ගතානුගතිත්වය/සම්ප්‍රදාය, සිරිත්/විරිත් සහ නියපොත්තෙන් කැඩිය දේ නොකැඩීම
Posted on December 5th, 2024
චානක බණ්ඩාරගේ
ගතානුගතිකත්වය, සම්ප්‍රදාය
තමන්වහන්සේ විසින් පන්සලේදී ගැට ගැසූ පිරිත් නූල එක් දේශපාලනඥයෙක් පන්සල් භූමියේදීම ගලවා දමා ඉවත්කර පන්සලෙන් නික්ම ගිය බව රජරට එයිතීහාසික විහාරස්ථානයක විහාරාධිපති හිමි නමක් මෑතකදී පැවසුහ. එකී දේශපාලනඥයා එවැනි සිද්ධියක් සිදු නොවූ බව තරයේ කියා සිටියේය.
මෙහිදී කවුරුන් සත්‍යය පවසන්නේදැයි අප නොදනිමු. එය මේ ලිපියට අදාළ නොවේ.
නමුත්, එවන් සිද්ධියක් ඇත්තට සිදුවී නම්, එම දේශපාලනඥයා සිදු කර ඇත්තේ ගතානුගතිකත්වය, සම්ප්‍රදාය ප්‍රතික්ෂේප කිරීමක්ද?
අප ගතානුගතිකත්වය, සම්ප්‍රදාය ප්‍රතික්ෂේප කිරීම හොඳ දෙයක්ද?
ඇතැමෙක්, විශේෂයෙන්ම නුතන තරුණයන්, එය හොඳ දෙයක් යයි පවසත්. මෙම ලියුම්කරු පවසන්නේ එය හොඳ දෙයක් නොවන බවය.
අපට අපේ අනන්‍යතාවය – අප කවුරුද, කොහේ සිට පැමිණියේද, ජාතිය, ජන්මය, ආගම, දෙමව්පියන්, පවුල් සංස්ථාව යන දේ පිළිබඳව විශ්වාසය, ආත්ම තෘප්තිය සහ ආත්ම ශක්තිය ලැබෙන්නේ සමාජයක් ලෙස අප පිළිගන්නා ගතානුගතිකත්වය, සම්ප්‍රදාය නිසාය. මේවා නොමැති කල අපට රොබෝ වරුන් මෙන් ජීවත් වීමට සිදුවේ.
‘අපට ඉතිහාසය වැඩක් නෑ, වර්තමානය සහ අනාගතය ගැන බලමු’ යන්න 1994 පසු මන්ත්‍රයක් මෙන් ජනතාවට ආරෝපණය කිරීම විශේෂයෙන්ම දකුණු ඉන්දීය සම්භවයක් ඇති සිංහල රුපවාහිනි වැඩසටහන් සේවා වලින් සහ සමහර යු ටියුබ් නාලිකා විසින් උත්සහ කරන ලද්දකි. මහාවංශය, විජයාගමනය, මහින්දාගමනය බොරු හෝ ඉගෙනුමට අනවශ්‍ය දේ ලෙසට මේ නාලිකා විසින් පෙන්වා දෙන ලදී. අවාසනාවකට, රජයන්ද මේ මතය ස්ථාපිත කිරීමට උත්සහ ගති. අපේ පාසැල් ඉතිහාසය පෙළ පොත් වල සිංහලයා පිළිබඳව පිළිගත් ඉතිහාසය විකෘති කිරීම හෝ අව තක්සේරු කිරීම කර ඇත – එක් පුරාවිද්‍යා මහාචාර්යවරයෙක් ප්‍රමුඛව සකස් කරන ලද ඉතිහාසය පෙළ පොත්.
මෑතක සිට රාවණා නමැති ඉන්දීය හින්දු ප්‍රබන්ධ චරිතය (මහාභාරථ ග්‍රන්ථයේ එන) මෙහි සිටී සත්‍ය රජ කෙනෙක් බවට පෙන්වීමට දැඩි වෑයමක් පවතී. කාශ්‍යප රජු විසින් නිර්මිත සිගිරිය පවා රාවණාගේ නිපැයුමක් යයි සමහර අය දැන් පවසති. රාවණා යනු ශිව දෙවියන්ගේ භක්තිමත්ම සේවකයා යයි විකිපීඩියා පවසයි. රාවණා වෙනුවෙන් හින්දු කෝවිල් මේ රටේ ඉදිවෙමින් පවතී. ත්‍රිකුණාමලයේ මුහුද අද්දර ඇති කෝනේෂ්වරන් දේවාලයේ ශිව දෙවියන්ට වැඳ සිටින විශාල රාවණා පිළිමයක් ඇත.
ගතානුගතිකත්වය, සම්ප්‍රදාය ප්‍රතික්ෂේප කරන්නෝ මනුෂ්‍ය ජිවීත පිළිබඳව වටිනාකම/අගය අඩු කර සළකන අය විය හැකියි. නමුත්, සැම විටම එසේ නොවේ.
ලෙනින්, ස්ටාලින්, මාඕ, පොල් පොට්, කැස්ත්‍රෝ වැන්නන් (සියල්ලෝ විප්ලවකාරී වාමාංශික ඒකාධිපතියෝ වුහ) ගතානුගතිකත්වය, සම්ප්‍රදාය බොහෝ දුරට ප්‍රතික්ෂේප කල අයයි. ඔවුහු ජනයා ආගම් ඇදහීමෙන් වලකාළහ. මාඕ නවතා දැමු බෞද්ධ පන්සල් චීන රජයන් දැන් විවෘත කර දී ඇත. කාම්බෝජයේ සිටින ඇස් කන්නාඩි පළඳින්නන් මරා දැමිය යුතුයයි පොල් පොට් තීරණය කළේය. ඒ, ඇස් කන්නාඩි පළඳින්නන් බුද්ධිමතුන් යයි ඔහු මෝඩ ලෙස විශ්වාස කල නිසාය.
පොල් පොට් කාම්බෝජ වැසියන් ලක්ෂ 20 – 40 ක් තරම් මරා දැමිය.
වයස අවුරුදු 60 පැන්නවුන් සමාජයට බරක්ය වැනි මතයක් 1960/1970 ගණන් වල ශ්‍රී ලංකාවේ මාක්ස්වාදී පක්ෂයක් පවසා තිබුණු බවට වාර්ථා එකළ පළ විය. මෙහි සත්‍ය අසත්‍ය භාවය මෙම ලියුම්කරු නොදනී.
නුතන ඇමරිකාව, ඕස්ත්‍රේලියාව අළුත් රටවල්ය. ඒවාට ඇත්තේ වසර 225 ට වඩා මඳක් එහා ගිය ඉතිහාසයකි. නමුත් පොදුවේ, ඔවුන් ගතානුගතිකත්වය, සම්ප්‍රදාය තදින්ම අදහති/අගය කරති. ඇමරිකන් ජනාධිපති දිවුරුම් දීම වොෂින්ටන්, ලින්කන් එදා වසර 225ට එහායින් සිදු කල අයුරින්ම, අදත් ඔවුහු මහ ඉහළින් සිදු කරති. 1900දී බ්‍රිතාන්‍යයෙන් මිදී, නව පාර්ලිමේන්තුවක් ඕස්ත්‍රේලියාව බිහි කර, අද දක්වා සැම දිනකම එහි ආරම්භය බයිබලයේ පාටයක් දේශනා කිරීමෙන් සිදු කිරීම ඕස්ත්‍රේලියාව ගතානුගතිකත්වය, සම්ප්‍රදාය අදහන රටක් බව පෙන්වීමේ සාක්ෂියකි. මහා බ්‍රිතාන්‍යයේ වත්මන් රජ පරම්පරාව වසර 1,000ට වඩා පැරණිය. එරට වැසියන් ගතානුගතිකත්වය, සම්ප්‍රදාය අගයන/රකින බැවින් අදත් රජ පරම්පරාවට සියලු ගරු බුහුමන් දක්වමින් එය පවත්වා ගෙන යති.
රටක පැවැත්මකට මේවා අවශ්‍යය. මේවා නොමැති නම් අප අනාගත පරපුරට භාර කරන්නේ කුමක්ද? කොතරම් උගතෙක් වුවත් ඔහු/ඇය හොඳ නරක, සාරධර්ම නොදන්නේ නම් අසම්පුර්ණ පුදගලයෙක් වේ.
මෙවැනි වාතාවරණයක් යටතේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විවෘත කිරීමේ රාජාසන කථාවේදී ජයමංගල ගාථා ගායනය කිරීම මෙවර සිදු නොකිරීම අප ගතානුගතිකත්වය, සම්ප්‍රදාය බැහැර කිරීමක් ලෙස කෙනෙකුට පැවසිය හැක. මෙය රජයේ වියදම් කපා හැරීම පිණිස කරන ලද දෙයක් ලෙසට පිළිගත නොහැක්කේ ජයමංගල ගාථා ගායනය කරන යුවතියක් උදෙසා රුපියල් 5,000ක් වැය කලත් එවන් යුවතියන් 8ක් සඳහා වැයවන්නේ රුපියල් 40,000 පමණ මුදලක් වන නිසාය.
රටේ ගතානුගතිකත්වය/සම්ප්‍රදාය රැකීම සඳහා එවන් මුදලක් වියදම් කිරීම ගැන රට වැසියා කිසිසේත් රජයට දොස් නොකියනු ඇත. 1948 සිට හෝ ඊට කළින් සුද්දාගේ කාලයේ පටන් පාර්ලිමේන්තුව විවෘත කිරීමේදී රාජාසන කථාවවේදී ජයමංගල ගාථා ගායනය කිරීම දිගටම සිදුවී ඇතැයි පැවසේ. මෙය සත්‍යද?
ජයමංගල ගාථා ඇසීමට ඉතාම රසවත්, ප්‍රියදායි ගාථාවකි. බෞද්ධයෝ විවාහ උත්සව වලදී නොවරදවාම ජයමංගල ගාථා ගායනය කරවයි.
ජයමංගල ගාථා ගායනය කිරීම මෙවර සිදු නොකලේ රටේ සුළු ජාතින් ඒ ගැන අමනාප වේ යයි යන අනියත බියක් නිසාද?
නැත්නම් රාජ්‍ය පාලනයට ආගම සම්බන්ධ නොකළ යුතු යයි වැනි අදහසක් රජය සතු නිසාද?
ශ්‍රී ලංකාව යනු සිංහල බෞද්ධ අත්තිවාරමක් ඇති රටකි. මේ සත්‍යය ප්‍රකාශ කිරීමට කිසිවෙක් බිය විය යුතු නොවේ.
මෙයින් කියන්නේ අන්‍ය ජාතිකයන් මෙහි ජිවත් නොවිය යුතුය කියා නොවේ. අප සියල්ලෝ එක මවකගේ දරුවන් මෙන් මෙහි ජිවත් වෙමු; එය සැමදා එසේ සිදු විය යුතුය.
2017 දී පමණ යහපාලන රජය ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තිය ඉවත් කිරීමට මාන බලද්දී, මහානායක හිමි වරුන් පවා නිහඬත්වය දරද්දී හෝ ඔවුනගේ මතයට රජය කන් නොදෙද්දී, එයට එරෙහිව ඉදිරියට ආවේ වත්මන් කාදිනල්තුමාය. ‘බෞද්ධාගම රැකුනොත් තමා අපේ සුළු ආගමුත් රැකෙන්නේ’ යයි උන්වහන්සේ අභීත මුඛයෙන් පැවසුහ. ‘මේක සිංහල බෞද්ධ රටක්’ කියා එතුමෝ කීහ. ඒ ගතානුගතිකත්වය/සම්ප්‍රදාය රැකීමේ වටිනාකම ඉතා දැන උගත් බුද්ධිමතෙක් වන උන්වහන්සේ දන්නා නිසායි.
එවැනි වදන් මුස්ලිම් ඉමාම් වරුද කීහ.
ඉන්පසු රජය ඒ අමනෝඥ තීරණය අත් හරින ලදී.
අප රටේ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට වාසය කිරීමට කදිම නිළ නිවෙස් තිබේ. රටේ නායකයන් ඒවායේ වාසය නොකරන්නේ මන්ද? මේ ගතානුගතිකත්වයට/සම්ප්‍රදායට බැහැරව යාමකි.
මේවා හුදු නිළ නිවාස පමණක් නොවේ. ඒවා ආයතන ද වේ. ඒවා හා බැඳුනු ගතානුගතිකත්වයක්/සම්ප්‍රදායක් ඇත. ‘මම ඒ නිවසට කැමති නැහැ; ඒ නිසා මම එහි ලැගුම් ගන්නේ නැහැ’ කියා ජනාධිපතිවරයෙකුට, අගමැතිවරයෙකුට කිව නොහැක.
ඇමරිකන් ජනාධිපති අනිවායයෙන්ම වයිට් හවුස් හි ලැගුම් ගත යුතුය. ඕස්ත්‍රේලියාවේ අගමැති කැන්බරාහි ඇති ද ලොජ් හි අනිවාර්යයෙන්ම ලැගුම් ගත යුතුය. එය, ඒ රටවල ගතානුගතිකත්වයයි/සම්ප්‍රදායයි.
ජෝන් හොවර්ඩ් මහතා ද ලොජ් හි ලැගුම් ගැනීමට දැඩිව අප්‍රිය කළේය. නමුත් ගතානුගතිකත්වය/සම්ප්‍රදායට ගරු කිරීම වස් ඔහු වසර 8ක සිය අගමැති කාලය බිරිඳ සමඟ එහි ගත කළේය. සති අන්තයේ සිඩ්නි ගොස් ඔහු සිය පුද්ගලික නිවසේ වාසය කලේ නැත; එවිට බිරිඳ සමඟ සිඩ්නිහි තිබෙන කිරිබිලි හවුස් නමැති නිළ අගමැති මැඳුරේ විසීය.
සිරිත්/විරිත්
අපේ යාග හෝම, බලි, තොවිල්, ජන ගී, ජන කවි, වසර දහස් ගණන් පැරණිය. උඩ රට, පහත රට නැටුම්ද එසේය. අපේ සිංහල අවුරුදු චාරිත්‍ර ගැන රොබර්ට් නොක්ස් ඉතා ඉහළින් වර්ණනා කළේය.
අපේ පාරම්පරික ආයුර්වේද විද්‍යාව, නක්ශස්ත්‍ර ශාස්ත්‍රය ඉතා දියුණුය; විදේශිකයෝ මවිතයට පත් කරන සුළුය.
අපේ ආදිවාසි, ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර් සහෝදරවරුනටද ඔවුනට ආවේනික සිරිත් විරිත් ඇත. යාපනය වනාහි සංස්කෘතික කලාගාරයකි.
මෙවැනි වාතාවරණයක් යටතේ මේ ඉපැරණි සිරිත්, විරිත් වලට අවමන් කරන, උසුළු විසුළු කරන සංස්කෘතියක් මේ රටේ නිර්මාණය වී තිබේ – විශේෂයෙන්ම සමාජ මාධ්‍යය අවකාශයේ.
සමහරවිට විද්‍යාත්මකව බලන විට මේවා බොරු, හිස් දේ බව ඇතැමෙකුට සිතෙනු ඇත. කෙසේ නමුත් කළින් කීවාක් මෙන් අප, අප සමාජය සැදී ඇත්තේ මේ සිරිත් විරිත් වැනි දේ තුලිනි.
අප නිවසෙන් බැහැරව යාමේදී දෙමව්පියනට වැඳ ඔවුන්ගෙන් ආශිර්වාද ලබා ගනිමු.
මේවාට සිනාසෙන්නෝ මෝඩයෝ නොවේද?
දියුණු යයි සම්මත රටවල මින්සුන් පවා අදෘශ්‍යමාන දේ පිළිබඳව අදහති. එහි වරදක් නැත. වෙනස නම් ඒවාට සිනා සෙන්නෝ නම් මෙරට නැත. සුද්දා කරන නිසා අපට ඒවා හොඳය.
1990 පමණ දක්වා අපේ වටිනා සිරිත් විරිත් පවත්වා ගෙන යාමට, අනාගත පරම්පරාවනට ඒවා ආරක්ෂා කර දීමට රජයන් නොයෙක් ක්‍රියාමාර්ග ගත්හ. මේ පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කරන ලද කාර්ය භාරය ඉමහති.
නියපොත්තෙන් කැඩිය හැකිදේ නොකැඩීම
1976දී ප්‍රභාකරන් යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා මහතාව වෙඩි තබා මරා දමන විට ඔහුගේ වයස 22කි. මේ අපරාධය කලේ ඔහු බව සිරිමා බණ්ඩාරනායක රජය දැන සිටීය. නමුත් ප්‍රභාකරන් අල්ලා දඬුවම් කිරීමේ දැඩි අවශ්‍යතාවයක් එම රජයට නොවීය. ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා මහතා එවක තිබු ශ්‍රීලනිප රජයේ පාතාක යෝධයෙක් විය.
1978 සිට ප්‍රභාකරන් මේ රට තුල විවිධ ත්‍රස්තවාදී ක්‍රියාවල නිරත විය. 1978දී ඔහු ද්‍රවිඩ ජාතික පොලිස් නිලධාරින් 4 දෙනෙක් මුරුන්කන්හිදී (පොලිස් පරීක්ෂක බැස්ටියන්පිල්ලේ ඇතුළු) මරා දැමිය. 1979 – 83 කාලයේදී ඔහු විවිධ ත්‍රස්තවාදී ක්‍රියාවල නිරත විය. 1983 ජූලී මස 24 දින තිරුනෙල්වේලි හිදී ඔහුගේ අණින් හමුදා සොල්දාදුවන් 13 දෙනෙක් බිම් බෝම්බයකින් මරුමුවට පත් විය. නමුත් 1987 දක්වා ප්‍රභාකරන් අල්වා ගැනීමේ දැඩි උවමනාවක් එවකට තිබු රජයට අවශ්‍ය නොවීය. 1987 වඩමාරච්චිහිදී ප්‍රභාකරන් හමුදාවට කොටු විය. නමුත් අවසාන මොහොතේ යුද්ධය නතර කරන මෙන් JR හමුදාවට අණ කළේය. ප්‍රභාකරන් ඉන්දියාවට ගොස් සැඟවී සිට නැවත ශ්‍රී ලංකාවට හොරෙන් පැමිණියේය.
1995 වනවිට නියපොත්තෙන් කැඩිය හැකි වූ එම ත්‍රස්තවාදී පැලය දැවැන්ත වෘක්ෂයක් බවට පත් විණි.
2007 – 2009 දක්වා යුද්ධය හරියට නියමාකාරව මෙහෙයවූ නිසා 19/5/2009 දින නාන්තිකඩාල් කලපුවේදී ප්‍රභාකරන් මරා දැමීමට හමුදාවට හැකි විය. ඒ පිළිබඳව ගෞරවය සහ ජාතියේ ප්‍රණාමය යුද්ධයේ නියැලුණු සියළු රණ විරුවන්, එවකට සිටි ජනාධිපති, ආරක්ෂක ලේකම් සහ හමුදාපතිට හිමි විය යුතුය.
නමුත්, වසර වසර 40ක් මුළුල්ලේ ප්‍රභාකරන් මේ රටට කරන ලද අපරාධය කෙබඳුද?
ඔහුව අල්වා නොගෙන හුරතල් කල එවුනට අප අදත් ගරු බුහුමන් දක්වමු!
යුධ ජයග්‍රණයෙන් පසු ‘LTTEය ඉවරටම ඉවරයි, නැවත යුද්ධයක් නැහැ’ වනි උකටලී වදන් නිරතුරුව අසන්නට ලැබේ. මේවා සත්‍ය විය හැකියි. නමුත් ද්‍රවිඩ ඊළාමය බිහිකිරීමේ අධිෂ්ටානය ඔවුන් අත් හැර නැත.
මේ උවමනාව දැන් ඇත්තේ බටහිර රටවල සිටින දෙමළ ඩයස්පෝරාවට පමණක් යයි ඇතැම් සිංහල මාධ්‍යවේදීන් කරන ප්‍රකාශය ඔවුන් තුල ඇති වැරදි වැටහීම පිළිඹිබු කරයි.
නොවැම්බර් 26 යනු ප්‍රභාකරන්ගේ උපන් දිනයයි. මිය ගිය ද්‍රවිඩ තරුණ තරුණියන් සැමරීම එදිනටම යොදා ගන්නේ ඇයි? ඒ අය සැමරිය යුතු නම් එය සිදු කල යුත්තේ ඒ අයගේ මරණ සංවස්තර දිනයේය.
යුද්ධය නිසා හමුදාවේ 30,000 නොවැඩි පිරිසක් මිය ගියහ. ඒ අය වෙනුවෙන් පුණ්‍යානුමෝදනා ඔවුනගේ පවුලේ අයවළුන් කරනුයේ ඒ අය මිය ගිය දින මිස අප සෑම වසරකම යුධ ජයග්‍රහණය සමරණ මැයි 19දා නොවේ.
2019 පාස්කු අපරාධය සිදු කල සහරාන් හමුදා බුද්ධි අංශ හොඳින් දැන සිටි කෙනෙක් බව පැවසේ. ඔහුට රජයෙන් (පොදු පෙරමුණ) ගෙවීම් දීමනා කල බවද සැලයි. ඔහුව ඒ අවධියේ අත් අඩංගුවට ගෙන සිරගත වීමට නොසැලැස්වීමේ ප්‍රමාදය නිසා අප කෙතරම් නම් අපහසුවට පත් විමුද?
නියපොත්තෙන් කැඩිය යුතු කාලයේ කුඩා පැලය කඩා දැමිය යුතුය යන පිරුළ අදටත් අප රටට ඉතා වලංගුය.
ත්‍රස්තවාදී මර්ධන පනත අහෝසි කල යුතු යයි කෑ ගසන්නන් ඒ පිළිබඳව ඉතා සුක්ෂමව සිතා බැලිය යුතුයි. සමහර විට අනාගත ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මිය යන්නේ/තුවාල වන්නේ ඔවුන්ම, මෙය කියවන ඔබ හෝ අප විය හැකියි.