යා දෙක නොරත රත..
Posted on January 4th, 2025

ප්‍ර සමරසිංහ

 බුද්ධ දේශනයට අනුව අවිද්‍යාව ඇති කල්හි සංඛාර ඇතිවේ (අවිජ්ජා පච්චයා සංඛාරා); විද්‍යාව පහළවීම (විජ්ජා උදපාදී) දම්සක් පැවතුම් සූත්‍රයේ සඳහන්ය. මේ විද්‍යාව ඇරෙන්නට වෙනත් විද්‍යාවක් හෝ වෙනත් අවිද්‍යාවක් අපට නැත. 

සිරිලක්බිම එකල විසූ ඉංග්‍රීසි බස උගත් බටහිර සංස්කෘතික ආධිපත්‍යට ලැදි සිංහල-උගතුන්, ඉංග්‍රීසි බසේ ‘සයන්ස්’ (science) යන පදයට සිංහල පරිවර්තනය, විද්‍යාව ලෙස හඳුන්වා දීම කිසිසේත්ම නිවැරදි නොවේය. ඔවුනට තිබෙන්නට ඇත්තේ බුදුදහමේ විද්‍යාව, සයන්ස් බවට පත් කර, ඒ තුලින් බුදුදහම තේරුම් කර දීමේ නිවට නියාළු ආශාවක් පමණක් විය නොහැකිය. බොහෝ විට ඔවුනට බටහිර සයන්ස්, බුදුදහම ඉක්මවා ගිය මහා දැනුම් සම්භාරයක් සේ පෙනුනා විය හැකිය. එසේත් නැතිනම්, දැනුවත්ව හෝ නොදැනුවත්ව, ක්‍රමක්‍රමයෙන් ලංකාවේ ථෙරවාද බුදුදහම ව්‍යාකුල කරලීමට දැමු මුල් අඩිතාලමද මෙය වූවා විය හැකිය.

බටහිර වෙදකමේ දියුණුව හුදෙක් තාක්ෂණ-දියුණුවක් බවත්, විශ්වයේ නිරීක්ෂණය කරන්නා වූ සංසිද්ධීන් පැහැදිලි කිරීම සඳහා නිව්ටන් සහ අයින්ස්ටයින් ගෙතූ, තරමක් දුරට වැඩකරන නමුත් මනසින් හිතාගත නොහැකි, එකිනෙකට වෙනස් වූ වියුක්ත කතන්දර ගෙතීම ‘බටහිර විද්‍යාව’ බවත් පෙන්වා දුන්නේ ආචාර්ය නලින් ද සිල්වා මහතාය. නිවන සම්මාබෝධ වන තෙක් මැරී මැරී ඉපදෙන මුලක් අගක් නොපෙනෙන සසර චක්‍රයට අනුව, බෞද්ධ අප පිළිගත යුත්තේ අග්ගඥ්ඥ සුත්‍රයද ඩාවින්ගේ පරිණාම වාදය ද කියා තම තම නැණ පමණින් විමසුව යුතු බවත් එතුමා අවධාරණය කලේය.

පාලි ත්‍රිපිටකය, අටුවා ටීකා වල සඳහන් බුදුදහම අවබෝධ කරගැනීමේ හා පිළිපැදීමේ ක්‍රමවේදයන් සමඟ 19 වන සියවස අගභාගයේ බටහිරෙන් කරළියට ආ බටහිර මනෝ විද්‍යාවේ දක්වන අධ්‍යයන ක්‍රමවේදයන් කිසිසේත්ම සමපාත වෙන්නේ නැත. තමා විසින් තමාම නිරීක්ෂණය කර සිතෙහි ඇති ගුණාංග වටහා ගැනීමත්, තවෙකකු විසින් පිළියෙල කල ප්‍රශ්න මාලාවකට (questionnaire) යටත්ව දෙන්නා වූ පිළිතුරු ආශ්‍රයෙන් තව කෙනෙකුගේ සිතෙහි පවත්නා ගුණාංග නිගමනය කිරීමත් එකිනෙකට කිසි ලෙස පෑහෙන්නේ නැත. මේ නොපෑහීම යන්තමට හෝ වැටහෙන යමෙක් වේ නම්, කිසි කලෙක බටහිර මනෝවිද්‍යාව සරසන්නට බෞද්ධ යන විශේෂණ පදය යොදා විෂයයක් ගොඩ නගන්නට හීනෙන්වත් හිතන්නෙ නැත. 

බුදුදහම, බුදුදහම තුලින් අවබෝධ කර ගතයුතුය. උසස්‌ අධ්‍යාපනය ලබාදෙන රජයේ සහ පුද්ගලික ආයතනවල බුදුදහම ඉගැන්විය යුත්තේ පාලි බසින් බුදුදහම පරතෙරට හැදෑරු ආචාර්යවරුන්ය. එම ආයතනවල මනෝවිද්‍යාව ඉගැන්විය යුත්තේ මනෝවිද්‍යාව හොඳින් හැදෑරු ආචාර්යවරුන්ය. මනා වැටහීමකට පහත දැක්වෙන විඩියෝව බලන්න.

බටහිර විශේෂඥ මනෝ වෛද්‍යවරයකු වන ඩී ජේ වී හරිස්චන්ද්‍ර මහතා ඉංග්‍රීසි බසින් ලියන ලද ‘Psychiatric aspects of Jataka Stories’ (1998 මුද්‍රණය) පොතේ අන්ධභූත, චුල්ල පලෝභන සහ බාහිය යන ජාතක කතා තුනට බටහිර මනෝ විද්‍යාවේ දැක්වෙන ලෙඩ පාස්සවමින් විකෘති අර්ථකථන දෙන්නට ඇත්තේ ඒ මහතා පාලි බස මැනවින් හදාරා නොතිබුන නිසාය.  

ථෙරවාද බුදු දහම විකෘති කිරීමට බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ නැති කරුණු හුවා දක්වන සහ පාලි පද වලට හිතුමතේ සාවද්‍ය නිරුක්ති දෙන, NGO ආධාර මත නොයැපෙනවය කියා විශ්වාස කිරීමට අපහසු, ගිහි පැවිදි පිරිසක් දැනට අවුරුදු කීපයක සිට ලංකාවේ ක්‍රියාත්මක වන බව පැහැදිලිය. මෙවන් පිරිසක් මැද, ථෙරවාද බුදුදහමේ දහම් කරුණු විකෘති නොකොට, Chat GPT, AI තුලට යොමු කරනු ඇතැයි බලාපොරොත්තු තියා ගන්නට හැකි වගකීමක් ඇති පිරිසකගේ වගවීමක් ගැන මෙතෙක් ඇහෙන්නට නොලැබීම අපේ අවාසනාවය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress