දේශපාලකයින්ගේ වතුර ටැංකිය හා පිරිමියෙක් මුත්‍රා  කිරීමේ විධි දෙක (two ways of urinating in politics)
Posted on December 29th, 2024

C. Wijeyawickrema

මේ දිනවල ජනාධිපති AKD ගේ ආණ්ඩුව දෛනිකව මුහුණ පානා ඇබ්බැද්දි දකිනවිට මට ඇමෙරිකාවේ ජනාධිපතිලා දෙන්නෙක් ඒවාට මුහුණ දුන් අන්දම මතකයට ආවේය. ඇමතිකෙනෙක් හෝ මන්ත්‍රී කෙනෙක්ගේ යම් අහිතකර කතාවක් හෝ ක්‍රියාවක් නිසා ආණ්ඩුවේ ප්‍රතිරූපයට ඩැමේජ් එකක්වූ විට, එයට අවංක ලෙස මුහුණදී කල වරද නිවැරදි කර ගන්නවා වෙනුවට එය සුදුහුණු ගා වැසිය හැකියයි සිතා ක්‍රියාකිරීමෙන් සිදුවන්නේ ඩැමේජ් එකට පිහාටුද ලැබී ඉගිලී යාමය.

කතානායකගේ තොප්පිය, ඔහුගේ හා අන් අයගේ උපාධි අර්බුදය, නැති සුදුසුකම් කියා චන්ද්දායකයින් හා පක්ෂය රැවටීම, ජය මංගල ගාථා නතර කලත් ජනාධිපති ලේකම් කාර්යාලයේ නත්තල් සැරසිලි, රිලා ප්‍රශ්ණය, පොල්, ලුණු හිඟය කොට්ටච්චිගේ මෝඩ කතා, මන්ත්‍රීලාගේ අනියම් පෙම් සම්බන්ධකම්, මෝඩි කියන දේ හා විජිත හේරත් කියන දේ හා තායිවානය හා චීනය අතර  වෙනස  AKD විසින් කළමනාකරගත යුතුව තිබුණේ මීට වඩා ප්‍රඥාවන්ත ලෙසය. හාල් ප්‍රශ්නය වුනත් වී මාෆියාවට යට වුනේ නෑ යන අන්දමට හැසිරෙන්නට ඉඩ තිබුණි.

විශේෂයෙන් හොර රාජ්‍ය නිලධාරීන් දමනය කිරීම ඒ ගැන අත්දැකීම් හා දැණුමක් ඇති පක්ෂයෙන් බාහිර සවාධීන අයට භාරදී ඉෂ්ට කරගත හැකිය. උදාහරණයක් වශයෙන් තිලක් කන්දේගම, සනස නිර්මාතෘ, ගාර්වින් කරුණාරත්න, සුදත් ගුණසේකර, යාපනේ අරුන් සිද්ධාර්ථ් හා දිලිත් ජයවීර වුනත් ප්‍රයෝජනයට ගත හැකි පංචස්කන්ධය. හිමාලයා ප්‍රකාශණය නමැති ඊලම් අවතාරයට ගොදුරු නොවීම අ ගත් නිවැරදි තීරණයක් බව මෙහිදී සඳහන් කල යුතුය.

මෙය වැදගත් කාරණාවක් වන්නේ දුන් පොරොන්දු මතක් කරමින් අනිකුත් බොහෝ අයමෙන් තවදුරටත් පාර්ලිමේන්තුවේ නොසිටිය යුතුව තිබූ මේ පඬරැල් මේවා අල්ලාගෙනවත් පණනළ රැකගන්නට බලන නිසාදය. ගලේ මොකක්ද කල බළලුන් මෙන් වී සිටින මේ විපක්ෂයට මෙවැනි ප්‍රමාද දෝෂ අල්ලාගැනීම මිස වෙන දෙයක් කිරීමට ශක්තියක් ඉතිරිව නැත. විපක්ෂයේ සිටින එකම  විපක්ෂය වන්නේ දිලිත් ජයවීර නවක මන්ත්‍රීවරයා පමණය.

(1)ඉන්දියාවට රට පාවා නොදීම (2) 13 A හරහා ඊලමට මඟ පාදා නොදීම (3) සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයට හානි නොකිරීම යන කාරණා තුන අමතක නොකරන්නේ නම් AKD බලයට ඒම ඓතිහාසික  වෙනසකි. රටේ කලයුතු මේ වෙනස්කම් සඳහා සහභාගී කරගත හැකි බොහෝ ස්වාධීන ලාංකිකයින් රටතුලත් පිටරටත් සිටී. චන්ද කාලයේදී මළිමාවට පක්ෂවූ අයට අමතරව, විශ්‍රාමගත් හා නොගත්, මේ පිරිස් රාජ්‍යපාලනයට හවුල් කර ගැනීම දූරදර්ශී විධායක ජනාධිපති කෙනෙකුට ඇති අනගි අවස්ථාවකි. 16 වෙනි ඇමෙරිකන් ජනාධිපති ලින්කන් 1861-65   සිය ධූර කාලයේදී කලේ එයය. ඔහු තම විරුද්ධවාදීන් ආණ්ඩුවට එකතුකර ගත්තේ නම්‍යශීලීවෙමින් රට ගැන සිතාය. වහල් ක්‍රමය රැක ගන්නට පක්ෂව චන්දය ඉල්ලු ඔහු ජයග්‍රහණයට පසු වහල් ක්‍රමය නැතිකිරීමට දුෂ්කර යුද්ධයක් කලේ, දකුණේ වහල් ක්‍රමයට පක්ෂ දකුණේ ජනපදවලට විශාල බලයක් තිබියදීය. අන්තිමේදී දකුණේ වහල් හිමියන් උතුරේ ලින්කන්ගේ යුදහමුදාවට විරුද්ධව ඔවුන් සමඟ එකතුවන ලෙස ආයාචනා කලේය.

36 වෙනි ඇමෙරිකන් ජනාධිපති ලින්ඩන් ජොන්සන් (1963-69) කාලයේදී ජනාධිපති ලින්කන්ගේ විරුද්ධවාදීන් තම රජයට එකතු කර ගැනීමට හා සමාන දෙයක් කලේය. Democratic පාක්ෂිකයෙකුවූ ඔහු, බලවත් රිපබ්ලිකන් පාක්ෂිකයෙකු (X) තම ආණ්ඩුවට බඳවා ගන්නට යෝජනා කලවිට අනිත් Democratic අය ඊට විරුද්ධවිය. එවිට ජොන්සන් කියා සිටියේ දැන් X එලියේ ඉදන් අපේ ටැංකියට චූ කරණවා, ඔහුව අපි ලඟට ගත් විට ඔහු අපේ ටැංකියේ සිට පිටට චූ කරණවා යනුවෙනි! සමහර අවස්ථාවලදී ජොන්සන් ජනාධිපති තම ලේකම්ලාට නියෝග/උපදෙස් දුන්නේ බාත් රූම් කොමොඩ් එකේ ඉඳගෙන ඉන්න ගමන් බාගෙට දොර ඇරගෙනය. ඔහු ප්‍රායෝගික යථාර්ථවාදියෙක් විය.

අනුර කුමාර ජනාධිපතිට මේ ජනාධිපතිලා දෙන්නා ගෙන් ගත හැකි ආදර්ශයක් නැද්ද? යම් ආණ්ඩුවකට හානිකර වන කාරණා දෙකක් රසික ජයකොඩි සඳහන් කරයි. එකක් නම් උද්දච්ච කමය. අනික නම කඩේ යන යන පිරිසය. මොවුන් කොටස් දෙකකි. ඉන් ඩෝබිලා, රෙද්දේ එක පැත්තක් හෝ අනිත් පැත්ත හෝ අවස්ථාවට අනුව පිලිවෙලින් දෙපැත්තම හෝදන්නේය. රසික කියන අනිත් කොටස නම් දායක සභාවය.

ප.ලි. මෙවැනි කරුණු හුදෙක් සද්භාවයෙන් ජනාධිපතිට, අගමැතිනිට හා පක්ෂයට ඊමේල් මඟින් දන්වා එවූවිට පසුගිය අවුරුදු පනහක කාලවල මෙන් ඔබගේ ලිපිය ලැබුණා, නිසි අයට යොමුකලා යයි පිළිතුරු දීම, අපේ ව්‍යායාමය ගඟට ඉණිකැපීමක් නොවේද යන සාංකාව ඇති කරන්නේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress