ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරීවරයා සම්බන්ධ අක්‍රමිකතා සොයා බැලීමයි
Posted on September 11th, 2024

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සුරැකීමේ සේවක එකමුතුව

සජිත් ප්‍රේමදාස මැතිතුමා,
නායක, 
සමගි ජන බලවේගය,
කෝට්ටේ

අනුර කුමාර දිසානායක මැතිතුමා,
නායක,
ජාතික ජන බලවේගය,
බත්තරමුල්ල.

ජනාධිපති අපේක්ෂකතුමනි,

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරීවරයා සම්බන්ධ අක්‍රමිකතා සොයා බැලීමයි

රටට විදේශ විනිමය ලැබෙන ප්‍රධානම ආදායම් මාර්ගය වන විදේශ ගත ශ්‍රමිකයින් සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන නියාමන ආයතනය වන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයයි. 

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරීවරයාගේ අකාර්යක්ෂමතාවයන් නිසා  පසුගිය වසර දෙකක කාලය තුළදී කාර්යාංශය කඩා වැටීමට ලක්වෙමින් තිබෙන අතර සේවකයින් සහ බලපත්‍රලාභී නියෝජිත ආයතනද දුෂ්කරතාවයට ලක්ව ඇත.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරීවරයා සහ ඔහුගේ බිරිද කාර්යාංශයේ ඉහළ තනතුරු දරයි. සැමියා සාමාන්‍යාධිකාරීවරයා වන විට බිරිද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරියක් ලෙස කටයුතු කරයි. මොවුන් දෙදෙනාගේ අකාර්යක්ෂමතාවය නිසා ඉහළ වැටුප් ලබාගත හැකි රැකියා දහස් ගණනක් මේ වන විට සිරවී තිබෙනවා.

විදේශ රැකියා බලපත්‍රලාභීන්ගේ සුළු සුළු වැරදි නිසා ආයතන තහනමට ලක් කිරීමට කටයුතු කරන අතර මේ වන විට ආයතන සිය ගණනක් එසේ තහනමට ලක් කර තිබේ. සාමාන්‍යාධිකාරීවරයාගේ බිරිද නීති අංශය භාරව කටයුතු කරන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරිය වන අතර ඇය අදාල විමර්ශන කටයුතු දැඩි ලෙස ප්‍රමාද කරමින් සිටී. එසේ බලපත්‍ර අලුත් කරගැනීමේදී නීති අංශයේ සහතිකයක් අවශ්‍ය අතර එම සහතික ලබාදීම දැඩි ලෙස ප්‍රමාද කරමින් සිටී. ඒ ආකාරයට දැඩි අකාර්යක්ෂමතාවයකින් කටයුතු කරන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරිය සම්බන්ධයෙන්සාමාන්‍යාධිකාරීවරයා හෝ ආයතනයේ සභාපතිවරයා මේ වන තෙක් කිසිදු පියවරක් ගෙන නොමැත. මේ සම්බන්ධයෙන් ඒජන්සි හිමිකරුවන් අවස්ථා ගණනාවකදී සභාපතිවරයාට දැනුම්දී ඇතත්ඇය සාමාන්‍යාධිකාරීවරයාගේ බිරිද නිසා සාමාන්‍යාධිකාරීවරයාද කිසිම පියවරක් ගෙන නැහැ.මේ නිසා අහිංසක ඒජන්සි හිමිකරුවන් දැඩි අපහසුතාවයට ලක්ව සිටින අතර ඇතැම් ඒජන්සි ආයතන සදාකාලිකවම වසා දැමීමට සිදු තිබේ.

අලුත් රටවලින් රැකියා අවස්ථා ලබාගෙන පැමිණියත් සමාන්‍යාධිකාරීවරයා එම රැකියා අවස්ථා ලබාගැනීමට කිසිදු සහායක් ලබා දෙන්නේ නැත. 

ආයතනයේ සේවකයින් සදහා උසස් වීම් ලබාදීමේදී සාමාන්‍යාධිකාරීවරයා දැඩි පිළිවෙතක් අනුගමනය කළත්ආයතනයේ පහළ සිට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරියක් බවට පත්වීම සදහා සිය බිරිදට දිගටම සහාය ලබාදී ඇත. මානව සම්පත් අංශය භාර කළමනාකරුනියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ කාලයේදී  ඇයගේ ශ්‍රේණිවලට උසස් වීම් ලබාදීම සදහා කඩිනමින් කටයුතු කළ නමුත් අනෙක් සේවකයින්ගේ උසස් වීම් සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කිරීම නිසා සේවකයින්ද දැඩි අපහසුතාවයට හා කළකිරීමට ලක්ව සිටී.

ආයතනයේ සේවකයින්ට හිමි විය යුතු බෝනස් ලබාදීමේදී දැඩි අකාර්යක්ෂමභාවයකින් යුතුව සමාන්‍යාධිකාරීවරයා කටයුතු කරයි. පසුගිය වසරේදී බෝනස් ලබාගැනීමට සිදුවූයේ සේවකයින් විසින් ඔහුගේ කාර්යාලය වට කර බලකිරීමෙන් පසුවය.

කොරියාවේ තානාපති කාර්යාලයේ සේවය කරන කාලයේදී සියලුම පහසුකම් ලබාගත් සාමාන්‍යාධිකාරීවරයා මෙවර තානාපති කාර්යාලයේ සේවය සදහා පිටත්ව යන පහළ නිලයන් දරන සේවකයින්ගේ නිවාස සහ අනෙකුත් දීමනා කප්පාදු කිරීමට කටයුතු කර තිබේ. මේ ගැනද සේවකයින් සිටින්නේ දැඩි කළකිරීමකින්ය.

මේ අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තවත් සාමාන්‍යාධිකාරීවරයෙක් ආයතනයේ ස්ථිර තැන්පත් නියමිත දිනයන්හි දීර්ඝ කිරීමට අවශ්‍ය අනුමැතීන් ලබාදීමට කටයුතු නොකර ආයතනයට පාඩු සිදුකරමින් පවතී. 

ඔබතුමන්ලාගේ ආණ්ඩුවක් බලයට පත්වීමෙන් පසුව මෙවැනි අකාර්යක්ෂම සහ දූෂිත නිලධාරීන් පිළිබද සොයා බලා කටයුතු කරන මෙන් අප ඉල්ලා සිටිමු. 

කාර්යාංක්ෂම පාලනයක් සහ දූෂණයට විරෝධි කටයුතු කරන බවට ඔබ දේශපාලන වේදිකාවේදී දක්වන අදහස් අනුවම මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කරමු.

ස්තුතියි,

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සුරකීමේ සේවක එකමුතුව

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress