාරයක් ඉටු කළ අතර, මහින්ද වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කතා කිරීමට සිටි එකම මන්ත්‍රීවරයාද විය. ලංකා දේශපාලනය උඩුයටිකුරු කළ 2015.02.15 නුගේගොඩ පැවැත්වූ ඓතිහාසික මහා ජන රැළියටද නායකත්වය දුන් දිනේෂ්, විසිරුණු කඳවුරු යළි එක්සේසත් කළේය. අනෙක් පැත්තෙන් ගෝඨාභය රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් හා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වී රට අස්ථාවර වූ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ සමග පොහොට්ටුවේ ආණ්ඩුව ඉදිරියට ගෙනගියේ දිනේෂ්‍ ය. කිසිදු බරපතළ ගැටුමකට යා නොදී ඒ නොපෑහෙනවා යැයි කී ආණ්ඩුව ඔස්සේ රට ආර්ථික ස්ථාවරත්වයක් කරා ගෙනයාමට රනිල්ට, දිනේෂ් ප්‍රමුඛ පාර්ලිමේන්තු කණ්ඩායම කොන්දේසි විරහිත සහයෝගයක් ලබා දුන්නේය.

කෙටියෙන් වුවද මෙවැනි කරුණු සලකා බලන කල, නව පෙරමුණ වන, කුසලානය ලකුණේ පොදුජන එක්සත් නිදහස් පෙරමුණ සිය නායකයා ලෙස දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයා තෝරාගැනීම කලොචිත ම තීරණය ලෙස සැලකිය හැකිය. දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද කෘතහස්ත දේශපාලනඥයෙකු වන දිනේෂ්ට ඇත්තේ ඉහළ පිළිගැනීමකි. පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ ඔහුගේ පළපුරුද්ද සහ දැනුම සම කළ හැකි අයෙකු වර්තමාන පාර්ලිමේන්තුවේ නැතැයි කිවහොත් එහි වරදක් නැත. ඒ වගේම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඔහුගේ ඇති විශ්වාසය අතිශය වැදගත්ය.

තවත් පැත්තකින් බලන කල, ශ්‍රීලනිප සහ පසු කලෙක පොහොට්ටුව සමග සිටි වාමාංශික සහ ජාතිකවාදී බලවේග සඳහාද දිනේෂ්ගේ පෙරමුණ, දේශපාලනය කිරීම සහ රට ගොඩනැගීම වෙනුවෙන් හොඳ තෝතැන්නකි. මෙවර 39 දෙනෙකු ඉදිරිපත් වුවත් ජනාධිපතිවරණයෙන් දිනන්නේ එක අයෙකි. ඉන්පසු පාර්ලිමේන්තුවට, පළාත් සභාවට, පළාත් පාලන ආයතන සඳහා තේරීපත් වීමට වමේ, ජාතිකවාදී කඳවුරට පොදු වේදිකාවක් අහිමි වී තිබිණි. දිනේෂ්ගේ පෙරමුණ ඒ වේදිකාව යළි ඉදිකර දී තිබේ.

-ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress