අමුතු නොරිස් ඇළ
Posted on January 13th, 2025
ප්ර සමරසිංහ
ඒ කාලේ, මහ වැස්සක් තුරල් ව ගිය විට මහගෙදර පිටුපස මිදුලේ තැනින් තැන දිය රැඳී, ගලාගිය නොගිය තැන් කිහිපයක් විය. මේ වතුර කෝටුවකින් පාදා වුවමනා නං තවත් හාරා එකිනෙකට යා කර ඇළ වේලි බැඳ වතුර පහතට ගලා යන්නට සැලැස්සුවා මතකය. වැසි වතුර ප්රමාණය සතුටුදායක මට්ටමක ඉතිරිව තිබුනේ නම් හා ඒ ගමන් මග ඒකාකාරී නොවූ මිදුලේ පහතට ගලන්නේ නම් ඒ තැන් සොයා එහි අමු කොස් කොල කීපයක් රඳවා හෝ කෙසෙල් කඳක පතුරක් රඳවා දිය ඇලි දෙක තුනක් එකවර හදන්නටද අමතක කලේ නැත.
ඇළක් නම් එය ගලන්නට වුවමනාය. එහි තිබිය යුත්තේ වතුර, ගල් කැබලි, වැලි, කුඩා පැලෑටි හා මඩය. කුඩමසුන්, කකුළුවන් හා ඉස්ගෙඩියන්ට පිහිනන්නට එහි ඉඩ තිබිය යුතුය. ගස් කොළන් මල් වැල්, ඇළ අද්දර ප්රිය කරන්නේය. එවන් ඇළ මාර්ගයකින් කිසිම දුර්ගන්ධයක් පිට වන්නේද නැත. රෝහලක් අද්දර එවන් ඇළක් තිබීම ප්රියජනකය. ඒ වුණත්, විශේෂයෙන් රෝහලක ඉවරයක් නැති කුණු කසළ මෙන්ම ඒවායින් බැහැර කරන අපවිත්ර ජලයද ඇළකට ගඟකට හැරවීම දඬුවම් ලැබිය යුතු බරපතල වැරැද්දක් වන්නේය.
මහ ඉස්පිරිතාලය අසල ඇති නොරිස් ඇළ නොගලා ඉන්නට තීරණය කර බොහෝ කල්ය. ඒ වෙනත් හේතුවක් නිසා නොව හිතුමතේ ඇළ පුරවා දැමු අපමනක් වූ කැළිකසල නිසාය. එහි කුඩමසුන් හා කකුළුවන් වෙනුවට නා නා වර්ගයේ මීයන් හිතු හිතු ආකාරයට කරනම් ගසති. නා නා මදුරුවන්, ඩෙංගු මැලේරියා චිකන්ගුන්යා ගී ගයති. නිල මැස්සන්ගේ පාරාදීසයකි. කැරපොත්තෝද රැයක් දවාලක් නැතුවා සේ බයක් සැකක් නැතුව සරති.
ඒ අවට ජීවත් වන හුදී ජනයාට මෙන්ම රෝගීන්ටද දෙය්යන්ගේම පිහිටය. මහා ඉස්පිරිතාලය ඇතුළු තවත් ඒ අසල ඇති ප්රධාන පෙලේ ඉස්පිරිතාලද නොරිස් ඇළේ වගක් නැතුව රෝගීන්ට බෙහෙත් හේත් කරන්නෝය. හුදී ජන ලෙඩ රෝග වලට බෙහෙත් පෙති නියම කරන්නට මත්තෙන් මේ ඇළ මාර්ගයට නැවත නිදහසේ ගලන්නට ඉඩ සලස්වා, නගර වීථි සෝදා ගෙන වැටෙන වැස්සට ගලා බහින්නට නැවත මේ ඇළට පන දිය යුතුය. එවිට කොළඹ උතුරා ගලන රෝගී ජන පෝලිම් අඩු වෙනවාට කිසි සැකයක් නැත.
අමුතු ජනාධිපතිතුමා දියත් කල පවිත්ර සිරිලංකාව අඳුන්වා දුන් උත්සවයට රුපියල් ලක්ෂ 70 ක් පමණ වැය කල බව සැළය. ඉන් අනතුරුව සති දෙක තුනක් බලා සිටියත් තාමත් ක්රමානුකුලව පවිත්ර වුනු පාරක් තොටක්, ඇළක් දොළක්, තාප්පයක්, කඩක් පිලක් තියා අඩුතරමේ පෝස්ටර 10ක් 15ක් නොඇලවුනු එක විදුලි කණුවක් දකින්නට නැත. කටිං බතල කොළ සිටුවා පලක් නැත.
මේ දිනවල නිතරම පාහේ ජනාධිපතිතුමාගේ පවිත්ර සිරිලංකාව, උදේ හවා නැතුවාක් සේ මහිතේ හක්කලං කරන්නේය. අද දුරුතු පෝදා පිං සිතින් නිදිකිරා වැටෙද්දීත් පවිත්ර සිරිලංකාව දිස් වෙන්නේය, හීනෙන් දකින තරමක් දකින්නෙත් මෙවන් පවිත්ර සිරිලංකාවක ගමන්මගය:
පාර්ලිමේන්තුවේ අමුතු සුවඇමතිතුමා ඇතුළු, පක්ෂ විපක්ෂ බේධ පැත්තකට කර දැමූ 224දෙනා සමග අමුතු කැකිරිකුමාරි ප්රමුඛ කාර්ය මණ්ඩලය සමඟින් කලිසංකොට ගසා, කැප් තොප්පි පැළඳ, මුකවාඩම් ලා උදළු පොරෝ වීල්බැරෝ ගෙන නොරිස් ඇළ පවිත්ර කරන්නට යන්නට තීරණය කල බවක් ඇසුනේය. කිසිම කැමරාකාරයෙකුට, පුවත්පත් කලාවේදියකුට ඒ අසබඩ යාමටද තහනම් නියෝග කල් තියා පනවා දමා තිබීම අගය කල යුතුය. මේ මුළු ඇළ මාර්ගය සම්පුර්ණයෙන් සුද්ධ කරන්නට අමුතු සුවඇමතිතුමා ඇතුළු ඒ පාර්ලිමේන්තු 500යක් පමණ නඩයට ගත වුයේ සතියක් තරම් කෙටි කාලයක්ය. උදෑසන 8ට පටන් ගත් මේ පවිත්ර කිරීම් හවස 6 දක්වා එක එල්ලේ ප්රසංශනීව සිදු කල අන්දම විස්තර කරන්නට හෝඩියේ අකුරු ප්රමාණවත් නැත.
අල්ලපු ඉඩමේ ලොක්කයිය තේ කඩ කරන කාලේදීවත් නොකළ විදියට ඉදලක් අරන් පාර අතු ගෑවේ කැමරාකාරයා ආ පසුව වුණත්, අපේ ජනාධිපතිතුමා කැමරාකාරයෙක්ට හතර මායිමට කිට්ටු වන්නටවත් ඉඩ දුන්නේ නැත. ඒ වුනත් ඉස්මාට් ෆෝන් බුරුතු පිටින් ඇති අපේ රටේ පිංතුර සංසරණය අමුතු එකක්ය. උනන්දුවෙන් පාර අතුගාන ජනාධිපතිතුමාගේ පිංතුර දුටු සැණින් ජීවිතේ කවදාවත් කොස්සක් ඉදලක් අතින් නෑල්ලු කොළඹ හතේ නෝනාමහත්වරුද, නුවර පළාතේ මැණිකෙලා නිලමේලාද ලහිලහියේ සිරිලංකාව පවිත්ර කරන්නට එලියට බැස්සෝය. පරගල කාලේ බෙදුනේ බුරියානි හා කොකාකෝලාය, සහයෝගයට බුං හාමිනේ හා කළු කබා හංගා තබා ප්රසිද්ධ නීතිඥයෝ ආවෝය. මෙදා පොටේ ඒවා නැතිය. ප්ලේන් ටී එකක් සහ කැකිරි බණ්ඩක්කා නාඩු බත් කෑම පාර්සල් එක බැගින් ලැබුනේය.
අණ නියෝග නොපනවමින්, කප්පරක් කයිවාරු නොගසමින්, එහෙත් දක්ෂ ලෙස වැඩක් සාර්ථකව කර පෙන්වීමේ මේ මහා ආදර්ශය දියවන්නාවෙන් පටන් ගැනීමම ඉතිහාසගත විය යුතු කාරණයක්ය. “අපේ කැකිරි බණ්ඩක්කා නාඩු බත් වේල දිනේවා” කියා පතනා අයුරින් හැඩ වැඩ වූ නොරිස් ඇළ ලතාවකට ගලන්නට පටන් ගත්තාය. රෝහල් කුණුකසල දරා ගෙන, මියන්, මැස්සන්, මදුරුවන්ගේ කන්දොස්කිරියාවෙන් පහුගිය අවුරුදු 60 -70ක් අපමණ දුක් වින්ද ඇළ දුර්ගන්ධය ඉවත ලා බේරේ වැව දෙස බලා සංතෝසෙන් ඇදෙන්නට පටන් ගත්තාය.