ස්ථිර තැන්පතු බද්ද 5% සිට 10% කිරීම – ජ්‍යෙෂ්ට පුරවැසියන්ට මරු පහරක් (සහ බැංකු /මුල්‍ය ආයතන දුර්වල කිරීමක්)
Posted on January 13th, 2025
චානක බණ්ඩාරගේ
දියුණු රටවල් ජ්‍යෙෂ්ට පුරවැසියන්ට සුවිශේෂ වරප්‍රාසද දී ඔවුන්ව ඉමහත් ගෞරවයෙන් බලා ගනී. උදාහරණයක් ලෙස ජපානය ජ්‍යෙෂ්ට පුරවැසියන්ට දේවත්වයෙන් හා සමාන ලෙස සළකයි. ඕස්ත්‍රේලියාව ඔවුන්ට විවිධාකාර විශේෂ සහණ සළසයි – අඩු බස් ගාස්තු, අඩු මිලට බෙහෙත් සහ රජයේ අඩු කුලී නිවාස.
අපේ රජයන් ජ්‍යෙෂ්ට පුරවැසියන්ට සැලකීම, ඔවුන්ට ගරු කිරීමේ අවශ්‍යතාවය ගැන සැළකිලිමත් නොවේ (මහින්ද රාජපක්ෂ මහතා ජ්‍යෙෂ්ට පුරවැසියන්ට රුපියල් ලක්ෂ 15ක තැන්පතුවක් සඳහා 15% පොලියක් ගෙවූ බව කාරුණිකව අමතක කළ යුතු නොවේ).
අද රටේ සිඟන්නගෙන් 75% එහා ජ්‍යෙෂ්ට පුරවැසියන් විය යුතුය. ඔවුන් පාරේ ජීවත්වී පාරේම මැරී යයි. ඔවුන්ගේ දුක සැප කිසිවෙක් සොයා නොබලයි. ඔවුන්ගේ මළ සිරුරු නගර සභා මඟින් පෙට්ටියක්වත් නොමැතිව වළලා දමයි.
දිවා කාලයේ පන්සල්, පල්ලි, කෝවිල් වල එළියේ ඇන ගසා ගෙන මොවුහු බලා සිටිනුයේ කවුරු හෝ ගෙනත් දෙන බත් පාර්සලය ගැනීමටය. ඉතා දුර්වර්ණ, වෙහෙසුණු මුහුණු ඇති මොවුන් දෙස ඉතා සුපරික්ෂාකාරී ලෙස බැලු විට පෙනී යන්නේ ඔවුන්ගෙන් සමහරෙක් යටගියදවස ඉතා විරාජමානව සිටි අය බවයි.
මේ අය ගැන රාජ්‍ය මට්ටමින් සොයා බැලීමට, පිළිසරණ ලබා දීමට කිසිවෙක් නොමැතිවීම අභාග්‍යයකකි.
මාක්ස්වාදී රජයන් වයෝවෘධයන්ට කොහෙත්ම කැමති නැත. කිසිම පලදායී භාවයක් ගෙන නොඑන, රටට බරක් ලෙසට ඒ අයව එම රජයන් සළකයි. මා ඕ සේතුං ඔවුන්ව නොසලකා හැරියේය. පොල් පොට් කෙටි කාලයක් තුල කාම්බෝජ වැසියන් ලක්ෂ 30 ක් පමණ මරා දැමිය; එයින් වැඩි දෙනා වුයේ ජ්‍යෙෂ්ට පුරවැසියෝය.
ශ්‍රී ලංකවේ තරුණයෝ ජ්‍යෙෂ්ට පුරවැසියන්ව ‘ඕල්ඩ් මෑන්’ ලෙස හැඳින්වීමේ ප්‍රවනතාවක් ඇත. මේවා පාසැල් මට්ටමින් ආරම්හ වේ. රටේ වයෝවෘධ නායකයන්ව ‘මයිනා’, ‘සීයා’ යන අපහාස වදනින් තරුණයෝ අමතති. වර්තමාන ජාතියේ මහා ගාන්ධර්වයා වූ අසහාය ගයාකයා තරුණ කතක් අවාහ කර ගත්තේය කියා ඔහුව නොමරා මැරූහ. ඔහු අදත් ජීවත් වන්නේ එම විවාහය කර ගත් නිසාය.
වර්තමාන තරුණයෝ සහ තරුණියෝ වයස ගිය අයට උදව් කිරීම පසෙක ලා ඔවුන් දෙස අවඥාවෙන් බලත්. මෙය ඉතා කණගාටුවට කරුණකි.
1980ට ප්‍රථම ශ්‍රී ලංකාව මෙසේ නොවීය. ඉතා හොඳින් වැඩිහිටියන් බලා ගැනීම ගැන අප තරම් හොඳ රටක් තවත් නොවීය.
මේ තාරුණ්‍යට වයසක දෙමව්පියන්, සීයලා, ආච්චිලා නැද්ද?
ඔවුන්ද යම් දිනක වයසට යන බව ඔවුනට නොතේරේද?
ජ්‍යෙෂ්ට පුරවැසියන්ව (වයස අවුරුදු 60 වැඩි අය) රටකට වැදගත් වන්නේ ඇයි?
දැන් දුබල වුවත් රට දියණු කිරීමට, වැඩ කරන කාලයේ ඉතා වෙහෙස මහන්සි වී වැඩ කල අයයි. 1950 පමණ සිට, සහ ඉන් පසුව, දිගටම වැඩ කර අදත් ජීවත් වෙන අයයි. ඉන් පෙර වැඩ කල අය දැන් මියගොසිනි. දරුවන් බිහිකර, පවුල් සංස්ථා සාදා රටක් ලෙස අපව මේ තත්ත්වයට ගෙන ආවේ ඒ අයයි. රටේ ඒකීය භාවය ආරක්ෂා කර ගැනීම, ආගම/සංස්කෘතිය රැක ගැනීම සඳහා ජ්‍යෙෂ්ට පුරවැසියෝ දිවි හිමියෙන් කටයුතු කල අයයි.
නැවතත් ප්‍රධාන මාර්තෘකාවට –
ජ්‍යෙෂ්ට පුරවැසියන්ගෙන් රජයේ විශ්‍රාම වැටුප ලැබෙන්නේ ඉතාම සිමීත දෙනෙකුට පමණි. අනිත් අය ජීවත්වෙන්නේ තමන් ඉතිරි කල මුදල් බැංකු/මුල්‍ය ආයතනවල ස්ථිර තැන්පතු ලෙස තබා ඒවායින් ලැබෙන පොලිය ලබා ගැනීමෙනි. සමහර අයව දරු මුණුබුරන් විසින් බලා ගන්නා බව සත්‍යයකි.
ස්ථිර තැන්පතුවලට අනිවාර්යය 5% රැඳවුම් බද්ද නියම කලේ පසුගිය රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දරු රජයයි. දැන් මේ රජය එය 10% දක්වා එක් වරම වැඩි කර ඇත.
2022 අධි උද්ධමනය කාළයේ 21% පමණ වූ බංකු ස්ථිර තැන්පතු පොළී අනුපාතය නිසා එම 5% නව බද්දට ලොකු විරෝධයක් මතු නොවීය. අද උද්ධමනය අඩු කාලයේ (නමුත් බදු මිළ නම් වැඩිවෙමින් පවතී) බැංකු ස්ථිර තැන්පතු පොළී අනුපාත 8% – 9% පමණ දක්වා පහළ බැස තිබේ.
රජය රැඳවුම් බද්ද බද්ද 5% සිට 10% දක්වා වැඩි කලේ මෙවන් වාතාවරණයකය.
හුදු ස්ථිර තැන්පතු පොලියෙන් පමණක් දිවි ගෙවන ජ්‍යෙෂ්ට පුරවැසියන්ට මේ නව බදු වැඩි වීම මරු පහරකි.
ජ්‍යෙෂ්ට පුරවැසියන් මේ රටට කරන ලද සේවය ඇගයීම සඳහා සහ ඔවුන්ගේ ඉතිරිවී ඇති කෙටි ජීවිත කාලය සුවෙන්, සතුටෙන් ජිවත්වීම සඳහා කටයුතු කරනවා වෙනුවට රජය ඔවුන් බලවත් අපහසුතාවයට පමුණුවයි.
මේ අය රට වෙනුවෙන් අපමණ කැපවීම් කල අයයි. ඒ අයට හිරිහැර නොකර බලා ගැනීම රජයේ වගකීමයි.
ඔවුන් ගැන කෘතගුණ සැළකීමක් රජයට නොමැතිද?
ජ්‍යෙෂ්ට පුරවැසියන් සංවිධානය වී නොමැත. ඔවුන්ගේ වෘත්තීය සමිති නැත. ඔවුන් අසරණය, අහිංසකය. ඔවුනට හඬක් නොමැත. එවන් කොටසකට රිද්දීම පහසුය.
මේ නිසා රජය ඔවුන්ට පහර ගසා, වැඩ කරන සේවකයනට – මාසික වැටුප රුපියල් ලක්ෂ 1 ½ දක්වා ලබන අයට, බදු සහන ලබා දුන්නේය
රජය ජ්‍යෙෂ්ට පුරවැසියන්ට ගසන ලද මෙම අසාධාරණ බදු වැඩි කිරීම වහා හකුලා ගත යුතුයි.
රජය දැන් මහා පරිමාණයෙන් මෝටර් වාහන ආනයනය කිරීමට යයි. එයින් ලබන නව බදු ආදායම කෝටි ප්‍රකෝටි ගණනකි.
10% ස්ථිර තැන්පතු බද්ද යළි 5% දක්වා අඩු කර (අඩුම වශයෙන් ජ්‍යෙෂ්ට පුරවැසියනටවත්), එයින් නැතිවෙන ආදායම මෙම වාහන ගෙන්වීමෙන් හෝ වෙනත් මාර්ගයකින් (වැට්, ඩිජිටල්කරණය මඟින් පෞද්ගලික අංශයේ වන ආදායම් වැඩිවීම් ආදිය) සොයා ගත යුතුයි.
ජ්‍යෙෂ්ට පුරවැසියන්ට රුපියල් ලක්ෂ 1 ½ මාසික පොලියක් ලැබුණහොත් පමණක් මේ බද්දට යටත් වන බව රජය පවසයි.
නමුත්, මෙම ලියුම්කරු දන්නා තරමින් ජ්‍යෙෂ්ට පුරවැසියන්ගෙන් එසේ කපන බදු නැවත ඔවුන්ට ලබා දීම සඳහා නිසි ක්‍රියාවලියක් තවම සකසා නැත.
බොහෝ ජ්‍යෙෂ්ට පුරවැසියෝ ලෙඩිනි. සමහරු ඔත්පලව ඇඳන් මතය. බොහෝ අයට ඇස් නොපෙනේ, කන් නොඇසේ, කකුල්/ඇඟ පතේ තදබල ආබාධය. එවැනි තත්වයක් මත ඔවුන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගොස් රජයේ යාන්ත්‍රණය ගැන කථා කල යුතු යයි යන රජයේ යෝජනාව පුස්සකි.
5% බද්ද 10% දක්වා වැඩි කලේ බදු ආදායම වැඩි කිරීමට නොව බදු දැළ වැඩි කිරීමට යයි රජය පවසයි. ඇත්තටම රජය පවසන්නේ විකාර කථාය. මේවා කොන්ඩේ බැඳපු චීනුන්ට කියනවා වඩා හොඳය.
බැංකු/මුල්‍ය සමාගම් 10% බද්ද කපා ගත් පසු පොළිය මාසිකව හෝ වාර්ෂිකව ජ්‍යෙෂ්ට පුරවැසිගේ බැංකු ගිණුමට බැර කරයි. එය ඉතුරුකිරීමේ ගිණුමක් නම්, එයින් ලැබෙන පොළියටත් රජය නැවතත් බදු ගසයි. එනම්, එකම මුදලට රජය දෙවරක් බදු ගැසීමක් කරයි.
බැංකුවල තැන්පත් කර ඇති තැන්පතුවලට අය කරන රැඳවුම් බද්ද ඉහළ නැංවීමත් සමග ජ්‍යෙෂ්ට පුරවැසියන් සහ අනෙක් තැන්පතු කරුවන් තම මුදල් බැංකුවලින්/මුල්‍ය ආයතන වලින් ඉවත් කරගන්නා බවට වාර්තා ලැබෙමින් පවතී. මෙය භයානක තත්ත්වයකි.
තරුණ, වැඩ කරන වයසේ අය ස්ථිර තැන්පතු ඉවත් කර, එම මුදල් කොළඹ කොටස් වෙළඳපොලේ, වෙනත් ආයෝජන, අනාගතයේදී ආනයන කරන නව මෝටර් රථයක් මිලදී ගැනීම වැනි දේට යොමු කරනවා විය හැක.
නමුත් ජ්‍යෙෂ්ට පුරවැසියන්නට මේවා හොඳ ආයෝජන අවස්ථා නොවේ.
කළින් කීවාක් මෙන් ඔවුන් ජීවත්වෙන්නේ සිය ජීවිතයේ අවසාන කාලයේය. ඔවුන්ට තිබෙන එකම, හොඳම මුදල් ආයෝජන ක්‍රමය නම් මාසිකව පොලී ගෙවන ස්ථිර නැත්පතුයි.
බැංකුවල/මුල්‍ය ආයතනවල ස්ථාවර තැන්පතු පිටතට ඇදීයාම හේතුවෙන් ඒවායේ ද්‍රව්‍යශීලීතාවය (liquidity) සම්බන්ධයෙන් ප්‍රබල අර්බුද නිර්මාණය වේ.
මේ බදු සම්බාධක නිසා මිනිසුන් බැංකු/මුල්‍ය ආයතන වල මුදල් තැන්පත් නොකර හැරිය හැක.
බැංකු/මුල්‍ය ආයතන පවත්නේ ජනයා/සමාගම් ඒවායේ මුදල් ආයෝජනය කලහොත් පමණි.
ජනයා/සමාගම් විශාල වශයෙන් බැංකු/මුල්‍ය ආයතන වල තැන්පත් කර ඇති මුදල් ආපසු ගතහොත් හෝ ඒවායේ නව ස්ථිර තැන්පතු, ඉතිරි කිරීමේ ගිණුම් නොඇරඹුවොත් එය බැංකු/මුල්‍ය සමාගම් පද්ධතියට දැඩි බලපෑමක් ඇති කරනු ඇත.
බැංකුවල/මුල්‍ය ආයතන කඩා නොවැටීම පිළිබඳව රනිල්/මහ බැංකුව ඉතා සැළකිය යුතු උනන්දුවෙන් මනා කාර්ය භාරයක් ඉටු කළේය.
මෙම රජය පරාටේ වෙන්දේසිද තව දුරටත් ඇණ හිටවා ඇත.
මේ රජය ‘බීමත් නාවිකයෙක්’ මෙන් රටේ ආර්ථිකය හසුරවයි?
එසේ නොවේවා යයි අපි පතමු.
කෙසේ වෙතත්, රජයේ අමන තීරණ නිසා බැංකු/මුල්‍ය ආයතන දුර්වල වුවහොත්/කඩා වැටුනහොත් එහි සම්පුර්ණ වගකීම රජය භාර ගත යුතුය.
වරද නිවැරදි කිරීමට තවම කාලය තිබේ.