76 වසරක සොරකම්
Posted on November 9th, 2024
උපුටාගැණීම මුහුනුපොත
වත්මන් ආණ්ඩුව බලයට පත් වීමේ මූලික තේමාව ලෙස යොදා ගත්තෙ “හොරකමට එරෙහි වීම” කියන තේමා පාඨයයි. ජවිපෙ ඉතිහාසයේ කිසි දිනක එම තේමා පාඨය තම මූලික තේමා පාඨය බවට පත් කර ගත්තේ නැත. ජවිපෙ මේ තේමා පාඨය සිය මූලික තේමා පාඨය කරගත්තේ එහි වත්මන් නායකයා වන අනුර දිසානායක පක්ෂ නායකයා වූ පසුවයි.
1977 න් පසු රට තුළ විශාල වශයෙන් දූෂණ,වංචා, සහ අක්‍රමිකතා විශාල ලෙස සිදුවන බවත් ඒ බොහෝ ඒවා සමඟ දේශපාලන බලය සම්බන්ධව ඇති බවත් රටේ ජීවත්වන සැමදෙනාම දන්නා දෙයකි. ඒ අනුව මේ දූෂණ,වංචා, සහ අක්‍රමිකතා වලට විරුද්ධ දේශපාලන කතිකාවතක් ගොඩ නැගීම අවශ්‍ය කාරණාවක් ව තිබිණි. ඉන්දියාවේ ද කලකට ඉහත අන්නා හසාරේ සහ අරවින්ද් කෙජ්‍රිවාල් වැනි පුද්ගලයෝ දූෂණයට එරෙහිවීම යන තේමාවම යටතේ දේශපාලන ව්‍යාපාර ගොඩ නැගූ අතර ඒවා යම් ජනප්‍රියත්වයකට පත් විය.
අද වන විට අප රටේ මූලික දේශපාලන තේමාව වී ඇත්තේ සොරකම සහ සොරු ඇල්ලීම යන්න බව පැහැදිලිය. 2022 ඇති වූ ආර්ථික අර්බූදයේ සිට බිත්තරයක මිල තීරණය වීම යන ක්ෂුද්‍ර කාරණා දක්වා “සොරකම” සම්බන්ධ බව සිතන තරමට ජනතාව තල්ලු කිරීමට අනුර දිසානායකගෙන් පසු ජවිපෙ ගෙන ගිය මේ ප්‍රොපගැන්ඩාව සමත් වී ඇත.
මේ ආකාරයෙන්ම 2015 බලයට පත් ආණ්ඩුව ද බලයට පත් වූයේ සොරකමට එරෙහි වීමේ තේමාව මුල් කරගෙනය. එසේ නමුත් රටේ සිදු වූ විශාලම පරිමාණයේ මූල්‍ය වංචාවට එම ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ නම ගෑවීම නිසා ඒ ආණ්ඩුව සම්බන්ධව තිබූ ජනතා විශ්වාසය මුළුමනින්ම පළුදු විය.එවබැවින් අනෙකා සොරෙකු බව කීමට තමා සොරකු නොවී සිටීම අත්‍යවශ්‍ය කාරණාවක් බව පැහැදිලිය.
ජවිපෙ කියන්නේ 76 වසරක් රට පාලනය කළ ආණ්ඩු සියල්ල රටේ සම්පත් කොල්ල කෑ බවයි. ජවිපෙට 2024 දක්වා ආණ්ඩු බලයක් තිබී නැත. නමුත් ජවිපෙ සොරකම් නොකළ පක්ෂයක්ද?
ජවිපෙ බිහි වූයේ 1965 දීය. මුල් කාලයේ පක්ෂයේ අරමුදල් තිබුණේ නැත. පක්ෂයට අරමුදල් සම්පාදනය වෙනුවෙන් ජවිපෙ කුඩා ගොවිපොළවල් ආරම්භ කිරීම වැනි සුළු ව්‍යාපාර ආරම්භ කරන ලද අතර විජේවීර පොළවල් වල මුට්ට කර ගැසීමෙන් මුදල් ඉපයූ බව කියැවේ.
නමුත් පසු කලෙක ජවිපෙ වඩා ලාභදායි ක්‍රමවලට යොමු විය. ජවිපෙ විසින් සන්නද්ධ කැරලි දෙකක් සිදු කරන ලද අතර ඒ කාලවලදී පක්ෂවලට අරමුදල් සම්පාදනය සඳහා මංකොල්ලකෑම් සිදු කළහ. කලක් පක්ෂයේ උපනායක ලෙස ක්‍රියා කළ උපතිස්ස ගමනායක 1973 දී මුල්වරට අත් අඩංගුවට පත්වන්නේ දැරණියගල ප්‍රදේශයේ වතුයායක වැටුප් මංකොල්ලකෑමට යාම අතරතුරයි.
1983 පක්ෂ තහනමෙන් පසුද ජවිපෙ විශාල ප්‍රමාණයෙන් මංකොල්ලකෑම් සිදු කළහ. 1983 පක්ෂ තහනමින් පසු ඝාතණය වූ මුල්ම ජවිපෙ සාමාජිකයා අනුරාධපුර සරත් විජේසිංහයි. සරත් විජේසිංහ ගේ ඝාතණය එවකට ආණ්ඩුව ජවිපෙට එරෙහිව දියත් කරන ලද භීෂණයේ පළමු බිල්ල ලෙස ජවිපෙ නිතර දක්වයි. කෙසේ නමුත් සරත් විජේසිංහ මිය ගිය ගොස් ඇත්තේ මංකොල්ලයකදී සිදු කළ වෙඩි තැබීමකිනි.
1985 දී ගුරු වැටුප් මංකොල්ලකෑමකට සම්බන්ධ වූ ජවිපෙ මධ්‍යම කාරක සභික තල්පාවිල ධර්මේ එහිදී හසු වූ අතර පහර කෑම නිසා මිය ගියේය. ජවිපෙ දෙවන කැරැල්ලේදී මිය ගිය පළමු ප්‍රධාන පෙළේ නායකයා මිය ගියේ ඒ ආකාරයෙනි.
1986න් පසුව විශාල ප්‍රමාණයේ බැංකු මංකොල්ලවලට ජවිපෙ සම්බන්ධ විය:
1986 ගල්ගමුව මහජන බැංකුව – මුදල් ලක්ෂ 12 සහ රන් බඩු ලක්ෂ 20
1987 දිවුලපිටිය මහජන බැංකුව -මුදල් ලක්ෂ 10 සහ රන් බඩු ලක්ෂ 25
1988 නුවර දිගන මහජන බැංකුව – මුදල් ලක්ෂ 60 සහ රන් බඩු කිලෝ 54
1989 මොරටුව මහජන බැංකුව – මුදල් සහ රන්බඩු ලක්ෂ 60
1989 කටුබැද්ද ලංකා බැංකුව – මුදල් ලක්ෂ 82
1989 තංගල්ල මහජන බැංකුව – මුදල් ලක්ෂ 30 සහ රන් බඩු ලක්ෂ 50
1989 වැල්ලවත්ත මහජන බැංකුව – මුදල් ලක්ෂ 222 සහ රන් බඩු ලක්ෂ 20
උපුටා ගැනීම – “සටනින් සටන”, ධර්මන් වික්‍රමරත්න
මීට අමතරව 87-89 භීෂණ සමයේ ගම් මට්ටමින් ද මුදල් සහ රත්තරන් බඩු මංකොල්ලකෑම් සිදු විය. පිළිමතලාව ඉන්ධන පිරවුම්හල කොල්ලකෑමට පැමිණි කැරළි කරුවකු හමුදා වෙඩි පහරින් මරුවට පත් වූ බව මගේ මතකයේ ඇත.
මෙලෙස කොල්ලකෑම් සිදු කිරීම නිසා 1989 වන විට පක්ෂයට විශාල මුදල් සම්භාරයක් එකතු වී තිබිණි. විජේවීර ඇතුළු නායකයන්ට සැඟවී සිටීම සඳහා බණ්ඩාරවෙල ලෙව්වෙගොඩවත්ත, උලපනේ ශාන්ත මේරි වතුයායම, ගලහ අරලිය වතුයාය වැනි විශාල ප්‍රමාණයේ ඉඩම් මිලට ගැනීමට ජවිපෙට වත්කම් තිබිණි. අවසාන කාලයේ ඩී.එම්. ආනන්ද, සමන් පියසිරි ප්‍රනාන්දු, එච්බී හේරත් වැනි පළමු පෙලේ නායකයන්ට ගමන් කිරීමට රියදුරු සහිත මෝටර් රථ තිබිණි. (ඔවුන් ඇතැමෙක් අත් අඩංගුවට පත් වීමට හේතු වූයේ ද මේ රියදුරුන් විසින් කරන ලද පාවාදීම්ය.)
එපමණක් නොව මෙලෙස කොල්ල කන ලද රත්තරන් බඩු ද විශාල වශයෙන් එකතු වී තිබිණි. කැරලි කරුවන් ලුහු බැඳි ඇතැම් ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් සන්නද්ධ කණ්ඩායම් මේවා ගැන ද විමසිලිවත් වූ බව වාර්තාවල දක්නට ලැබේ.
1971 කැරැල්ලේදී කුරුණෑගල ට පලාගිය කෑගල්ලේ කැරලි කණ්ඩායම විසින් මැල්සිරිපුරදී කොල්ල කෑ ධනයෙන් කැරලිකරුවන් අතර සිටි ඇතැම් පිරිස් පසුව ධනවතුන් වූ ආකාරය ඒ අතර සිටි කැරලි නායකයකු වූ පැට්‍රික් ප්‍රනාන්දු ලියා ඇත. (“සටන්කාමියා”, පැට්‍රික් ප්‍රනාන්දු)
89 කැරැල්ලේ පරාජයත් සමඟ කැරලි කරුවන් පිරිසක් උඩවලවේ ප්‍රදේශයේ සැඟවී සිටියහ. එහි නායකයා වූ රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුවකු වූ ප්‍රේමචන්ද්‍ර කොඩිතුවක්කු ඝාතණය කර ඔහු සන්තකයේ තිබූ රත්තරන් කිලෝ 30ක් කැරලිකරුවන් කිහිප දෙනෙක් පැහැර ගත් බව වාර්තා වේ. (“සටනින් සටන”, ධර්මන් වික්‍රමරත්න)
මෙවන් සිද්ධීන් වලින් පෙනෙන්නේ මෙලෙස කොල්ලෑ කෑ ධනය සියල්ල පක්ෂයේ අරමුදල් තුළට නොව විවිධ අක්‍රමිකතා හරහා නොයෙක් අය අතටද අත්පත් වී ඇති බවයි.