විසිවන සියවසේ මුල මෙහි විසු ශූර වැදී, තිසාහාමි සහ වැද්දන්ගේ සීග්‍ර බහිනකළාව
Posted on October 7th, 2024

චානක බණ්ඩාරගේ

තමන් කවදා හෝ ගම්මුලාදෑනියාව නිල්ගලට ගෙන්වන බවට තිසාහාමි පාරම් බෑවේය.

ඔහු කීදේ කළා පමණක් නොව නිල්ගලට පැමිණී රාලහාමිට ඔහු වෙඩි තබා මැරීය.

රාලහාමිගේ මිනිය පොලිසියට  රැගෙන යාමට නොහැකි වනසේ තිසාහාමි දින 3ක් එය රැක්කේය. තිසාහාමිට බියේ ඉංග්‍රීසි රජයේ පොලිස් හමුදාව සී සී කඩ දිවුහ.

තිසාහාමි සිතා මතා රාලහාමිව මැරුවා නොවේ. තිසාහාමිගේ බෙහෙත් කොටන තුවක්කුව නොසිතු ලෙස පත්තු වීම නිසාය එම මරණය සිදු වුයේ. ඔහුට අවශ්‍ය වුයේ රාලහාමි බය කිරීමටය.

තිසාහාමිව අල්ලා ගැනීමට ශ්‍රී ලංකාවේ එවක සුදු ජාතික පොලිසිය නොගත් උත්සහයක් නොමැත. සිය ගණනින්  පොලිස් භටයන් බින්තැන්නේ සිට අම්පාර/මඩකලපුව වනයන් දෙවනත් කරමින් මාස ගණන්, අවුරුදු ගණන් තිසාහාමිව සෙවිය. ඒ සෑම ක්‍රියාන්විතයකින්ම තිසාහාමි දිනීය.

සරදියෙල්, පුරන් අප්පු  ඇල්ලු පොලිසියට තිසාහාමිව කිසිදා අල්ලා ගැනීමට නොහැකි විය.

වනයේ බිහිසුණු අලි, කොටි, වලසුන්ටත් වඩා හොඳින් තිසාහාමි කැලය ගැන දැන සිටියේය. ඔහු තම ශාස්ත්‍රය දරුවන්ටද ඉගැන්වීය. ලොකු පුතා, සුදු බණ්ඩා, අන් සියල්ලන්ටම වඩා ‘දරුණු’ කෙනෙක් වීය. තමනට නොගැලපෙන දීගයක් සොයා ගොස් (සිංහල), වැදී සුදු බණ්ඩා අකාලයේ වෙඩි පහරකින් මිය ගියේය.

සුදු බන්ඩාගේ වියෝව තිසාහාමිට වාව ගත නොහැක්කක් විය.

තිසාහාමිගේ බිරිඳ වල්ලි සහ දෙවෙනි පුතා ටිකිරි ඉතා දක්ෂ දඩයම් වැද්දන් විය. ඔවුහුද විටක  සහාසික වුහ; එසේ නැතුව ඔවුන් ගෙවන වන ජීවිතය ගෙවිය නොහැක. ඔවුන් ගේ වේලපු දඩ මස්, මී පැණි ආදිය සිංහලයන්ට දී ඔවුහු දුම්කොළ, ලුණු ආදිය ලබා ගතී.

තිසාහාමිගේ සහ සුදු බණ්ඩාගේ සහාසිකම් වලට කිට්ටුවට ඒමටවත් වල්ලිට සහ ටිකිරිට නොහැකි  විය.

තිසාහාමි හොඳ පියෙකි. බාලම දියණියට ඔහු ඉතාම ආදරය කළේය.  අවසාන පොලිස් ක්‍රියාන්විතයනදී තිසාහාමි තම දියණියව ඔහු ළඟ තබා ගතී.

තමන්ට ඉතාම ආසන්නයෙන්, සිය ගණනින් යුත් පොලිස් හමුදාව  තමන් පසු කර යන සැටි තිසාහාමි කුඩා දියණියට ප්‍රවේශමින් පෙන්විය. ඇය ඇස් ලොකු කර ඔවුන් දෙස බලා සිටියාය. අවශ්‍ය වුයේ නම් දුන්නෙන් විදීමටද ඇය සුදානම්ව සිටියාය.

වනයේ ජීවත්වෙන සැටි තිසාහාමි සෑම මොහොතකම තම කුඩා දියණියට කියා දුන්නේය.

තිසාහාමි සහාසික වුයේ සිංහලයන් විසින් වැද්දන් වූ ඔහුගේ පරපුරට නොකඩවා කරන ලද අරියාදු, අසාධාරණකම් නිසාය. සෑම අරගලයකදීම ඉංග්‍රීසි  ආණ්ඩුවද ඉතා අසාධාරණ ලෙස ගත්තේ සිංහල ගැමියන්ගේ පැත්තයි.

සිංහලයන් සැමදාම තිසාහාමිව දැක්කේ රෞද්‍ර, සහාසිකයෙක් ලෙසය.

තිසාහාමිගේ වැද්දෝ හෙළයෝ වෙත් (විජයගේ සිංහලයන්ට පෙර මේ රටේ සිටියවුන්).

ඔවුන් ඉතා විශිෂ්ට ශිෂ්ටාචාරයක් මේ රටේ බිහි කර සිටී බවට වූ බොරු ගොතා පතුරන, ‘නොනවතින ඉතිහාසය’ නමින් යු ටියුබ් නාලිකාවක්ද කරන, ඉතා ප්‍රසිද්ධ එක් පුරා විද්‍යා මහාචාර්ය වරයෙක් සිටී.

ඉතා සුක්ෂම ලෙස අපේ ඉතිහාසය කෙළසීමට බලා සිටින, ද්‍රවිඩ බෙදුම්වාදයට යටින් උදව් කරන අය සිටිත්. පණ්ඩුකාභය, දේවානම් පියතිස්ස ද්‍රවිඩ බවත්, සීගිරිය කාශ්‍යප රජුගේ නිර්මාණයක් නොවන බවත් මේ අය පවසන සමහර බොරුය.   

මේ අයගේ අතීතය ගුප්තය. ඔවුහු එය සඟවති. ඇතැමුන් සිංහල වැනි නම් ගත් බෙදුම්වාදීන් යයි සමහරෙක් සැක පළ කර ඇත.

සිංහල පෙළ පොත් වල ඇත්තේ බොහෝ දුරට විකෘති කල ඉතිහාසයකි. ශ්‍රී ලංකාවට බුදු දහම ගෙන ආවේ මිහිඳු මහ රහතන් වහන්සේ බව අද (දහම් පාසැල් නොයන)  10වෙනි ශ්‍රේණියේ දරුවන් නොදනී. මන්ද, මේවා පෙළ පොත් වලින් බැහැර කර ඇති  බැවිනි. විජය, සඟමිත් තෙරණිය, අනගාරික ධර්මපාල තුමා ගැන සඳහන් වන්නේ පේළියක් හෝ දෙකකි. 1960/70 ගණන්වල ඉතිහාසය පොත් වල මේ අය ගැන පරිච්ජේද ගණනින් ලියැවිණි.

සිංහලයාට ප්‍රථම මේ රටේ ද්‍රවිඩයන් සිටී බවට මතයක් අද පාසැල් ඉතිහාස පෙළ පොත් මඟින් ඉතා සුක්ෂම ලෙස පෙන්වා දෙයි.

රාවණා යනු හුදු මනක්කල්පිත චරිතයකි. ඔහු සැබැවින්ම මෙහි විසු බවත්, ඔහු ද්‍රවිඩයෙක් බවත්  මෑතක සිට බෙදුම්වාදීන් පතුරන කථාවකි. මෙයට අප සිංහලයෝද (සමහර මහා සංඝරත්නය පවා) හසුවී ඇත. මෙයින් සිදුවන්නේ අපේ පිරිසිඳු ඉතිහාසය අප විසින්ම විනාශ කර දැමීමයි.

වැද්දෝ  කෘෂිකාර්මික (agrarian) නොවුහ, ඔවුන් මුළිකව දඩයම් කර, ඒවා එකතු කර ජිවත් වුවෝයි (hunter gatherers). කුවේණිය කපු කෙටු බව සැබවි.

විජය එන විට මෙහි සිටී කුවේණිය හෙළයෙකි. ඇය ද්‍රවිඩ බව උක්ත මහාචාර්යවරයා පවසා තිබුනත් එය බොරුය (ඔවුන් උත්සහ කරන්නේ හෙළයන් ද්‍රවිඩයන් බව පෙන්වීමටය).  

කුවේණිය පුත්තලම ආශ්‍රිත ප්‍රදේශයේ විසු ‘යක්ෂ’ ගෝත්‍රිකයන්ගේ රැජිණ වුවාය.

විජයගේ ඥාති පුත් පඬුවාසුදේව (රජු) අනුරාධපුර රාජධානියේ  ආරම්භකයායි.

මහාවංසයට අනුව නම්, වැද්දන් පැවතෙන්නේ විජය/කුවේණි සුසංයෝගයෙනි.

එනම්, මහාවංශයට අනුව වැද්දෝ කෙළින්ම විජයගෙන් පැවත එන්නෝයි (විජය + කුවේණි = ජීවහත්ත සහ දිසාලා – වැදී).

මේ ව්‍යාකූලය (වැද්දෝ විජයට පෙර මෙහි සිටී හෙළයෝද (උදා. බලංගොඩ මානවකයා),  නැත්නම් විජය/කුවෙනි දෙදෙනාගේ දරුවෝද යන්න)  එතරම් බරපතල/විශාල එකක් නොවේ.

විජයට කළින් මෙහි සිටියවුන් ගැන මහාවංශය සඳහන් නොකරයි.

වැද්දෝ කුවේණියව ‘මහ ලොකු කිරිඅම්මලඇත්තෝ’ යන ආදර නමින් හඳුවන්ති. සමන් දෙවිදුන් කුවේණිගේ මාමා යයි පිළිගැනීමක් ඇත. බුදුන්ගේ පළමු ගමනේදී (මහියංගනය), උන්වහන්සේට එවකට එහි ප්‍රාදේශීය පාලකයා වූ සමන් (ගිහි කල) හමුවී ඇත.

විජය කුමරු සහ බුදු දහම ඉදිරියේදී නිත්‍ය වශයෙන්ම රැකීම පිණිස ශ්‍රී ලංකා දේශය  බේරා දිය යුතු බවට සිය පිරිනිවන් මංචකයේදී, බුදු රජුන් සක්‍ර දෙවීදුන් හට පැවසූහ. මේ බව මහාවංශයේ මෙසේ  ග්‍රන්ථාරූටය:

 පිරිනිවන් මංචකයේ හොත්තාවූ බුදුන් වහන්සේ ශක්‍රයා අමතා ‘සිංහබා පිත් තෙල විජය කුමර අනගත සත් සියයක් පිරිවර ඇතිව ලාට රටින් ලක්දිව් බැසේය. දේවේන්ද්‍රය මාගේ සස්න ලක්දිව්හි පිහිටන්නේය. එහෙයින් පිරිවර සහිත උහුද ලංකාවද මොනවට රකුව’ යි වදාළ සේක.”

අද අපේ උඩඟු සමහරෙක් නොපිළිගත්තත්, ඉන්දියාව මහාවංශය පිළි ගනී.

බුදු රජුන්ගේ ඉල්ලීම පිළිගත් සක් දෙවිඳු ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම සමන් දෙවිදුන්ට මෙන්ම දැඩිමුණ්ඩ දෙවියන්ට පවරන ලදී. මේ රට අදත් ඒ දෙවිඳුන් ආරක්ෂා කරත්.

 ඇත්තවශයෙන්ම, සිංහල අපටත් වඩා තිසාහාමිගේ වැදී පරම්පරාවට මේ රටට අයිතියක් තිබේ?  

අප විජයගෙන්; – ලාට රටේ, මගධ දේශයේ, සිංහබාහු ගමෙන් පැමිණේන්නවුන් නම් – අප තුල යම් තරමින් දුවන්නේ උතුරු ඉන්දීය ලේය – පඬුවාසුදේව, ඔහුගේ බිරිඳ, බද්ධකච්චායනා – ඇය බුදු හාමුදුරුවන්ගේ ඥාති දියණියකි.

සිංහබාහුගේ ‘සිංහයෝ’ (700), මෙහි වූ හෙළයන් සමඟ මුසු වූ නිසායි සිංහලන් (සිංහ + හෙළ) බිහි වුයේ.  

මේ රට කෘෂිකාර්මික (agrarian) බවට පත් වුයේ සිංහලයන් නිසාය (පඬුවාසුදේවගෙන් මඳක් පසුව ආ පන්ඩුකාභය මෙයට අත්තිවාරම දැමිය).

මීට අවුරුදු 40,000ට පෙර ලොවටම සහල් හඳුන්වා දුන්නේ අප යයි වැනි බොහෝ බොරු එම මහාචාර්යවරයා පවසයි. ලොවේ මුළින්ම යකඩ සොයා ගත්තේ අප රටේ යයි මෙම මහාචාර්යවරයා පවසයි. මේවා අසා අප මහත් සේ කුල්මත් වෙමු. නමුත්, ජාත්යාන්තරය මේවා  නොපිළිගත් සොයා ගැනීම්ය.

සහල්, යකඩ මුළින්ම සොයාගත්තේ චීනය බව මුළු ලොවම පිළිගෙන අවසානය.

ඒ අය එසේ කරන්නේ අපේ පිරිසිඳු ඉතිහාසය අවුල් කිරීමට සහ මෙහි ඇත්තේ ද්‍රවිඩ සම්භවයක්ය යන බොරුව   තහවරු කිරීමටය.

පන්ඩුකාභයගෙන් මඳක් පසුව බිහිවූ අති ශ්‍රේෂ්ට ශ්‍රේෂ්ට නරපතියෙකි දෙවන පෑ තිස් මහ රජු. ඔහුගේ රජ සමයේ මුළු රටම පාහේ බෞද්ධ විය (වැද්දන් සමහරෙක් හැර). හිටපු උතුරේ මහ ඇමති විග්නේස්වරන්ගේ බොරු ඉතිහාසයට අනුව ඔහු දෙමළය – දේවානම් පියතිස්සන්.

18, 19 ශත වර්ෂ වල නව සුදු ජනපද බිහි කිරීමේදී ඕස්ත්‍රේලියාව තුල ඇබරජින් වරුන් (එරට ආදී වාසින්) දහස් ගණනින් මැරුම් කෑහ. ඒ   ඇබරජින්වරුන් ගෙන් සමහරෙක් ශ්‍රී ලංකාවෙන් එම රටට ඇවිද යන ලද අපේ වැද්දෝයි (පුරාණ යුගයේදී අප්‍රිකාව, ආසියාව සහ ඕස්ත්‍රේලියාව එකම තනි භුමියකි). අද ඕස්ත්‍රේලියාවේ ප්‍රධාන නගර කිහිපයක් වැදී නම් වලින් හැඳිනවේ – රත්තරන් බහුල කැල්ගූලී (කළු ගුලිය), ඕස්ත්‍රේලියා අගනුවර කළාපයේ – මීකතාරා (මිහිකතර), වන්නි ආසා (වන්නියට ආස) වැනි.

අප නම් වැද්දන්ට ඒ තරම් සහාසික නොවුනෙමු. අමානුෂික ලෙස ඔවුන්ව මරා නොදැමුවෙමු. ඒ ඔවුන් අපගේ ඇවැස්ස සහෝදරයන් වන නිසාද? (පිය, විජය පාර්ශ්වය).

නමුත්, වැද්දන්ව වැදී ජනපද තුල කොටු කිරීමට අප සමත් වුනෙමු. එදා තිසාහාමිත් සිය පවුල සමඟ තනිව  සටන් කලේ මේ නැගී එන අසාධාරණයට විරුද්ධවය.

සිංහලන්ටත් පෙර ඔවුන් මේ රටේ වාසය කලේ නම්, ඒ (වඳවී යන) වැදී ජනයාට අපගේ ගරුත්වය/ සාධාරණය ලැබිය යුතුය. රටේ පාලකයෝ ජාතිය අමතන විට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යනුවෙන් වෙන වෙනම සඳහන් කර ඒ ජාතීන්ගෙන් අවසර ගනිත්; කිසිවෙක් ආදී වාසින් ගැන සඳහන් නොකරයි.  මෙය බරපතල වරදකි.

කඩිනම් මහවැළි සංවර්ධනය කියා අප ඔවුන්ගේ දඩ බිම් අහිමි කළෙමු. මහියංගනයේ සිට පොලොන්නරුව, අම්පාර දක්වා – (Mahaweli Zone C) අක්කර දස දහස් ගණනක් කැලෑ ඉඩම් ඔවුනට අහිමි කර විමු. ඒවායේ වී වගා කරන්නෙමු.

එදා තිසාහාමි රජ කල පළාත්  අද යෝධ නව සිංහල ජනපද වලින් වැසී ගොසිනි (මහියංගනය, දෙහිඅත්ත කන්ඩිය, ගිරාඳුරු කෝට්ටේ වැනි).  මේ අත්පත් කර ගැනීම් ගැන අප ආඩම්බර වෙමු. මේ වෙනුවෙන් අපේ වැදී ජනයා අරගල මඟට නොබැස්සහ.

අද ඉතාම සීමිත ජනගහනයක් වන වැද්දෝ මේ රටේ ඉතාම සිමීත ඉඩම් කොටසකට කොටු වී සිටිත් (දිඹුලාගල, බින්තැන්න, හුන්නස්ගිරිය, මාදුරු ඔය වැනි). ඔවුන්ගේ පාරම්පරික ජීවන ක්‍රමය අද ඔවුනට තහනම්ය. ඒ අතින් නම් අප ඕස්ත්‍රේලියාවටත් වඩා පහළින්ය.

chanakab@hotmail.com

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress