කවුරු දින්නත් ලංකාව බංගලදේශයක් කරන ඇමරිකානු සැලැස්ම මෙන්න…
Posted on September 16th, 2024

මාධ්‍ය අංශය, සර්වජන බලය

එළඹෙන ජනාධිපතිවරණය ආසන්නයේදීත් එදිනත් ඉන්පසුවත් ශ්‍රී ලංකාව තුළ කැරලිකෝලාහල සිදුවිය හැකි බවට ඇමෙරිකානු රජය මෙරටට පැමිණෙන, සිය රටෙහි සංචාරකයන්ට සිදුකර ඇති අනතුරු ඇඟවීම සුළුකොට නොතකන ලෙසත් ජනාධිපතිවරණයෙන් කවරකු ජයග්‍රහණය කළ ද කිසිවෙකුට මේ රට තවත් බංග්ලාදේශයක් බවට පත්කිරීමට කිසිසේත්ම ඉඩ නොදී” රටේ සාමය ආරක්ෂා කිරීමට කැප වන ලෙසත් සර්වජන බලය විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙරට සියලු දේශපාලන පක්ෂ වෙතින් තරයේ ඉල්ලා සිටියි.

කළුතර බණ්ඩාරගම බස් නැවතුම් පොළ අසල දී පැවැති, එක්ව නංවන රටක් – සතුට පිරුණු දැයක්” යන සජ්ජන අරමුණ පෙරදැරි කර ගනිමින් තරුව” ලකුණින් මෙවර ජනාධිපතිවරණයට තරඟ වදින සර්වජන බලය ජනාධිපති අපේක්ෂක, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර මහතාගේ ජයග්‍රහණය තහවුරු කෙරෙන ජනරැලියක දී ඒ මහතා මෙසේ ඉල්ලා සිටියේය.

ඉහත ජනරැලිය අමතා සර්වජන ජනාධිපති අපේක්ෂක, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. වී .ඩී. තිලකසිරි යන සර්වජන බලය දේශපාලන එකමුතුවට අයත් දේශපාලන පක්ෂ සහ ජාතික සංවිධානවල නායකයෝ සහ සර්වජන බලය විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, මව්බිම ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක, හේමකුමාර නානායක්කාර, ජාතික සංවිධාන එකමුතුව වෙනුවෙන් වෛද්‍ය වසන්ත බණ්ඩාර යන මහත්වරු ද අදහස් දැක්වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

ඇමරිකානු අනතුරු ඇඟවීම

මේ රැස්වීමට සූදානම් වන විට එක්තරා ප්‍රවෘත්තියක් අපට වාර්තා වුණා. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපද රජය තම රටෙන් ශ්‍රී ලංකාවට යන සංචාරකයන්ට අනතුරු අඟවා තිබෙනවා, ‘ඡන්දයට පෙරත් ඡන්ද දිනයේත් ඉන්පසුවත් ශ්‍රී ලංකාව තුළ ප්‍රචණ්ඩ ක්‍රියා, කැරලිකෝලාහල, ත්‍රස්තවාදී ක්‍රියා සිදුවිය හැක. බොහෝ විට ආගමික ස්ථාන ආශ්‍රිතව එවැනි ක්‍රියා සිදුවිය හැක. ඒ නිසා එම කාලය තුළ පරිස්සම් වෙන්න’ කියා. අපි මේ රටේ සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලනවා, ‘තමුන්නාන්සේලාගේ ප්‍රතිපත්තිය, මතය කුමක් වුවත් මේ රට තවත් බංග්ලාදේශයක් වීමට ඉඩ තියන්න එපා!’ කියලා. ඇමරිකාව මේ කලින් දැකලා වගේ අනතුරු අඟවන්නේ නිකම් නොවෙයි. එදා රුසියාව කලින් දැකලා වගේ අනතුරු ඇඟවූවා, ‘බංග්ලාදේශයේ වර්ණ විප්ලවයක් සිදු කරන්නයි යන්නේ’ කියා. රුසියාවේ අනතුරු ඇඟවීම සැබෑ වෙලා අද බංග්ලාදේශය හතරගාතයෙන් ඇදවට්ටලා තිබෙනවා. අද බංග්ලාදේශයේ ‘කොල්ලො-කුරුට්ටුටෝ’ රට පාලනය කරනවා; පොලිසිය, හමුදාව ඔහේ බලාගෙන ඉන්නවා; එක පැත්තකින් අන්තවාදීන් හින්දු මිනිසුන් මරා දමනවා; තවත් පැත්තකින් ආයෝජකයන් තමන්ගේ කර්මාන්තශාලා වසා දමා බංග්ලාදේශයෙන් පිටව යනවා.

රටේ සාමය ආරක්ෂා කරගන්න කැපවෙමු!

ඇමරිකානු රජය සිදුකරන මේ අනතුරු ඇඟවීම අපි කිසිවකුට සුළුකොට තකන්න බැහැ ඒ නිසා අපි යළියළිත් මේ රටේ සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලනවා, ‘තමුන්නාන්සේලාගේ ප්‍රතිපත්තිය, මතය කුමක් වුවත් 21 වැනිදා ජනාධිපතිවරණයෙන් කවුරු ජයග්‍රහණය කළත් මේ රටේ මැතිවරණ ඉතිහාසයට කළු පැල්ලමක් එකතු නොකර, සාමකාමීව, කැරලිකෝලාහලවලින් තොරව මේ රටේ සාමය ආරක්ෂා කරන්න කැපවෙන්න’ කියා.

රනිල්ගේ ‘ටිකිරි මොළේ’

අපි ‘කවුරු ජයග්‍රහණය කළත්’ කියා කීවාට මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ දිලිත් ජයවීර මිස වෙන අයෙකු නොවෙයි. 21 වැනිදායින් පසුව නම් එතුමා වගබලා ගනීවි කලබලයකින් තොරව රට පවත්වාගෙන යාමට. නමුත් 21 වැනිදාට කලිනුත් කලබල ඇතිවිය හැකි බව කියනවානේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ‘පූසා’ වගේ ඉන්නේ මොකක් හරි ප්ලෑන් එකක් ඔළුවේ තියාගෙන කියලා මම නිකමට වගේ හිතුවා. ඔය පෝරිසාදයාව සත පහකට විශ්වාස කරන්න බැහැ.

ගාලුමුවදොර අරගලයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එළවා දැමුවාට පසුව රනිල් වික්‍රමසිංහගේ උපදේශක ආශු මාරසිංහ පැවසුවා, ‘ගාලුමුවදොර භූමියේ අපේ හට් විස්සක් පමණ තිබුණා. එතැන පළමු හට් එක ගැහුවෙත් අපි’ කියා. බලන්න, හට් ගහලා තියෙන්නෙත් රනිල්; අන්තිමේදී පූසා වගේ ගිහින් ජනාධිපති ඔටුන්න ඔළුවට දාගත්තෙත් රනිල්; ඊට පස්සේ ගාලුමුවදොර හට් ගහගෙන හිටපු කට්ටිය එලෙව්වෙත් රනිල්. කොහොමද රනිල්ගේ ටිකිරි මොළේ?මේ ජනාධිපතිවරණයට ඔය යෝධයා (රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා) වැඩිය මහන්සි වෙන්නේ නැහැ. ඒ නිසාම ‘මගේ මිත්‍ර අනුර කියමින් තම මිත්‍ර අනුරවත් කොහොම හරි යොදාගෙන එයා කුමක් හෝ ප්ලෑන් එකක් ගහන්න ඉඩ තිබෙනවා’ කියන අනතුරු ඇඟවීම, අපි මේ රටට කල් තියා කරනවා.

අපේ පරම වගකීම

ආදරණීය අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය, ඔබේ පරම වගකීම තමයි ඉහත කී ආකාරයේ අනතුරකට මේ රට ඇදවැටෙන්න ඉඩ නොදී, සාමකාමීව 21 වැනිදා උදේම ඡන්ද පොළට ගිහිල්ලා ජාතිකවාදී, දේශමාමක, වාමවාදී, ප්‍රගතිශීලී බලවේගවල අපේක්ෂකයා වන තරුව ලකුණෙන් තරග වදින දිලිත් ජයවීරට ඡන්දය සලකුණු කරන එක.

මෙරට ප්‍රකට ව්‍යවසායකයෙකු වන දිලිත් ජයවීර මහතාට සමාගම් පනස් ගණනක් හිමියි. ඒවායින් තමන්ට ලැබෙන මාසික ආදායම රුපියල් මිලියන 16.5ක් බව ඔහු මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙනවා. දැන් දිලිත් ජයවීර ජනාධිපති වෙන්න හදන්නේ මේ මාසික ආදායම වැඩි කර ගන්නද? නැහැනේ. ඒ නිසා ඇත්ත ආදායම රටට කියපු, ඇත්ත කියන ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීරට තමුන්නාන්සේලාගේ ඡන්දය ලැබෙන බව අපට විශ්වාසයි..

මැතිවරණ කොමිසම මාසික ආදායම විමසුවාම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ ‘මට ලක්ෂ දෙකක පමණ මාසික ආදායමක් හිමියි’ කියලයි. පව් අසරණයා! මේ දවස්වල ‘ජනාධිපති මන්දිරයේ ලිපිනයට’ එයාට ‘මුදල් වවුචරයක්’ යවන්න තමුන්නාන්සේලාට පුළුවන්.

නිවැරදිම තීන්දුව

දිලිත් ජයවීරව අපි කරතබාගෙන ආවේ රටේ දේවල් කඩාවඩා ගන්න නෙවෙයි; රටට, ජාතියට බරක් වෙන්න නොවෙයි; ප්‍රපාතයෙන් ප්‍රපාතයට ඇදගෙන යමින් තිබෙන රට ඒ වැටෙන්න නියමිත වලෙන් ගොඩගෙන, මේ රටේ දුවාදරුවන්ට හෙට දවසේ හොඳ අනාගතයක් හදන්නයි. නියම නායකයෙකු නොමැතිව මේ ආර්ථික අර්බුදයෙන් මේ රට ගොඩගන්න බැහැ. අනුර කුමරුට, නාමල් කුමරුට, සජිත් පුතානෝට වගේම රනිල් වික්‍රමසිංහටත් රට ගොඩගන්න සැලැස්මක් නැහැ. මේ වැටුණු ආර්ථික ප්‍රපාතයෙන් මේ රට ගොඩගත හැකි එකම උපාය මාර්ගික සැලැස්ම ඇත්තේ තමුන්නාන්සේලාගේ අපේක්ෂකයා වන දිලිත් ජයවීර මැතිතුමා අතෙයි. ඒ නිසා අපි මේ ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින වෙලාවේ නිවැරදිම තීන්දුව ගතයුතුයි. නිවැරදිම තීන්දුව නොගතහොත් අපට සිදුවන්නේ වලේ පතුලේ වැලලෙන්නයි. බොහෝ රටවල් බලාගෙන ඉන්නේ වලේ පතුලේ අපව වලලන්න. ඒ නිසා ඒ වලලා දැමීමේ සැලැස්ම කනපිට හරවලා, ආර්ථික අර්බුදයෙන් ගොඩඑන මාවතට මේ රට හරවමු! ”

මාධ්‍ය අංශය,
සර්වජන බලය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress