අනුර දිසානායක ජනාධිපතිවරයා ඩොයිලිද – කැප්පෙටිපොළද – සෝල්බරිද – ගැලවුම්කරුද – සාමාන්‍ය පුරවැසියෙකුද යන්න අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන එන අවස්ථාවේ තීරණය වේ…!
Posted on September 25th, 2024

අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතීඥ.

1818 උඩරට මහ කැරැල්ලේ ප්‍රධානියකු ලෙස කටයුතු කළ මොනරවිල කැප්පෙටිපොළ  මහ දිසාව දිවි පිදුවේ 1818 නොවැම්බර් 26 වැනිදය.  2024 නොවැම්බර් 21 අලුත් පාර්ලිමේන්තු කැදවීමට නියමිතය. ඒ  අනුර දිසානායක අලුත් ජනාධිපතිවරයාගේ 2024 සැප්තැම්බර් 24 දිනැති  2403/13 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රයේ නියමය අනුවය. නොවැම්බර් 21 සහ 26 අතර ඇත්තේ දින කිහිපයක වෙනසකි.

1815 උඩරට ගිවිසුම, ජෝන් ඩොයිලි, කැප්පෙටිපොළ නිළමේ සහ සෝල්බරි සාමි ලංකාවට කළ බලපෑම පිළිබඳ කතිකාවකින් තොරව අනුර දිසානායක ජනාධිපතිවරයාගේ භූමිකාව කුමක්විය හැකිද යන්න පිළිබඳ අදහස් දැක්වීම ඵලදායක නොවේ.

ඩොයිලි

ජෝන් ඩොයිලි ලංකාවට පැමිණි පසු පාලක පක්ෂයේ මෙන් ම රටවැසියාගේ ද සිත් දිනාගනිමින් තම සේවය ඉටු කළේ ය. ලංකාවට පැමිණීමෙන් පසු ඔහු සිංහල භාෂාව මැනවින් ඉගෙන ගැනීමට මහත් වෙහෙසක් දැරී ය. මාතර විසූ කාලයේ දී භික්ෂූන් වහන්සේගෙන් සිංහල භාෂාව පිළිබඳ හොඳ දැනුමක් ලබා ගත්තේය. රටවැසියන් අතර ඇති වූ වාද විවාද, අවුල්, වියවුල්, නඩුහබ ආදිය ඉතා හොදින් ඉතා අවංක ලෙසත් විසදීමෙන් ඔහු ජනතාවගේ හිත් ගත්තේය.

උඩරට රාජ්‍යය අත්පත් කර ගන්නට පෙර ඉන් පසු ද ඩොයිලි යටතේ චරපුරුෂ සේවයක් පැවතියේ ය. එමඟින් ඔහු රටේ නොයෙක් තොරතුරු හා වෙළෙඳ බඩුවල මිල ආදිය දැන ගත්තේ ය. රට ඉංග්‍රීසින්ට යටත්කරවීමේ 1815 උඩරට ගිවිසුමට නිළමෙලාගේ අත්සන් ලබා ගැනීම සම්බන්ධයෙන් ජෝන් ඩොයිලි කළ සේවය විශිෂ්ටය.

කැප්පෙටිපොළ

මොණරවිල කැප්පෙටිපොළ ලෙස ප්‍රසිද්ධව හඳුන්වන මොහු ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සහ පසුව බ්‍රිතාන්‍ය පරිපාලනය යටතේ මහ දිසාව තනතුර දැරූවෙකි. 1815 උඩරට ගිවිසුමට අත්සන් කළ නිළමේ කෙනෙකි. 1815 උඩරට ගිවිසුමෙන් පසු රට පාලනය කරගෙන යාමේදී ආරම්භ වූ 1818 ඌව නිදහස් අරගලය මැඩපැවැත්වීමට බ්‍රිතාන්‍යයන් විසින් යවනු ලැබූ කැප්පෙටිපොළ බ්‍රිතාන්‍ය පිළ හැරදා අරගලකරුවන් හා එකතු වූ අතර එහි ප්‍රධාන පෙළේ නායකයෙකු බවටද පත්විය.බ්‍රිතාන්‍යයන් විසින් අරගලය පරාජය කළ අතර කැප්පෙටිපොළ දිසාව ඇතුළු අනෙක් අරගල නායකයන් ‍රැසක් අත් අඩංගුවට ගෙන රාජද්‍රෝහී වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කර වර්ෂ 1818 නොවැම්බර් මස 26 වැනි දින කන්ද උඩරට බෝගම්බර දී රාජද්‍රෝහියකු වශයෙන් මරණ දණ්ඩනය පනවන ලදී.

සෝල්බරි

ලංකාවට පූර්ණ වගකීම් සහිත පාලනයක් ලබාදීමට අපේක්ෂා කරන බවට බි‍්‍රතාන්‍යයන් තීරණය කිරීමෙන් පසු
සොයාබැලීම සඳහා 1944 දී සෝල්බරි සාමි ප‍්‍රමුඛ කොමිසමක් මෙරටට එවන ලදී.

සොල්බරි කොමිසම ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලනික දේහය පිළිබඳව අධ්‍යනය කොට නැවතත් බි‍්‍රතාන්‍ය වෙත ගොස් පසුව ඔවුහු තම යෝජනාවන් බි‍්‍රතාන්‍ය රජයට ඉදිරිපත් කළ අතර එයට අනුව සෝල්බරි ව්‍යවස්ථාව නමින් ව්‍යවස්ථාවක් පැනවි 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව දක්වා එය ක්‍රියාත්මක විය.

අනුර දිසානායක ජනාධිපතිවරයා

අනුර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්වන්නේ පවතින ආර්ථික, සමාජ, දේශපාලනික, නෛතික තත්ත්වයන් වෙනසකට ලක්කිරීමටය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාද 2015 ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පවතින අතපසුවීමක් ගැන ගාල්ල අධිකරණ සංකීර්ණය විවෘත කරන අවස්ථාවේදී නීති ක්ෂේත්‍රයේ ප්‍රධානීන් ඉදිරිපිට 2024 ජූලි 19 දින ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාවද ඉල්ලා සිටි පසුඹිමකය. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ පවතින දෝෂයක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ නීතිපතිවරයාගේ අනුමැතියෙන් 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 2024 ජූලි 18 දින ගැසට් පත්‍රයේ පළ කිරීකිරීමද 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අතපසුවීම් ඇති බව පැහැදිලි කරයි.

1815 සිට බ්‍රිතාන්‍ය කිරීටයේ නෛතික බලයට යටත්ව සිටිමින් 1970 සමඟි පෙරමුණු ආණ්ඩුව බලයට පැමිණ, 1815 සිට පවතින බ්‍රිතාන්‍යය කිරීටයේ පාලනයෙන් මිදී එවකට පැවති සෝල්බරි ව්‍යවස්ථාවට බැහැරව ජනරජ ව්‍යවස්ථාවක් බිහිකිරීමට කතිකාවක් ඇරඹෙද්දී 1971 කැරල්ල අරම්භ විය. එම කැරැල්ල අසාර්ථක වූ අතර 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව සහ ඉන් පසු 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවද පැනවිණ.

1972 පළමු ජනරජ ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව බිහිකර ගැනීමට යන අවස්ථාවේදී 1971 දී කැරැල්ලක් ඇති වූ අතර එයට අනුර දිසානායක ජනාධිපතිවරයාගේ දේශපාලන යාන්ත්‍රණයේ ආරම්භකයෝ මුල් විය.

1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරගෙන යන අවථාවේදීද 83 ජූලියේ සහ 1988 සමයේ නැවත භීෂණ තත්ත්වයක් පැවතිනි. එසේම වසර 30ක බෙදුම්වාදී සන්නද්ධ ගැටුමක්ද එම ජනරජ ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙද්දී පැවතිණි.

2022 දී එවකට බලයේ සිටි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අරගලයක් මගින් ඉල්ලා අස්කරවූයේද 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙද්දීය.

එම ගැටුම් සියල්ල පැවතුනේ ස්වාධීන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක් තුළය. 1972ට පෙර එවැනි ගැටුම් අතිවීම බ්‍රිතාන්‍යන් විසින් පාලනය කර තිබුණි.

ගැලවුම්කරු

ඉන්ද්‍රජාලිකයෙකු, මැජික්කරුවෙකු නොවන බවත් සාමාන්‍ය පුරවැසියෙකු බවත් ජනාධිපති ලෙස ප්‍රතිඥා දුන් අවස්ථාවේ අනුර දිසානායක ජනාධිපතිවරයා ජනතාව හමුවේ ප්‍රකාශ කළ අතර එසේ වුවත් ඔහුට රටේ ගැලවුම්කරු වීමේ අවස්ථාව විවෘතව ඇත.

ඒ කෙසේද යන්න පිළිබඳ දැනුවත් වීමට විදෙස් උදාහරණවලට වඩා රටේ උදාහරණ ඇසුරෙන් විමසීම වැදගත් වේ.

1815 උඩරට ගිවිසුමත්, ඩොයිලිගේ, කැප්පෙටිපොළ නිළමේගේ සහ සෝල්බරි සාමිගේ භූමිකාවන් හැදෑරීමෙන් වැදගත් තොරතුරු ලබා ගත හැකිය.

අනුර දිසානායක ජනාධිපතිවරයාගේ භාවිතය විසින් ඔහු ඩොයිලිද, කැප්පෙටිපොළද, සෝල්බරිද, ගැලවුම්කරුද, සාමාන්‍ය පුරවැසියෙකුද යන්න ජනතාවට පැහැදිලි වන අවස්ථාවක් ඇත. ඒ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත්වන අවස්ථාවේදී සහ එය සම්මත කරගන්නා අවස්ථාවේය.

(ඉදිරියේදී 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නැවත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන එනු ඇතැයි මෙම ලියුම්කරු අපේක්ෂා නොකරන අතර, 2015 ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පවතින අතපසුවීමක් ගැන ගාල්ල අධිකරණ සංකීර්ණය විවෘත කරන අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා 2024 ජූලි 19 දින ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටිමත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ පවතින දෝෂයක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ නීතිපතිවරයාගේ අනුමැතියෙන් 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 2024 ජූලි 18 දින ගැසට් පත්‍රයේ පළ කිරීමත් හේතුවෙන් ඉදිරියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ස‍ංශෝධනයක් ඉදිරිපත් කළහොත් ඒ සම්බන්ධ කාරණා නැවත මතුවීම එයට හේතුවයි.)

http://neethiyalk.blogspot.com/2024/09/blog-post.html?m=1

අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතීඥ.
සමායෝජක,
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන.
දුරකථන 0712063394.
(2024.09.24)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress