මහජන එක්සත් පෙරමුණේ කොට්ටාව කලාප සමුළුව කොට්ටාවේදී පැවැත්විණි
Posted on September 8th, 2024

මහජන එක්සත් පෙරමුණ

මහජන එක්සත් පෙරමුණේ කොට්ටාව කලාප සමුළුව එම පක්ෂයේ නායක, ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, මැති ඇමතිවරුන් ඇතුළු ආරාධිතයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කොට්ටාවේදී පැවැත්විණි.
එහිදී සමුළුව අමතමින් අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,
“ඉතිහාසය පුරා අප ජනාධිපතිවරුන් පත් කර තිබෙන්නේ, ඊට සහාය දක්වා තිබෙන්නේ  යම්කිසි පක්ෂයක හෝ දේශපාලන බලවේගයක න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරවීම සඳහායි. ඒ අනුව විවිධ පක්ෂවල න්‍යාය පත්‍ර හෝ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ජන වරමක් ඉල්ලා සිටීම සිදුකර තිබෙනවා. නමුත් මෙවර රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පක්ෂයක න්‍යාය පත්‍රයක් හෝ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා නොවෙයි. ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා දේශපාලන පක්ෂයක් නොවන ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස එතුමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා. ඒ නිසා දීර්ඝ කාලයක් මෙරට පාලනය කළ එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ නැහැ. දීර්ඝ දේශපාලන ඉතිහාසයක් සහිත මහජන එක්සත් පෙරමුණ මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ නැහැ. මේ සියලු පක්ෂ සහාය ලබා දෙන්නේ ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාටයි.රටේ සුවිශාල දේශපාලන පරිවර්තනයක් සිදු කළ ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරුන් අනූ හතර දෙනකු සහාය දෙන්නේ ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාටයි. කඳුකරයේ තොණ්ඩමන් මහතා ඇතුළු ද්‍රවිඩ නායකයින්, නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති, රාජ්‍ය අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු ද්‍රවිඩ නායකයින්, අතාඋල්ලා මහතා ප්‍රමුඛ මුස්ලිම් නායකයින්, සියලු දෙනාම සහාය දක්වන්නේ ද ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාටයි. කිසිදු දේශපාලන පක්ෂයක හෝ බලවේගයක න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක කිරීම වෙනුවට සියලු දෙනාගේම අපේක්ෂකයා ලෙස ජාතික න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීම සඳහා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන එකම අපේක්ෂකයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා පමණයි.
 රට මුහුණ දුන් අරගල තත්ත්වය, ප්‍රචණ්ඩත්වය  සහ දේශපාලන අභියෝග හමුවේ රට භාරගෙන, ලංකාවේ ව්‍යවස්ථාදායකයත් ප්‍රජාතන්ත්‍රවාදයත් ආරක්ෂා කිරීමට කශේරුකාවක් තිබුණු එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. එදා එතුමන් එලෙස රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා නොකළා නම් අද ශ්‍රී ලංකාවද බංග්ලාදේශයක තත්ත්වයට පත්වන්නට තිබුණා. එදා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා නොකළා නම් මෙලෙස ජනාධිපතිවරණයක් පැවැත්වීමට වාතාවරණයක් ඇති වන්නේ නැහැ. මැති ඇමතිවරුන් වශයෙන් අපට පාරට බැසීමට හෝ හැකියාවක් තිබුණේ නැහැ. එලෙස පාරට බැසීමට හෝ හැකියාවක් නොපැවති පොහොට්ටුවේ හැටනව ලක්ෂයක් ජනතාවට නිදහසේ මගට බසින්නට අවස්ථාවේ සලසා දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය බව අප මතක තබා ගත යුතුයි.
 එම නිසා රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය රැක ගැනීමත්, හැට නව ලක්ෂයක ජන වරමක් ලබා දුන් ජනතාවට බියෙන් හා සැකයෙන් තොරව මාර්ගයේ ගමන් කිරීමට හැකියාව ලබාදීමට කෘතවේදීත්වය ලබාදීමක්‌ වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අප කැපවෙනවා.
2048 වන විට දුප්පත් කමින් තොර, ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් විසිදහසකට වඩා වැඩි, සංවර්ධිත පොහොසත් රටක් ඇති කිරීම සඳහා වන නිශ්චිත වැඩපිළිවෙලක් සකස්කර ඒ වැඩපිළිවෙළ නීතියක් බවට පත් කර සම්මත කර  මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන එකම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. ඒ ඉලක්කය වෙනුවෙන් ආයුධ පහකින් සමන්විත පංචායුධයක් තිබෙනවා.
 ශ්‍රී ලංකා මහ බැංකු පනත මගින් මුදල් මුද්‍රණය කිරීම තහනම් කර තිබෙනවා. හිතුමතේ ණය ගැනීම වැළැක්වීම සඳහා ණය පාලන පනත සම්මත කර තිබෙනවා. විකාර රූපී යෝජනා අයවැය වාර්තාවට ඇතුළත් කිරීම වැළැක්වීමට මූල්‍ය කළමනාකරණ පනත සම්මත කර තිබෙනවා. ප්‍රතිපත්ති වෙනස් නොකර ඉදිරියට යෑම සඳහා ආර්ථික පරිවර්තන පනත සම්මත කර තිබෙනවා.සොරකම වංචාව දූෂණය වැළැක්වීම සඳහා දූෂණ විරෝධී පනතක් සම්මත කර තිබෙනවා.
මෙවැනි වැඩපිළිවෙලක් ජාතියට ඉදිරිපත් කර ජාතික න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක කිරීම සඳහා අප සියලු දෙනා එක්ව කටයුතු කරනු ලබනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් පොහොට්ටුවට සහාය ලබා දුන් අප සියලු දෙනා රැක ගැනීම, වැටී තිබුණු රට යළි යථා තත්ත්වයට ගෙන ඒම, රටේ අනාගත සංවර්ධනය උදෙසා ජාතික වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීම යන කරුණු තුන මත දේශපාලන පක්ෂ පාට භේදයකින් තොරව රටට ආදරය සියලු දෙනා එළඹෙන 21 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අත්වැල් බැඳගනු ඇති බව මා විශ්වාස කරනවා.”
 පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිනී ගුණවර්ධන මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතාන මහතා, මහජන එක්සත් පෙරමුණේ නිලධාරීන්, මහජන නියෝජිතයින් ඇතුළු ක්‍රියාකාරීන් විශාල පිරිසක් මෙම සමුළුව සඳහා එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress