ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා සීඅයිඩියෙන් ඉවතට… තමන්ට එරෙහිව ඇති විමර්ශනය කඩාකප්පල් කරන්න රවි සෙනෙවිරත්න තමන්ගේ ලේකම් ධූරය භාවිත කරනවා – ගම්මන්පිලගෙන් චෝදනා
Posted on November 4th, 2024
උපුටා ගැන්ම ලංකා ලීඩර්
මැතිවරණ කොමිසමේත් කනෙන් රිංගා රාජකාරි අවශ්‍යතා මත යනුවෙන් සඳහන් කර සී අයිද්ධියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා මහතාව සීඅයිඩියෙන් පොලිස් මුලස්ථානයට මාරු කිරීමට රවි සෙනෙවිරත්න මහතා ක්‍රියාකළ බවත්, රාජකාරි අවශ්‍යතා මත යැයි පැවසූවද කිසිම රාජකාරියක් ඔහුට පවරා නැති බවත් සර්වජන බලය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සහ පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (04) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුව හා එක් වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“රවි සෙනෙවිරත්න මහතාගේ නොසැලකිල්ල නිසා පාස්කු ප්‍රහාරය සිදු වුණු බවත් ඔහු තනතුරේ සිටිය නිසා මීට පෙර පැවැති කොමිෂන් සභා ඉදිරියේ මේ කාරණය නිසි අයුරින් මතු නොවුණු බවත් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා පොලිසියට පැමිණිල්ලක් කරමින් සඳහන් කළා. මේ පිළිබඳ පොලිස් විමර්ශනයක් සිදු කර ඔහුගෙන් සිදුවුණු සාපරාධි නොසැලකිල්ලට දඬුවම් කරන මෙන් පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටියා. මේ පැමිණිල්ල විමර්ශනය කරන්න භාර වුණේ සී අයිද්ධියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා මහතාට, තමන් කළ වරද තමන් දන්න නිසා බොහොම කලබල වුණු රවි සෙනෙවිරත්න මහතා මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරලා තමන්ව අත්අඩංගුවට ගැනීමේ සුදානමක් තිබෙනවා ඒක වලක්වන්න කියා ඉල්ලීමක් කළා. ඒ නඩුව තවම විභාග වෙනවා. ඒ අතරේ තමයි රවි සෙනෙවිරත්න මහතා පොලිසිය භාර අමාත්‍යාංශ ලේකම් වෙන්නේ.
රවි සෙනෙවිරත්න මහතා පොලිසිය භාර ලේකම් වුණත් පොලිස් විමර්ශනය දිගටම කරගෙන යන්න තරම් ඉන්දුක ද සිල්වා මහතා නිර්භීත වුණා. රවි සෙනෙවිරත්න මහතා මොකද කලේ? මැතිවරණ කොමිසමෙත් කනෙන් රිංගලා රාජකාරි අවශ්‍යතා මත කියලා ඉන්දුක ද සිල්වා මහතාව සීඅයිඩියෙන් පොලිස් මුලස්ථානයට මාරු කළා. රාජකාරි අවශ්‍යතා මත කියලා කිව්වාට කිසිම රාජකාරියක් පවරලා නෑ කියලා තමයි අපට නම් ආරංචි.
ජයවර්ධන ජනාධිපතිතුමා කෙතරම් හිතවතෙක් වුණත් ගෝනවල සුනිල්ව පොලිසිය භාර ලේකම් කලේ නෑ. ප්‍රේමදාස ජනාධිපතිතුමා කෙතරම් හිතවතෙක් වුණත් සොන්ති උපාලිව පොලිසිය භාර ලේකම් කලේ නෑ. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිතුමිය තමන්ගේ කොතරම් හිතවතෙක් වුනත් බැද්දගානේ සංජීව පොලිසිය භාර ලේකම් කලේ නෑ. මොකද ඒ අය පොලිස් විමර්ශන වල සැකකරුවන් නිසා. නමුත් ඉතිහාසයේ ප්‍රථම වතාවට පොලිස් විමර්ශනයක සැකකරුවෙකුව පොලිසිය භාර ලේකම් බවට පත් කලේ වත්මන් ජනාධිපතිතුමා. ඉතින් අපි සැක කළ අයුරින්ම දැන් තමන්ට එරෙහිව තිබෙන විමර්ශනය කඩාකප්පල් කරන්න රවි සෙනෙවිරත්න මහතා තමන්ගේ ලේකම් ධූරය භාවිතා කරනවා.”