ජනතා සම්පත් භුක්ති විදිමින් නොසිට ජනතාවාදී රාජ්‍ය සේවයක් වෙනුවෙන් එක්ව කටයුතු කරමු
Posted on September 25th, 2024

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

• නීතිය, රාජ්‍ය සේවය, දේශපාලන අධිකාරිය පිළිබඳ ජනතාව තුළ විශ්වාසයක් නැතුව  රටක් ගොඩ නගන්න බැහැ….
• ශක්තිමත් රාජ්‍ය සේවයක් ගොඩනැගීම අපේ අරමුණක්….
ජනතා සම්පත් භුක්ති විදිමින් නොසිට ජනතාවාදී රාජ්‍ය සේවයක් වෙනුවෙන් එක්ව කටයුතු කරමු යැයි අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
අග්‍රාමාත්‍යවරිය මෙසේ පැවසුවේ අද (25) පෙරවරුවේ  අග්‍රාමාත්‍ය කර්යාලයීය නිලධාරින් සමඟ කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්‍යලයේ පැවති සාකච්ඡාවකදීය.  
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය  හරිනි අමරසූරිය මෙනෙවිය,
ජනාධිපතිවරයා පත්වුණේ තවත් එක් ජනාධිපතිවරණයකින් නොවන බව අපි මේ මොහොතේ තේරුම්ගත යුතුයි. පැවැති රජයකට එරෙහිව පැවැති අරගලයකින් පසුව පැවැත්වූ ජනාධිපතිවරණයකදී බහුතර ජනතාවකගේ කැමැත්තෙන් ජනාධිපතිවරයා පත්වුණේ. ජනතාව තමන්ගේ තීරණය ප්‍රකාශ කළේ පසුගිය වසරවල ලැබුණු අත්දැකීම්  හා දුටු දේවල් අනුවයි.  මෙවර පැවැත්වුණු මැතිවරණය පක්ෂවලින් මෙහෙය වූ මැතිවරණයකටත් වඩා ජනතාව විසින් මෙහෙය වු මැතිවරණයක් කිව්වොත් නිවැරදියි.
ජනාධිපතිතුමා සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් පසු ජනතාව අමතමින් සඳහන් කළේ රටක දියුණුවට ජනතාව, පාලකයා සහ රාජ්‍ය සේවය අතර හොඳ විශ්වාසයක් තිබිය යුතු බවයි. ජනතාවට ඒ විශ්වාසය නැතිවෙලා. එය නැවත ඇතිවන ලෙස වැඩකිරීම අපේ යුතුකමක්. ජනතාව තනිවෙලා බවයි සිතන්නේ. නීතිය, රාජ්‍ය සේවය, දේශපාලන අධිකාරිය පිළිබඳ ජනතාව තුළ විශ්වාසයක් නැතුව  රටක් ගොඩ නගන්න බැහැ. ඒ විශ්වාසය ඇතිවන ලෙස වැඩ කරමින් අපිට රට ඉදිරියට ගෙනියන්න වෙනවා.
ශක්තිමත් රාජ්‍ය සේවයක් ගොඩ නැගීම අපේ අරමුණක්. රාජ්‍ය සේවකයින් ස්වාධීනව වැඩ කරමින් ජනතා විශ්වාසය දිනාගන්න කටයුතු කරන ලෙස ද මෙහිදී අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.
අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා,
රාජ්‍ය සේවකයන් ලෙස අපිට තිබෙනවා විශේෂ කාර්යභාරයක්. සමහරු හිතන් හිටියේ ඔවුන් ජනතාවට වඩා ඉහළින් ඉන්න පිරිසක් කියලා. දැන් අපිට අවබෝධ කරගන්න වෙනවා අපි සැමට ඉහළින් ජනතාව සිටිනවා කියන කාරණය. පෞද්ගලිකව තමතමන්ට දේශපාලන මතයක් ඇති. ඒත් අපි හැමෝටම වගකීමක් තිබෙනවා පවතින රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. ජනතාවට සේවය කිරීමට මීට වඩා කැපවෙන්න අවශ්‍යයයි අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පැවසීය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරුන් වන  හර්ෂ විජේවර්ධන,  මහින්ද ගුණරත්න, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඩී. මාශංක එච් ලියනගේ මහතා අතුලු අග්‍රාමාත්‍ය කාර්‍යලයේ නිලධාරීන් පිරිසක් සහභාගි වුහ.


අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress