ජනතා පරමාධිකාරීබලය පෙන්වීමට අවුරුදු පහක් බලා සිටිය යුතුද?
Posted on October 14th, 2024

මතුගම සෙනෙවිරුවන්

            මහ මැති වරණයක් පැවැත්වෙන පරිසරයක බුද්ධි ගෝචර කරුණු සාකච්ඡා කිරීමට බොහෝ අය අකමැත්තක් දැක්විය හැකිය. බලය බලය සඳහා පමණක් ය යන අදහස මත කටයුතු කරන ගතානුගතික පුද්ගලයන්ට නම් මෙවැනි බුද්ධි ගෝචර අදහස් ඉදිරිපත් වීම නයාට අඳුකොළ මෙන් විය හැකිය. එහෙත් මේ අවස්ථාවේදී සංවේදී ජනතාවගේ උත්සාහය වන්නේ පවතින ක්‍රමය උඩුයටිකුරු කිරීමට තම බලය පාවිච්චි කිරීමයි. කීප වතාවක්ම එලෙස කරන්නට ගොස් අසාර්ථක වීම නිසා හටගත් සන්තාපයෙන් බොහෝ අය සිටිති.ඒ නිසා පක්ෂා පාට නොබලා අතීත ක්‍රියාකාරකම් කුමක්දැයි නොවිමසා පවතින ක්‍රමය ප්‍රතික්ෂේප කිරීම සඳහා පෙළ ගැසී සිටිති. මේ පියවර එක් අතකින් සමාජ ප්‍රගමනයට සුභදායකය. අනෙක් අතින් සමාජය වල්මත් කරවීම පිණිස බලය ලබන ඇත්තන්ට දෙන වරමක් ලෙසටද සැළකියහැකිය. සොරුන් කුඩු බිස්නස් කාරයන් මගහැරි කල්හි අලුත් පරපුරක් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට ඉදිරිපත් කළ හැකි දැයි ප්‍රවේශමෙන් සිතා බැලිය යුතුය. එහිදී පාර්ලිමේන්තුවට බලය ලබාදෙන ජනතා පරමාධිපත්‍ය නම් ක්‍රියාවලිය පිළිබඳ සෘජු අවධානයක් යොමු කිරීම වැදගත් වන්නේය.

      ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක අත්‍යවශ්‍ය සාධකයක් වනුයේ ජනතා නියෝජනයයි. එය වක්‍රාකාරයෙන් ජනතාව වෙනුවෙන් පෙනී සිටින ඔවුන් වෙනුවෙන් කැපවෙන දුක් ගන්නා මානවයෙකු නිරූපණය කරන්නේය. අතීත ගෝත්‍රික සමාජයක වුවද මානව රංචු වලට නායකත්ව දෙන බාහු බලයෙන් යුක්ත ශක්තිවන්තයෙකු විය. එයම කාලීන ලෙස විකාශනය වෙමින් පැමිණ ජනතාවගේ නියෝජිතයෙකු මේ වන විටනිර්මාණය වී තිබේ.නියෝජිත ප්‍රජතන්ත්‍රවාදයේ පදනම එයයි.මහ මැතිවරණයකදී හෝ ජනපතිවරණයකදී හෝ මානව ප්‍රජාවේ නියෝජනය ජනතා කැමැත්තෙන් ඉහළට ඔසවා තබා යැවේ. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනපතිවරණයක් මහ මැතිවරණයක් පළාත් පාලන මැතිවරණයක් යන සෑම අවස්ථාවකදීම ජනතා නියෝජනයන් තෝරා පත් කර යැවීම සිදු වේ. එලෙස යවන තැනැත්තා ට යම් බලයක් හිමි වන අතර ඒ බලය නිවැරදිව ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ කල්හි ජනතා පරමාධිපත්‍ය නිරූපණය වන්නේ යැයි කියති.මෙම බලය පිළිබඳ ජනතාවගේ ආකල්පය පිළිබඳ අත්දැකීමක් මෙහිදී සිහිපත් කිරීමට කැමැත්තෙමි.

     ජනපතිවරණය අවසන් වී දිනකින් පසුව උදේ එළවලු කොටුවේ වැඩ කරමින් සිටින කල්හි ත්‍රිරෝද රථයක් පැමිණ නැවැත්වූ බැවින් කවුරුදැයි බැලූ විට හඳුනන පෙදරේරු මහතෙකු බව දැන ගතිමි. ඔහු ගත් කටටම කීවේ මෙයයි. ‘ඔන්න අපි මාලිමාවට දුන්න මහත්තය. අවුරුදු පහෙන් පහට මුන්ව වෙනස් කරන්න ඕන මහත්තය.’ ඔහු මට කියපි.(අවුරුදු පහක්ම ඉන්න ඕනද මට සිතුනි.)  සැබැවින්ම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සතරවන වගන්තිය යටතේ කොටස් පහකින් තමයි ජනතා පරාමාධිකාරී බලය විග්‍රහ කර ඇත්තෙ. මුලින් සඳහන් කළ පෙදරේරු මහතා සඳහන් කලේ එහි පළමුවන කොටස් දෙකේ සහ පස්වන කොටසේ සඳහන් දෙයයි.එනම් ජනපතිවරණයකින් සහ මහ මැතිවරණයකින් ජනතාවට තිබෙන බලය උරගා බැලීමයි. පස්වන කොටසේ ඇත්තේ අටලොස් වන විය සම්පූර්ණ කර ඇති චන්ද දායකයෙකුට හිමි චන්ද බලය ගැන නිසාවෙන් එයද ඉහත වගන්ති ‌ෙදකටම බැඳෙයි.සතරවන කොටසේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ගැන කතාවන අතර  මූලික අයිතිවාසිකම් කඩ වීමකදී ජනතාවගේ  අධිකරණ බලය ශ්‍රෙෂ්ඨාධිකරණය මගින් පසිඳලිය යුතුයි. එහෙත් අප සැවොම දන්නා පරිදි ඉහළම උසාවියකට පෙත්සමක් ඉදිරිපත් කිරීම වියදම් අධික ක්‍රියාවකි ඉංග්‍රිසීයෙන් කතා කරන ඉංග්‍රීසියෙන් නඩු අහන වාර්තා නිකුත් කරන  ඒ ස්ථානයට සාමාන්‍ය ජනතාවට කිට්ටු විය නොහැකිය.නීතිඥයෙකු සිංහල බසින් කතා කළද නඩු තීන්දුව ලැබෙන්නෙ ‌ඉංග්‍රීසියෙනි.නැවත පාර්ලි‌මේන්තුවට යැවෙන්නේද ඉංග්‍රීසියෙනි. එබැවින් සතරවන කොටසේ තිබෙන ප්‍රතිපාදනය ක්‍රියාවට නැන්වීම මහත් දුෂ්කර කටයුත්තකි.

   ඒ සමගම  තුන්වන කොටසේ තිබෙන කරුණු පිළිබඳව බොහෝ අයගේ අවධානය යොමු වී නැති බව මාගේ අදහසයි. එහි දක්වා ඇත්තේ ‌ෙමයයි. ‘නීතිය අනුව පාර්ලිමේන්තුව විසින්ම ක්‍රියාත්මක කළ හැකිපාර්ලිමෙන්තුවේ සහ එහි මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පරිහාර හා බලතල සම්බන්ධයෙන් විනා ජනතාවගේ අධිකරණ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‌වෙන්  ඇති කොට පිහිටුවන ලද හො ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගන්නා ලද නැත‌ෙහාත් වෙනත් යම් නීතියකින්  ඇති කොට පිහිටුවන  ලද අධිකරණ විනිශ්චය අධිකාර සහ  ආයතන  මගින් පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කළ යුත්තේය.’අධිකරණ විනිශ්චය අධිකාර දැනටමත් අධිකරණයේ බලතල ක්‍රියාත්මක වන ආයතන වේ. ‌ෙමහි ආයතන යනුවෙන් දක්වා තිබෙන්නේ පාර්ලිමේන්තු‌වේ කතානායක වරයා විසින් මන්ත්‍රීවරුන්‌ෙග් සභාපතිත්වයෙන් පිහිටුවා තිබෙන මුදල් කාරක සභා  ව්‍යාපාර කාරක සභා අදී වශයෙන්  ගැනෙන කාරකා සභාවන්ය.ඒවා දැනටමත් ක්‍රියාත්මක වන අතර පාර්ලිමේන්තුවේ මූලික වගකීම් අතර වන මූල්‍ය අධීක්ෂණය ඊට අයත් බව කිව යුතුයි.ඒ සමගම ආංශික අධීක්ෂණ කාරකා සභාවන්ද ජනතාවට සභාගි විය හැකි කාරක සභාවන්ද කතානායක වරයාට යෝජනා කොට පිහිටුවිය හැකිය.

       ජනපතිවරණයක් සහ මැතිවරණයක් පැමිණෙන්නේ වසර පහකට පමණක් නම් ඒ කාලය තුළ අධිකරණයට යෑම පමණක් කළ හැකි නම් එයද වියදම් අධික කාලය නාස්තිවන ක්‍රියාවලියක් නම් මෙකී පාර්ලිමේන්තු කාරකා සභා වල ජනතා නි‌යෝජනය වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් නැත. ‌ෙසාල්බරි ව්‍යවස්ථා‌වේ තිබූ එක් යහපත් වගන්තියක් නම් යම් මන්ත්‍රීවරයෙකු මූල්‍යමය අපරාධ හෝ දූෂණ අපරාධ ගණ‌ෙය් ක්‍රියා කර ඇත්නම් පුරවැසියෙකුට ඔහුට විරුද්ධව දිසා අධිකරණයකදී නඩු පැවරිය හැකි වීමයි. ඒ වගන්තිය 1972 ව්‍යවස්ථා‌වේ දී සං‌ශෝධනය වී නඩු පැවරීමේ බලය නීතිපතිවරයාට පැවරිණ. නමුත් නීතිපතිවරයා යනු රජයේ නීතිඥයා බැවින් එවැනි ක්‍රියාමාර්ගයක් ගැනෙන්නේ කලා තුරකිනි.එම තත්වය තුළ පාර්ලි‌මේන්තු කාරක සභා වල ජනතා නියෝජනය වැඩි කරමින් ගැටළු වලට ජනතාව‌ෙග් අදහස් විමසමින් නිළධාරීන් සමග එක්ව වැඩ කිරීමට අවස්ථාවක් ලැබිය යුතුය.ව්‍යවස්ථා සංශෝධනයකදී හෝ පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමේ දී පවා ඒ වෙනස් කම් කාරක සභා හරහා සාකච්ඡා කරන්නේ නම් ජනතා‌වගේ පරමාධිකාරී බලයට සාධාරණයක් ඉටු වන්නේ යැයි සිතමි. එසේ ‌ෙනාමැතිව පක්ෂ වලට චන්ද ලබා දීමට ජනතාව පොළඹවා පක්ෂ වලට අවශ්‍ය පුද්ගලයන් මන්ත්‍රී තනතුරුවල පිහිටුවා ජනතා පරමාධිකාරී බලය රැකිය නොහැකිය.මේ මහ මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන්ද චන්ද දායකයන්ද මේ පිළිබඳ සිහි බුද්ධියෙන් කටයුතු නොකළහොත් ජනතාවගේ අවශ්‍යතාවය වෙනුවට විදේශ බලවේගයන්හි අවශ්‍යතාවය හෝ බලය සඳහා වන ව්‍යාපාර වල අවශ්‍යතාවයන් පමණක් ස්ථාපිත වීම වලක්වනු නොහැක්කේය.

මතුගම සෙනෙවිරුවන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress