චන්දපොළ විශ්ලේෂණයේ නව ප්‍රවේශයක සුභ ලකුණු
Posted on September 13th, 2024

මතුගම සෙනෙවිරුවන්

             ලංකාවේ සම්ප්‍රදායික දේශපාලනය දැන් චන්ද දායකයන්ට තිත්ත වී තිබේ. ජනපතිවරණයක් හෝ මහා මැතිවරණයක් ළඟාවන විට නගරයන්හි විශාල වේදිකා නිර්මාණය කර කන්න බොන්න දී මුදලක් අතමිට මොළවා බස් වලින් සෙනඟ අද්දවා සාදන රැළි තුළින් සාදන  ජනතා බලවේග ක්‍රමානුකූලව අර්බුදයට පත් වෙමින් ඇත. මෑත කාලීන ලංකා ඉතිහාසයේ වෙන කෙදිනකටත් වඩා නව වෙනසක් බලාපොරොත්තුවෙන් ජනතාව දේශපාලනයට උනන්දු වී තිබේ. ඒ කොවිඩ් වසංගත තත්වයෙන් සහ ආර්ථික අර්බුදයෙන් පීඩා විඳිමින් ජීවන බර උසුලා දරා ගත නොහැකිව සුසුම් ලමින් සිටින අවස්ථාවක දී බැවින් එක් අතකින් ඒ වෙනස පුදුමාකාරය. නමුත් ජනතාවට මේ ජරා ජීර්ණ ක්‍රමය උඩු යටිකුරු කර ගැනීමට තිබෙන ආශාව ප්‍රබල වීමම මේ පෙරළියට හේතු වී ඇති බව පෙනේ.

       1931 සර්ව ජන චන්ද බලය ලබා දීමෙන් පසු ජනතාව දේශපාලන වශයෙන් ලැබූ දැනුම්වත් භාවය හුදෙක් පක්ෂ වල ප්‍රතිපත්ති මත රැඳී තිබුණි. වාමාංශික හෝ දක්ෂීණාංශික පක්ෂ මැතිවරණ කාලයට ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රතාශන රැසක් දැනට ජාතික ලේඛනාගාරය සතුව තිබේ. මේවා නැවත නැවත කියවන කල්හි අපට තේරුම් යන්නේ ඒ  ප්‍රතිප්ති අනුව රට ඉදිරියට නොගිය බවයි. දෙස් විදෙස් අවශ්‍යතා අනුව රටේ සිදු වූ යම් යම් පෙරළි ඇතැම් විට සුභ වාදී විය. ඇතැම් විට රටට හානිකර විය. දීර්ඝ කාලීන දැක්මකින් රටේ පුරාණ සම්ප්‍රදාය සමග බද්ධ වී සිදු කළ ප්‍රතිසංස්කරණයන් දකින්නට ලැබුණේ කලාතුරකින් බව කිව යුතුය.ජනතාව 2019 දී ගෝඨාභය මැතිතුමාට සියයට හැට නවයක චන්ද ප්‍රතිශතයක් ලබා දෙමින් බලයට පත් කරන ලද්දේ සැබෑ වෙනසක් බලාපොරොත්තුවෙන් බව නොකිව මනාය.එහෙත් ජනපති තනතුර සහ ව්‍යවස්ථාදායකය අතර තිබෙන තුලනය නොසලකා හරිමින් කටයුතු කිරීමේ ප්‍රතිඵලය වූයේ කෘතිමව නිර්මාණය කරන ලද අරගලයකින් එතුමාට බලයෙන් පහ වීමට සිදුවීමයි.

         අරගලයෙන් බලය හෙයියන්මාරුවී ගතවූ  වසර දෙකකකාලය තුළ  සිදු වූ ප්‍රතිසංස්කරණයන් ගෙන් පසු එන පළමු මැතිවරණය මෙයයි.මෙම මැතිවරණය ආරම්භ වන්නේම 2023 අංක 03 දරන මැතිවරණ වියදම් පාලන පනතේ ප්‍රතිපාදන අනුව මැතිවරණ කොමිසමකට ලැබී තිබෙන බලය උරගා බලන අවස්ථාවකයි. කෝටි ප්‍රකෝටි ගණනින් වියදම් කොට ජනතා රැළි හදන අපේක්ෂකයන්ට මේ පනත මගින් දැඩි සීමා නීති පනවා ඇත.    මැතිවරණ වියදම් පිළිබඳ සම්පූර්ණ ලේඛනයක් මැතිවරණය පවත්වා දින විසි එකකින් කොමිසමට ඉදිරිපත් කළ යුතු බවට නීතියක් මෙයින් පැන වේ..අප දන්නා පරිදි මේ ජනපතිවරණයේ දී කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් වියදම් කිරීම දක්නට ලැබේ. එක් අපේක්ෂකයෙකු විසින් එක් චන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ යුතු මුදල වන්නේ රැපියල් 109 කි. එක් චන්ද දායකයෙකුට රුපියලක් වියදම් කළද එක් කෝටි හැත්තෑ එක් ලක්ෂයක් වියදම් කිරීමට හැකිය. මෙවැනි මුදල් කන්දරාවක් පක්ෂයකට ලැබෙන්නේ කෙලෙසකදැයි ජනතාව දැන ගත යුතුය. ඒ තිබිය දීද වත්මන් ජනපති අපේක්ෂකයන් කීප දෙනෙකුම ඒ නීති උල්ලංඝණය කරමින් කටයුතු කරනු දක්නට ලැබේ.පෝස්ටර් අනවශ්‍ය ආකාරයට ගැසීම,. පුද්ගලයන් නැති මැතිවරණ කාර්යාල විවෘත කිරීම,. රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි කිරීමේ තීරණ ප්‍රකාශයට පත් කිරීම. වැනි කරුණු බහුලව දක්නට හැකිය. හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා දක්වන පරිදි යම් අපේක්ෂකයෙකු ජයග්‍රහණය කළද මෙවැනි කරුණු මත මැතිවරණ පෙක්සමකින් ඔහුගේ තනතුර නිෂේධ කිරීමේ බලයක් මේ පනතේ නීතියට අනුව සිදු කළ හැකිය. ප්‍රශ්ණය ඇත්තේ විධායක තනතුරට පත් පුද්ගලයෙකුට එරෙහිව එලෙස නඩු මගට බැස පෙත්සම් කරුවන්ට නඩු ගාස්තු ගෙවන්නට සිදු වේ ද යන්නයි.

       මැතිවරණ වියදම් පාලන පනතට අමතරව මැතිවරණ කොමසාරිස් තුමා විසින් මාධ්‍ය උපමාන සඳහා ගැසට්ටුවක්ද නිකුත් කර තිබේ. මෙම ගැසට්ටුව අනුව සැම මාධ්‍යකම සියලුම අපේක්ෂකයන්ගේ රැස්වීම් සමාන ආකරයකින් වාර්තා කිරීම සිදු කළ යුතුය.මේ තත්වයට එළඹීමේ දී ද ඇතැම් අපේක්ෂකයන් ගේ ප්‍රචාරක රැළි වලට වැඩි තැනක් ලබා දීමට ඇතැම් මාධ්‍ය කටයුතු කර ඇති බව පෙනේ. විශේෂයෙන්ම රජයේ මාධ්‍ය වල ඉඩ කඩ සමාන අන්දමින් නොලැබෙන බව පෙන්නුම් කළ හැකිය.

               දිවයිනේ තබන සෑම රැස්වීමකටම බස් යොදා සෙනග අදින බව කවුරුත් දන්නා රහසකි.පිටස්තර දිස්ත්‍රික්ක වලින් බස් යොදා සෙනග ඇදීම පාලනය කිරීමට කොමිසම උත්සුක වී නොමැත.එවැනි රැස්වීම් වලින් ප්‍රකට වන්නේ කෘතිම ජන මතයකි. රැළි වලින් නොමග යන ජනතාවට ප්‍රතිපත්ති ගරුක අපේක්ෂකයෙකු තෝරා පත් කර ගැනීමට අවස්ථාවක් උදා නොවේ.මෙවැනි තත්වයක් යටතේ මාර්තු 12  ව්‍යාපාරය විසින් අපේක්ෂකයන් සැමටම විවෘත විවාදයකට පැමිණීමට ආරාධනා කර ඇත.එහි පළමු දිනයේ දී එයට සාභාගි වූයේ දිලිත් ජයවීර මහතා පමණි.ඇමරිකාව වැනි රටකදී වුවද අපේක්ෂකයන් ජනතාව ඉදිරියේ දී මෙවැනි වීවෘත විවාදයන්ට සාභාගි වෙති. ප්‍රජාතන්ත්‍රවාදය පිළීබඳ අඩු සාක්ෂරතාවයක් තිබෙන රටක් වශයෙන් මේ පියවර සාර්ථක කරගන්නට නම් අපේක්ෂකයන් සියලුම දෙන මේ ක්‍රමයේ ඵලදායී තාවය වටහා ගත යුතුය. විශේෂයෙන්ම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයන්හි අන්තර්ගතය ජනතාවට සමීප කරවීම සඳහා නැතිනම් තේරුම් කර දීම සඳහා චන්ද ප්‍රචාරක රැස්වීඹකට වඩා බෙහෙවින්ම ප්‍රයෝජනවත් අවස්ථාවක් ඉන් ලැබෙන ඇත.දැනට තිබෙන තත්වය අනුව ඇතැම් අපේක්ෂකයන් මෙම අනගි විවාදය මග හරිනු ලබන්නේ තමන්ගේම ප්‍රතිපත්ති වල තිබෙන අවංක භාවය පිළිබඳ  සාකච්ඡා වලින් මතුවන කරුණු වලින් තමන්ගේ චන්ද ව්‍යාපාරයට අවැඩක් සිදු වනු ඇතැයි යන බිය නිසා විය යුතුය.විශාල ධනස්කන්ධයක් වියදම් කොට කරන ප්‍රචාරක රැළි වලින් ජනතාව ඇන්දවීම පහසුය. කාලයක් තිස්සේ බහුතර පාක්ෂිකයන් එයට හුරු වී සිටියහ.රූපවාහිනය ඉදිරිපස වාඩිවී  පැය ගණන් ක්‍රිකට් තරඟ නැරඹීමට මේ අයට පුලුවන් වුවද මෙවැනි විවාදයක් නැරඹීම සහ එයින් කියැවෙන හරවත් දේ ග්‍රහණය කර ගැනීමට තවමත් උනන්දුවක් ඇති වී නොමැත.පක්ෂ දෙශපාලනයෙන් ඔද්දල් වූ මනස් විවෘත කොට සැබෑ ලෙසින් රටේ පැවැත්ම උදෙසා කටයුතු කිරීමට දේශපාලකයා  පමණක් නොව ජනතාව ද පෙළ ගස්වා ගැනීමට දරණ ලද මේ කුළුඳුල් උත්සාහය අතරමග කඩා වැඩෙන්නට ඉඩ නොදී පවත්වාගෙන යා යුතු බවද අවසාන වශයෙන් දැක්විය යුතුය.

මතුගම සෙනෙවිරුවන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress