පම්පෝරි සහ සහතික..
Posted on December 16th, 2024
ප්‍ර සමරසිංහ
ඝන ප්ලාස්ටික් ෆයිල් කවරයක් හමාරක් නොගන්න තරම් පරිසර සංවේදී නම්, අඩුගානේ ජනාධිපති තුමාගෙන්, අර තියෙනවා කීව කාඩ්බෝඩ් ෆයිල් වලින්, පරණ වුණාට කමක් නෑ ෆයිල් කවරයක් ඉල්ලගන්න. දැන් නම් එතුමා බොහෝ වෙලාවට ඒ ඔක්කොම වුනත් මදේ අහක් කරලා ඉල්ලන පරක්කුවට දෙන්නත් පුළුවන්.
දැන් ඒක ඇතුලට ඔය ජීවිත කාලෙදි ලැබිච්චි සහතික කරදහි අනුපිළිවෙලට දා ගන්න.
ඕ ලෙවල් වි බාගේ සමත් අසමත් සහතික කරදහිය,
ඒ ලෙවල් වි බාගේ සමත් අසමත් සහතික කරදහිය,
ලෝකේ පිළිගත් විස්ස විජ්ජාලයකට ගියා නං, ඒ පාඨමාලාව හරියට සම්පුර්ණ කරල අවසන් මහ වි බාගේ සමත් වුනා නං, ප්‍රථම උපාධි සහතික කරදහියක් හම්බ වෙනවාම තමා, ඒ කරදහිය,
ලෝකේ පිළිගත් විස්ස විජ්ජාලෙක ශාස්ත්‍රපති උපාධියක් (Master Degree) කරා නං, ඒ පාඨමාලාවත් හරියට සම්පුර්ණ කරලා නිබන්ධනයකුත් ලිව්වා නං ඒක එම ආයතනය පිලි ගන්නවා නම් ශාස්ත්‍රපති උපාධි සහතික කරදහියක් ලැබෙනවාම තමා, ඒ කරදහිය,
ලෝකේ පිළිගත් විස්ස විජ්ජාලෙක දර්ශන ආචාර්ය උපාධියකට (PhD) පෙනී උන්නා නං, බොහෝ වෙලාවට පර්යේෂණ පත්‍රිකා 1-2ක්වත් ලෝකේ පිළිගත් ඒ විෂයානුබද්ධ සඟරාවක දෙකක (දෙස්/විදෙස්) පල කරන්න වෙනව ( සල්ලි අරගෙන පත්‍රිකා පල කරන අවර ගනයේ දෙස් විදෙස් සඟරා වලට අහු නොවීමට වග බලා ගන්න ඕන ), ඒ වගේම විශේෂිත විෂය කරුණක් ඔස්සේ නිබන්ධනය ලියල ඒ කරුණුවල නිරවද්‍යතාව තහවුරු කිරීමේ වාචික පරීක්ෂණයකට (Viva එකකට) විනිශ්චය මඩුල්ලක් ඉදිරියේ පෙනී සිටින්න වෙනවා. එය සාර්ථකව වුනාට පස්සේ දර්ශන ආචාර්ය උපාධි සහතික කරදහිය ලැබෙනවාම තමා, ඒ කරදහිය,
ඔය අතරතුරේ ආසාවට දකින දකින නා නා විධ ඩිප්ලෝමා කරා නං ඒවටත් ලැබෙනවා සහතික කරදහි, ඒ කරදහි,
සහතික කරදහි 50ක් 60ක් කොහොමටත් එක ජීවිත කාලයකදි ලැබෙන්න විදියක් නෑ- ඒ නිසා පිළිවෙලට ඔය මුල් පිටපත් 5-6 ඔය ෆයිල් කවරේ අඩුක් කර ගත්තම, කව්රු හරි සහතික ඉදිරිපත් කරන්න කියල කිව්ව සුනංගුවට ඉදිරිපත් කරන්න පුළුවන් බොහොම පහසුවෙන්.
ඒ සහතික ප්‍රින්ට් කරන්න කියල කල් ගන්න කාරණාවක් ඇත්තෙම නෑ, හේතුව මුල් පිටපත දෙනවම තමයි. මුල් පිටපත වෙනුවට ඒකෙ කොපියක් සහතික කරලා තියා ගත්තොත් තවත් ලේසියි. එහෙම බලාපුවම වැඩිම වුනොත් ඔය ෆයිල් කවරේ අස්සේ තියෙන්න පුළුවන් කරදහි 10ක් 12ක් විතරයි.
කොච්චර අධ්‍යාපන සහතික කරදහි තිබුණත් වැඩක් නෑ පිළිවෙලක් රටාවක් නැත්නම්. අරහේ මෙහෙ දාල පිස්සාගේ පළාමල්ල වාගේ තියා ගත්තොත් කවදාවත් ඕව හොයනව බොරු. කොහොම හරි ඔය ඔක්කොම එකතැනක තියල කරුමෙට ගේ ගිනි ගත්තොත් හරි ඉරිසියාකාර හොරෙක් ඇවිත් ෆයිල් එකම අරං ගියොත් කියන බය සංකාව තියෙනව නං සහතික වල ෆොටෝ අරගෙන ඒවත් සත්‍ය පිටපත් කියල සහතික කරව ගෙන pdf එකක් වශයෙන් තියා ගන්නත් පුළුවන් කොම්පියුටරේක.
දැනුම ලබා ගන්නවට, ඒ දැනුමෙන් යම් ‘හරවත් දෙයක්’ ඉදිරිපත් කරනවට සහතික කරදහි ලැබෙනව, ඒවා පරෙස්සමෙන් තියා ගන්නත් හිතෙනවා කාපු කට්ට කොතරම්ද කියල තමන්ම දන්න හන්දා. හැබැයි, තමන්ගේ නම ඉස්සරහටත් නමේ පිටිපස්සටත් අක්ෂර එකතු කරන අරමුණෙන් බොරු කිරීම කවුරුවත් අනුමත කරන්නේ නෑ. කවුරු හරි රවටන අරමුණෙන්, කාව හරි බය කරන අරමුණෙන්, තමන්ගේ උද්ධච්චකම පෙන්වන්න, කවදාවත් අහු වෙන්නේ නෑ කියල හිතාගෙන පතාගෙන නම ඉස්සරහට/ පස්සට ලබා නොගත්ත අක්ෂර ලබා ගත්තා සේ එකතු කරන්න යෑම තරම් මෝඩ තකතීරු වැඩක් ඇත්තේ නෑ.
රටවැස්සන්ට අවංකව සේවය කරන්නන්ට වුවමනා කරන්නේ සාමාන්‍ය බුද්ධියක්, හැකියාවක් හා කැපවීමක් පමණක් වන අතර, මේ කරදහිවත් අක්ෂරවත් අත්‍යවශ්‍ය අංග නොවන වග බොහෝ දෙනා පිලි ගන්නා කාරණාවක්.
දේශීය ජාතිකත්වය නැවත නගා සිටවූ දිවංගත ආචාර්ය නලින් ද සිල්වා මහතාට දේශනාවන් සඳහා ආරාධනා කෙරූවන් ඔහුගේ නමට මුලින් ‘මහාචාර්ය’ ලෙස යෙදු අයුරුත් ඒ හැම අවස්ථාවකදීම තම දේශනාව කිරීමට මත්තෙන්, එතුමන් නොපැකිලව එම වරද නිවරද කල අයුරුත් සිහිපත් වේ. ”තමන් කැලණිය විශ්ව විද්‍යාලයෙ මහාචාර්යවරයෙකු සේ සේවය කර විශ්‍රාම ගත් පසු, සම්මානිත මහාචාර්ය ලෙස ගෞරව ප්‍රධානයක් ලංකාවේ විශ්ව විද්යාලයකින් නොලද හෙයින් තමන් තව දුරටත් මහාචාර්ය නොවන වගත්, ඒ ලෙස හැඳින්වීම වරදක්” බවත් ප්‍රකාශ කලේ ඉතාමත් ආදර්ශමත් ලෙසින්ය. මෙතුමන්ගේ මේ අනතිමානි ගුණයේ සහ ආදර්ශමත්බවේ පිහිටීමට තරම් මුහුකුරා ගිය බුද්ධියක් ඇති ලක්වැසියන් බිහි වෙන්නේ කවදාදැයි හිතෙන වාර ගණන් විශේෂයෙන් මේ දිනවල බොහෝය. නැති දේවල් නැති ලෙසට ගත යුතුය, එය කිසිසේත්ම ලජ්ජාවට හෝ බියට කාරණයක් නොවන්නේය.