අභිනව ජනාධිපතිතුමා සහ ඉතිහාසයේ දඬු අඬුව
Posted on September 23rd, 2024

චන්ද්‍රසේන පණ්ඩිතගේ  

අනුර කුමාර දිසානායක මහතා ලංකාවේ ප්‍රථම සුලුතර ජනපති වීමට නියමිතය. මෙය වනේ වන හතුරෙකුටවත් නොවිය යුතු තැනකට මෙරට ජනාධිපති වරයා ඇද දැමීමෙකි. මෙවර මුලු ඡන්ද සංඛ‍්‍යාව 17,140,354 කි; එසේම ප්‍රකාශිත ඡන්ද සංඛ‍්‍යාව 13,619,916 කි. අනුර කුමාර දිසානායක මහතා ඉන් ලබා ගත්තේ ඡන්ද  එනම්, ජනාධිපතිවරයා ලබාගෙන ඇත්තේ ඡන්ද 5,634,915 කි. ප්‍රතිශතයක් ලෙස මෙය, මුලු ඡන්ද සංඛ‍්‍යාවෙන් 32.9% කි; ප්‍රකාශිත ඡන්ද සංඛ‍්‍යාවෙන් 41.37%කි. මෙය 42% ඉක්මවා යන්නේ, ප්‍රකාශිත වලංගු ඡන්ද ගැන සලකන විටය. නමුත් පුරවැසියන් කළකිරීමෙන් ඡන්ද ප්‍රතික්‍ෂේප කරන බව දන්නා අපි, ප්‍රකාශිත ඡන්ද සංඛ‍්‍යාවෙන් ප්‍රතිශතයක් ලෙස අභිනව ජනාධිපති වරයාගේ ඡන්ද ගත යුතු යැයි උදක්ම සිතමු. ඒ නයින් ඔහුට රටේ 41%ක් කැමැතිය; 59%ක් ඔහුව ප්‍රතික්‍ෂේප කර ඇත.

ඔහුට ඡන්දය දුන් සුලුතරය ඔහු කෙරෙහි අප්‍රමාණ විශ්වාසයෙන් පසු වෙයි. පසුගිය දිනවල ඉහළ ගිය ජීවන වියදම පහළ දැමීම ඉන් ප්‍රධාන බලාපොරොත්තුවකි. එසේම, ජීවන තත්වය උසස් කිරීම, වංචා සහ දූෂණ නැති කිරීම, රාජ්‍ය සේවයේ ගුණාත්මක භාවය වැඩි කිරීම වැනි තව බොහෝ අපේක්‍ෂා ඒ සමඟ වෙයි. අභිනව ජනාධිපතිවරයා බොහෝ පොරොන්දු දී ඇත. ඒ සියල්ලම ඉටු කරන අතර ඔහුට රටේ මුල්‍ය ස්ථාවරත්වය පවත්වාගෙන යා යුතුව ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම ඊට මේ වෙලාවේ ඇති එකම ආධාරකයයි. මේ පොරොන්දු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම අතර බොහෝ ප්‍රායෝගික පරස්පරතා ඇත. ඔහුට මේ පරස්පරතා අතර ඉදිරියට යාමට ස්ථාවර සහ බලවත් පාර්ලිමේන්තුවක් අත්‍යවශ්‍යය.

මේ ඡන්ද ප්‍රමාණයම ලැබේයයි උපකල්පනය කළහොත් ඊළඟ පාර්ලිමේන්තුවේ දී, අභිනව ජනාධිපතිවරයා ගේ පක්‍ෂයට ආසන 90-95 ලැබීමට නියමිතය. ඒ අනුව ඔහුට ලැබෙනුයේ දුර්වල පාර්ලිමේන්තු වරමෙකි; බහුතර බලයක් නැත. ඉදිරියට අනුමත කරගතයුතු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  හා ගිවිසගත් පනත් බොහොමයක් ඇත. ඒ පනත් අනුමත නොවුනහොත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අප හා ඇති ගිවිසුම අහෝසි කරනු ඇත. එවිට නැවත අපට විදේශ විනිමය හිඟයක් ඇති විය හැකිය. ගෑස් පෝලිම්, තෙල් පෝලිම්, ආනයන සම්භාදක නැවත ඇති කිරීමට සිදු වනු ඇත.

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා සහ සජිත් ප්‍රේමදාස ලබාගත් ඡන්ද ගණන මුලු ප්‍රකාශිත වලංගු ඡන්ද ප්‍රමාණයෙන් 50.03%කි. ඔවුන් එකතු වුනා නම්, ලෙහෙසියෙන් ම අනුර කුමාර දිසානායක ජනපති පැරදවිය හැකිය තිබිණි. ඔවුන් දෙදෙනාම මීට වසර කිහිපයකට පෙර, එකම පක්‍ෂයේ අයය. ඔවුන් දෙදෙනාටම ඔවුන් ගේ පක්‍ෂ සාමාජිකත්වය, එක්වී මහා මැතිවරණයට තරඟ කළ යුතු බවට විශාල පීඩනයක් ඇති කරනු ඇත. ඔවුන් එක්වී තරඟ කළහොත්, ඔවුන්ට පාර්ලිමේන්තු බහුතරය ගත හැකිය. ඔවුන් එසේ පාර්ලිමේන්තු බහුතරය ලබා ගතහොත්, සුලු ජාතික පක්‍ෂද ඔවුන්ට සහාය දෙන බව පැහැදිලිය. ඔවුන් වෙන වෙනම තරඟ කළද, පාර්ලිමේන්තු බහුතරය ඉව වැටේ නම්, ඔවුන් පාර්ලිමේන්තුවේ දී උවද එක් විය හැකි බව පැහැදිලිය. ඒ නිසා ඔවුන් එය අනිවාර්‍යෙන් ම කරනු ඇත. එවිට ජනාධිපති වරයාට තමන් ගේ අණ පනත් මෙන්ම අය වැයක් ද සම්මත කරගත නොහැකිය.

එසේ උවහොත් අනුර කුමාර ජනාධිපති වරයා, විපක්‍ෂයේ පීඩනයට හිරවී, ඔහුගේ පොරොන්දු කිසිවක් ඉටු කරගත නොහැකි ජනාධිපති වරයෙකු වනු ඇත. ජනතා කළකිරීම් හා අපේක්‍ෂා භංගත්වය හමුවේ, ඔහුට පක්‍ෂය තුළින් ම බෙදීයාම් සහ බිඳී යාම් වලට මුහුණ දීමට සිදුවනු ඇත. ඔහුට සිය ස්ථාවරය රැක ගැනීම පවා අපහසු වනු ඇත. අප දන්නා පරිදි, අනුර කුමාර දිසානායක මහතා ඉතා ප්‍රහාරාත්මක විවේචන අනෙක් නායකයිට එල්ල කළ කෙනෙකි; තමන්ගේ කරුණු ස්ඵුට කිරීමට සත්‍යය මෙන්ම අර්ධ සත්‍යයද යොදා ගත්තෙකි. ඉතිහාසය විසින් ඔහු ඉතා අසීරු දඬු අඬුවක සිර කර ඇත. මේ තත්ත්වය සහ අභියෝග හමුවේ, ඒවාට මුහුණදී, ජනතාවට දුන් පොරොන්දු ඔහුට ඉටු කළ හැකිනම්, අනුර කුමාර දිසානායක නාමය මේ රටේ ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress