ලංකාව පුරාම තාක්ෂණවේදී විෂය ධාරව හඳුන්වා දීමට විරුද්ධ වුණේ ජ.වි.පෙ. පමණයි- අමාත්‍ය ආචාර්ය බන්දුල  ගුණවර්ධන මහතා
Posted on September 16th, 2024

B Media

ලංකාව පුරාම තාක්ෂණවේදය විෂය ධාරාව හඳුන්වා දීමට විරුද්ධව එක්සත් ජාතික පක්ෂයවත් අනිත් කිසිම පක්ෂයක් වැඩ නොකළ බවත්  ජනතා විමුක්ති පෙරමුණ පමණක් එයට විරුද්ධව වැඩ කළ බවත් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල  ගුණවර්ධන මහතා පැවසීය.

ගෑස් ලින්ඩරය ලකුණින් තරගවදින ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය උදෙසා ඊයේ (15) වග, කහහේන හා දිද්දෙණිය ප්‍රදේශවල පැවැති ජනතාව දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡා සඳහා එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණට කිසිම දර්ශනයක් නැති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

මගෙන් රටට වැඩිම වැඩ ප්‍රමාණයක් වෙලා තියෙන්නේ උපන් නූපන් පරම්පරාවල ඉන්න ළමයින්ට. අපි පාසල් යන කාලෙ රටේ තිබුනේ විද්‍යාව, කලාව, වාණිජ විෂයන් විතරයි. ඒවා කරලා මේ ලෝකයට අනාගතයේ උපදින ළමයින්ට මුහුණ දෙන්න බැහැ. මම අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් අලුතෙන් රටට හඳුන්වලා දුන්නා තාක්ෂණ වේදය විෂය ධාරාව. තොරතුරු තාක්ෂණය, ජෛව පද්ධති තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය, හා තාක්ෂණවේදය සඳහා විද්‍යාව යන විෂය ධාරාවන්. ඒ යටතේ අපිට ලංකාවේ දරුවන්ට පරිගණක හතලිහක් තියන පරිගණක විද්‍යාගාරයක්, පරිගණකය විස්සක් තියන විවිධ භාෂා හදාරන්න භාෂාකාරයක්, පරිගණකයක් තියෙන ගණිතාගාරයක් සහිත මහින්දෝදය විද්‍යාගාර  දාහක් ලංකාව පුරා හදලා තියෙනවා.

ඊට පස්සේ අපි තාක්ෂණය හදාරන්න මහින්දෝදය තාක්ෂණ පීඨා 251ක් ලංකා පුරා හැදුවා. අපි විශ්වවිද්‍යාලයට යන කාලේ විද්‍යා පීඨ, වෛද්‍ය පීඨ තිබුනට තාක්ෂණ පීඨ තිබුණේ නැහැ. දැන් විශ්ව විද්‍යාල දහතුනක තාක්ෂණ පීඨ තියෙනවා. මගේ හෝමාගම ආසනයේ විතරක් තාක්ෂණ පීඨ දෙකක් තියෙනව ඡයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය.

අපි පාසල් දාහක් ලංකාවේ හදාගෙන යනකොට ජනතා විමුක්ති පෙරමුණ ඒවා කඩාකප්පල් කරන්න කටයුතු කළා. ජනතා විමුක්ති පෙරමුණ රටේ යහපත වෙනුවෙන් මොනවත් එකතු කරපු නැති පක්ෂයක්. ඒ නිසා ඒවා කඩාකප්පල් කරන්න ලංකා පුරාම පෝස්ටර් ගැහුවා අධ්‍යාපනය වනසන  එස්බී, බන්දුල ගෙදර පල කියලා.  ප්‍රාථමිකය අයින් කරලා ද්විතීක පාසල් දාහක් තමයි මෙමගින් හැදුවේ.  තොරතුරු තාක්ෂණයෙන් හා ඉංජිනේරු තාක්ෂණයෙන් අද මුළු ලෝකයටම යන ළමයි වැඩිම ප්‍රමාණයකට යන්න පුළුවන් උනේ  මම අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමතිවරයා ලෙස සිටිය නිසා. රටේ අනාගතය වෙනුවෙන් කන්නංගරගේ නිදහස් අධ්‍යාපනයෙන් පස්සේ අධ්‍යාපනයේ ලොකුම වෙනස එය යයි”  ද අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට ප්‍රදේශයේ හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයින්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් විය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress